මහමැතිවරණය පැවැත්වීමට ඇති සූදානම සම්බන්ධවයි
Posted on April 18th, 2020

ජනමාධ්‍ය නිවේදනයයි ලංකා ගුරු සේවා සංගමය

2020. 04. 18  

සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

සභාපතිතුමනි,

මහමැතිවරණය පැවැත්වීමට ඇති සූදානම සම්බන්ධවයි


#කොරෝනා වසංගතය හමුවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් කල් දමන ලද මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව විශේෂයෙන් වසංගත රෝග විශේෂඥයින් හා අනෙකුත් රෝග විශේෂඥයින් ඇතුළු සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මිස අගමැතිවරයාගේ, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා විවිධ සංවිධාන හරහා සිදුකරමින් තිබෙන බලපෑම මත මැතිවරණය පැවැත්වීම සඳහා තීරණ ගැනීමට ඉක්මන් නොවන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

02. මෙහිදී  විශේෂයෙන් වෛද්‍ය විශේෂඥයින් හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කරන ආකාරයට මැයි මස පළමු සති දෙක විශේෂ අවදානම් සහිත කාල වකවානුවකි. එමෙන්ම මේ වනවිට දින 14 ක් ව තිබූ නිරෝධායන කාල සීමාව දින 21 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කිරීමද විශේෂයෙන් අවධානයට ගත යුතුව ඇත.

03. තවද මහ මැතිවරණයකදී දිවයින පුරා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ලක්ෂයකට අධික පිරිසක් මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා බව ඔබ හොඳින් දන්නා කරුණකි. මෙවැනි පසුබිමක විශේෂයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මේවන විට සිදුකරමින් තිබෙන ප‍්‍රකාශ නිසා මැතිවරණයක් පැවැත්වීමේ අවදානම පිළිබඳව ඔවුන් නිරන්තරයෙන් විමසමින් මේ සම්බන්ධව අප සංගමයට මැදිහත් වන ලෙස බල කරමින් සිටින බවද පෙන්වා දිය යුතුව ඇත.

04. තවද මේ වන විට ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසන් සභාවට පැවරී ඇති බලතල හමුවේ සෞඛ්‍ය අංශවල නිර්දේශ මත පිහිටා ව්‍යවස්ථාමය අර්බුද ඇති නොවන ලෙස මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ජනාධිපතිවරයාට සිදු කරන ලද ඉල්ලීම හා කොමිසම තවදුරටත් එම ස්ථාවරයේ සිටීම පිළිබඳව අප සංගමය බෙහෙවින් අගය කරමු.

එහෙයින් අප පෙන්වාදුන් කරුණු මෙන්ම කොමිසන් සභාව ද තවදුරටත් සිටින ස්ථාවරයේ සිටිමින් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වූ දිනෙක මෙරට ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කළ හැකි අපක්ෂපාතී නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලූ පියවර ගන්නා මෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා  ඕනෑම සහයක් ලබාදීමට ලංකා ගුරු සේවා සංගමය සූදානම් බව ද මෙහිදී තවදුරටත් පෙන්වා දීමට කැමැත්තෙමු.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress