දිස්ත්‍රික්ක 4කට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට අද 8ට යළිත් ඇඳිරි නීතිය
Posted on April 20th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය අද පස්වරු 8ට යළිත් පැනවීමට නියමිතයි.
එලෙස පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන්නේ රාත්‍රී අටේ සිට පසුදා අලූයම පහ දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, මේ මස 25 වනදා සහ 26 වනදා සති අන්තයේදී මෙම දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ඒ අනුව 24 වනදා රාත්‍රී 8 ට පනවනු ලබන ඇදිරි නීතිය ඉවත් කරනු ලබන්නේ 27 වන සදුදා අලූයම 5 ටයි.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අනිද්දා ඉවත් කිරීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය මේ මස 27 වන සඳුදා අලූයම 5 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

මීට අමතරව එම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියළු දෙනාට සම්පූර්ණයෙන්ම තහනම්  වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කළින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි සහ උපදෙස් නොවෙනස්ව පවතින බවද ජනාධිපති මාධ්‍ය අංශය ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්.

ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 34,183 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, අද ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ජනතාව මීට පෙර අවස්ථාවල මෙන් නොව අද දිනයේ නගර වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

ඇතැම් ප්‍රදේශවල ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර තිබුණ ද ප්‍රදේශ රැසකින් වාර්තා වූයේ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකොට සිය දෛනික අවශ්‍යතා ඉටු කර ගත් බවයි.

>ඇඳිරි නීතිය ඉවත් කරන ලද ප්‍රදේශවල බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ දිනයේදී ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කළා.

එහිදී ප්‍රවාහන බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දුන්නේ මීටරයක පරතරය පවත්වාගෙන යමින් ප්‍රවාහන කටයුතු සිදුකරන ලෙසටයි.

එහෙත් එම උපදෙස් නොතකමින් මගීන් බස් රථවල ගමන් ගන්නා බවට ප්‍රදේශ රැසකින් තොරතුරු වාර්තා වුණා.

එවැනි අවස්ථාවලදී සෞඛ්‍ය බලධාරීන්, පොලීසිය හා එක්ව මගීන්ට සහ එම බස් රථ රියදුරන්ට අවවාද කළා.

කෙසේ වෙතත්, ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් මගීන් ප්‍රවාහනය කරන සියලූ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එවැනි බස්රථ වල ධාවන බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, එළඹෙන බදාදා විවෘත කිරීමට නියමිතව තිබූ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය එදින විවෘත නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලූවගේ පවසනවා. බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ඉවත් කිරීමේ දිනය දීර්ඝ කිරීමත් සමඟ මෙම තීරණයට එළඹුණු බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, මීට පෙර දැනුම් දුන් පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව – හම්බන්තොට දක්වා කොටස සෑම දිනකම පෙරවරු හතේ සිට රාත්‍රි 7 දක්වා විවෘතව පවතිනු ඇති.

කෙසේ නමුත් එය භාවිත කළ හැක්කේ ඇඳිරි නීති බලපත්‍ර දරන්නන් සහ අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන්නන්ට පමණක් බව ද ඔහු කියා සිටියා.

මේ අතර, සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන, ඒ, ඒ ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන කාලසීමාවට යටත්ව නැවත විවෘත කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඊයේ හිමි වුණා.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවල ජනතාව මත්පැන් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැදී සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. විශේෂයෙන් මසකට ආසන්න කාලයක් වසා තිබී යළි විවෘත කෙරුණු වතුකරයේ මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට අද දින දිගු පෝලිම් දක්නට ලැබුනු අතර, ඇතැම් මත්පැන් අලෙවිසැල්වල මත්පැන් දහවල් වනවිට විකිණී අවසන් වී ඇති බවට ද වාර්තා වනවා.

කෙසේ වෙතත්, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ මොහොතේ සුරාසල් විවෘත කිරීමට රජය ගත් තීන්දුව කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ලබන 27 වනදා දක්වා අඛන්ඩව ක්‍රියාත්මක වීම හේතුවෙන් කොළඹ කොටස් වෙළදපොල යළි විවෘත කිරීම කල් දමා තිබෙනවා.

ඒ අනුව එය ලබන 22 වනදා ගනුදෙනු සදහා යළි ආරම්භ නොවන බවයි කොටස් වෙළදපොල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress