අවලංගු ඡන්ද පුරාණය ඡන්ද කල්දැමීම අපිට අලුත් දෙයක් නොවේ
Posted on April 22nd, 2020

කීර්ති තෙන්නකෝන්

පාර්ලිමේන්තු මැතිවරණය ගැන පැවැත්විය නොහැකි නිසා විස්සෝපයට පත් වි සිටින පිරිසකි.  ඔවුන් බහුතරයක් දේශපාලනඥයින් හා ඔවුන්ගේ හිතවතුන් ය.  අපේ රටේ මැතිවරණ වර්ග හතරක් කල් දමා හෝ අතහැර දමා ඇත. අධිකරණය ද, ඡන්ද ගැසට් බල රහිත කොට ඇත.  විසිරුවා හැරපු පාර්ලිමේන්තුව නැවතත් රැස්වී, ඡන්ද ගැන කථා කර ඇත. බහුතරයක් අවස්ථාවල දී, පාර්ලිමේන්තුව ද ඡන්ද ගැසට් අවලංගු කර ඇත.  ජනාධිපතිනි කුමාරතුංග මහත්මිය ජනමත විචාරණ ගැසට් පත්‍රය ඉවත් කර ගත්තේය.   

අද පවත්නා කෙරෝනා අර්බුදයක කුමක් වුවත්, ඊයේ ගැසට් නිවේදනයත් සමග රටේ ව්‍යවස්ථා අර්බුදයක් උද්ගතව ඇත.  ලබන අප්‍රේල් 30 දින සිට රටේ මුල්‍ය පාලනය පිළිබද අර්බුදය ආරම්භ වන්නේය.  ජූනි 2 දින සිට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීමේ අර්බුදයක් මතු වන්නේය.  ප්‍රශ්නය ඇත්තේ, මේ ගැටළුව විසදන්නට ශ්‍රේෂ්ඨාධිකරණය වසා දමා ඇත. නීතිපති දෙපාර්තමේන්තුව ද වසා දමා ය.   එලදායී සංවාදයක් සදහා අතීතය දැන ගැනීම වැදගත්ය.

විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය විසින් විසින් කාලයෙන් කාලයට විසදා ඇති ලංකාවේ ඡන්ද අවලංගු කිරීමේ  කෙටි ඉතිහාසය මෙසේය.

1.       1987 කැදවූ පළාත් පාලන ඡන්දය, එවකට පැවති භීෂණය නිසා පැවැත්වීමට නොහැකි විය.  1991 දී නැවත ඡන්දය පවත්වන්නට අවශ්‍ය වූ විට අලුතෙන් නාම යෝජනා කැදවීම සදහා 1990 අංක 24 දරණ පනත ගෙන ඒමට සිදු විය.  2011 වෙරළබඩපත්තු හා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ඡන්දය තිබුණේ නැත.  2018 අලුත් පළාත් පාලන ඡන්දය පවත්වන තුරුවත් එහි ඡන්දය තියා ගත නොහැකි විය.  2017 අංක 16 පළාත් පාලන සංශෝධන පනතින් නාම යෝජනා ඉවත් කර එම ඡන්දය අහෝසි කරනු ලැබීය.

2.      2000 දී ආණ්ඩුබලය ලබාගත් චන්ද්‍රිකා කුමාරතුංග රජය පැකේජය නමින් ප්‍රකට දේශපාලන බලය බෙදීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.  එය පාර්ලිමේන්තුවේ පරාජය වලක්වා ගැනීමට 2001 අගොස්තු 21 (2001.07.10 දිනැති අංක 1192/16 දරන ගැසට් පත්‍රය) මගින් ජනමත විචාරයණයක් කැදවූයේ ‘‘ජාතික වැදගත්කමක් හා අවශ්‍යතාවයක් ඇති කරුණක් වශ‌‌යෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යවේද?” යන ප්‍රශ්නයට ය.  ආණ්ඩුවට ඉදිරිපත් වූ විශ්වාස භංගය නිසා 2001 ඔක්තෝබර් 18 වන දිනට ඡන්දය පවත්වන දිනය  (2001.08.07 දිනැති අංක 1196/18 දරන ගැසට් පත්‍රය)
 කල් තබන ලදි.  එම ගැසට් පත්‍රය 2001.09.02 දිනැති අංක 1199/30 දරන ගැසට් පත්‍රයෙන් අවලංගු කරන ලදින් චන්ද්‍රිකා ජනාධිතිතුමිය කැදවූ ජනමත විචාරණය අහෝසි වූවේය.

3.      ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 නොවැම්බර් 09 දින අංක 2096/70 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් නොවැම්බර් 19 සිට 26 දක්වා නාම යෝජනා බාර ගැනීමටත්  2019 ජනවාරි 9 දින පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමත් නිවේදනය කළේය.  අධිකරණ ක්‍රියාවලියකින් පසුව පාර්ලිමේන්තු විසිරුවා හැරීම නිත්‍යානුකූල නොවන බව තීරණය වූ බැවින් ඡන්දය අහෝසි විය.  පසුගිය දා  ගෝඨාභය රාජපක්ෂ මහතා වසර 4  ½ ක් පිරුණු පසුව විසිරුවා හරිනු ලැබූවේ එම පාර්ලිමේන්තුවයි.

4.      පළාත් සභා ඡන්දය අවලංගු කර නොව තියෙන දවසක් හිතාගන්නට හෝ නොහැකිවන ලෙස ‘අතුරුදහන් කොට ඇත.  සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත නොවීම, ඡන්දය තියන්නට සියලුම දේශපාලන පක්ෂවලට තිබූ අකමැත්ත නිසා පළාත් සභා ඡන්දය ‘අතුරුදන් කළේ‘  යහපාලන පාර්ලිමේන්තුවය.   

5.      ලංකාවේ කල් දමාන්නට හෝ අවලංගු කරන්නට බැරි වූ එකම ඡන්දය  ජනාධිපතිවරණය යි.  එයට ද, 1989 දී උත්සාහයක් නොතිබුණා නොවේ.

ඡන්දය අවලංගු වුණා හෝ කල් ගියා හෝ ගැසට් අවලංගු කලා හෝ ලෝකය නැවතුනේ නැත.   මම පුද්ගලිකව පලාත් පාලන, පළාත් සභා ඡන්ද පැවැත්වීම සදහා තනිව සටන් කළ අවස්ථා නැතිවා නොවේ.  දැන්, කාලය අවසන්විමට මාස 6 තිබිය දී විසිරුවා හරිනු ලැබූ පාර්ලිමේන්තු රටේ ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කර ඇත්තේ කොරෝනා වෛරය නිසාය.  රජයට, මැතිවරණ කොමිසමට, විපක්ෂයට  විකල්ප නැද්ද? යන ප්‍රශ්නය වෙනම කථා කළ යුත්තකි.  හැබෑ උවමනාවක් ඇති නම් ජූනි 2 ට පෙර ප්‍රශ්නය විසදා ගත හැකි මාර්ග ගණනාවකි.

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress