කොරෝනා වසංගතය හා මාර යුද්‌ධය
Posted on April 30th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

මිණී වෙළෙන්‌දෝ

අන්තිමේදී ඇමෙරිකාවේ සිගරැට් සමාගම් රට අතහැර චීනය, වියට්නාමය, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ රටවල් වලට ගියේ ඒවාට විරුද්‌ධ නීති හා නඩු තීන්‌දු නිසාද, නැත්නම් මිණීමරුවන් ලෙස (මර්‌චන්ට්ස් ඔෆ් ඩෙත්) ඒවායේ අයිතිකරුවන් හංවඩු ගැසීම නිසාද යන්න පැහැදිලි නැත. එහෙත් පාරේ තිබූ මී මළකුණක් දැක එය විකුණා ධනවත් සිටානන් කෙනෙක්‌වූ පුද්ගලයෙක් පිළිඹඳ ජාතක කතාවට සමාන සිදුවීම් මාලාවක් දැන් ලංකාවේ සිදුවෙමින් පවතී. කොරෝනා මර්‌ධනය සම්බන්‌ධයෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙලේ නොයෙක් අඩු පාඩු හා දුර්‌වලකම් ඇති බව සැබෑය. නමුත් යහපාලනකාරයින් පාස්කු ප්‍රහාරය හෝ මහ බැංකු මංකොල්ලය කළමනාකරණය කල ආකාරය සිතන විට, මේ වේලාවේ ගෝඨාභය නොසිටින්නට ලංකාව සුනේ සුන් යන කියමණ අතිශොක්තියක් නොවේ. ග්‍රාම සේවකගේ සිට ඉහලට මුළු සිවිල් සේවාවම හා සිවිල් ජන සමාජය වැඩකරන්නට පුරුදුවී සිටින්නේ, ඒ කාලයේ සරත් ෆොන්සේකා විසින් බිම් බෝම්බ අස්සේ ඉදිරියට යන ලෙස විධානය කලවිට සොල්දාදුවන් ගිය අන්දමට නොවේ. යුද හමුදාවලට උපාධිධාරීන් නොගන්නේ, යුද පිටියේදී වෙඩිතියන්නට යයි අණක් දුන් විට, ඊට කලින්, ඒ ඇයි, කියා යම් සොල්දාදුවෙක් අසන්නට යනවානම්, යුද හමුදාවක් පවත්‌වා ගෙන යානොහැකි නිසාය.

සිකුරාදාට වයින් බොන කල්ලිය

මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බෑ කියූ පිරිස, කොරෝනා වසංගතය හරහා යහපාලන පාර්ලිමේන්තුව නම් මළකුණ ගොඩගන්නට කරණ වෑයම මීයාගේ මළකුණට සමාන කල නොහැකිද? මෝස්තරකාර මංගල සමරවීරට අනුව පාර්ලිමේන්තුවට යලි ඔක්‍ෂිජන් නොදුන්නොත්, ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලයේම පුරවැසි අයිතිවාසිකම් අහෝසි වෙන්නේය. මෙහිලා අළුත්ම හා භයානකම <ආයාචනය> එන්නේ ෆ්රයිඩේ ෆෝරම් එකේ සාවිත්‍රි ගුණසේකර නෝනා ගෙන්‌ය. කලින් ජනාධිපතිට යැවූ සංදේශයට පසු, ඉදිරියේදී සුප්‍රිම් උසාවිය විසින් දියහැකි යම් නඩු තීන්දුවකට අවශ්‍යවන මූනිස්සම් සහිත සංදේශයක් ඇය විසින් දැන් ලියා ඇත (කලම්බු ටෙලිග්‍රාෆ්, 4/30/20). කබරගොයා තලගොයා කිරීමේ (අර්‌‌ථ නිරූපනය කිරීම) නීතිවිද්‍යා රීතිය යටතේ ඇයගේ ත‌ර්‌ක-විත‌ර්‌ක යම් නඩුකාරයෙකුගේ කණට දමණ මී පැණි වැනි විය හැකිය. යම් නඩුකාරයෙකුට ඒවා හීනෙන් පෙනෙන්නට පවා පුළුවන. මීට හේතුව, 2018 සිරිසේන-රනිල් නඩුවේ තීන්‌දුව ඒ නඩුව ගැන සාවිත්‍රි කලින් ලියා පලකල සංදේශයට සමාන වීමය. ජී. එල්. පීරිස් මෙන් සාවිත්‍රි ද මේ බොහෝ නඩුකාරයින්ගේ ගුරුවරු විය. ඇමෙරිකන් තානාපතිනි රහස් කේබල් යවමින් ඇඳ උඩ පිණුම් ගහනවා නිසැකය. ඇමෙරිකන් මහජනයා මේ ක්‍රීඩා දන්නේවත්, අනුමත කරන්නේවත් නැති බව ලංකාවේ ජනයා දන්නේ නැත. ආර්‌ථික ඝාතකයෙකුගේ පාපෝච්චාරණ (2004) යන ජෝන් පර්කින්ස්ගේ පොත මේ දෙරටේම අහිංසක මහජනතාව කියවා නැත. මෙය යමෙකු විසින් සිංහලට පෙරළන්නේ නම් යෙහෙකි.

මාර යුද්‌ධය

කොරෝනා මළමිණී මතින් යහපාලන ප්‍රමුඛ කළු සුද්දන් ගෙන යන මේ ශීතල යුද්‌ධය ගෝඨාභයට විරුද්‌ධ සටනක් නොව, මේ රටේ අවුරුදු 550 ක කාලයක් තුලම පෑගී, පාපිසි වී සිටි සිංහල බෞද්‌ධ ජනයාට විරුද්‌ධව (බුදු අම්මෝ පිරිසට), ඕ මයි ගෝඩ් කල්ලිය ගෙන ගිය, ගෙන යන මාර යුද්‌ධය මය. මෙහිලා අවශ්‍ය වන්නේ, 1956 මාර යුද්‌ධ කාටූනයේ ඉන්නා අයගේ නම් වෙනුවට රනිල්, සුමන්තිරන්, මනෝ ගනේෂන්, මුජිබර් රහමන්, කිරිැල්ලේ, මංගල, චන්ද්‍රිකා, ලාල් විජේනායකලාගේ නම් ආදේශ කිරීම පමණක් නොවේද?

1978 ව්‍යවස්ථාව බයිබලයක්ද? කෝරානයද? භගවත් ගීතාවද? එය, ධම්මපදයක් නොවන බව නම් ඉතාමත් පැහැදිලිය. 1978-2015 ව්‍යවස්ථාව, පංචස්කන්‌ධ හතරක් පහක් විසින් තමන්ගේ වාසියට සකස්කල කොලකෑලි නොවේද? මෙය සැදූ ජේ. ආර්. එය සංශොධනය කලේ රට හදන්නද? ඉන් පසු ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණයට කලින්දා, දිස්ත්‍රික් අවමය 12.5 සිට 5% දක්වා අඩුකලේ රටට ආදරේටද? චන්ද්‍රිකාලා 2001 දී 17 වන සංශොධනයෙන් ඈ විසින් බහු භූතයක් ලෙස හැඳින්‌වූ ජේ. ආර් ගේ එක තවත් අවුල් නොකලාද? මහින්දගේ 18 වන සංශොධනය ඔහු විසින් නොකල යුතුව තිබූ දෙයක් නොවේද? අන්තිමේදී මෛත්‍රීපාල රූකඩයක් කරගෙන, ජයම්පති-සුමන්තිරන්-ලාල් වීජේනායකලා ගෙනා 19 සංශොධනය රට අරාජක කරන්නට කල කුමණ්ත්‍රනයක් නොවේද? පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිෂම ඉදිරියට එන අළුත් ශාක්‍ෂි කරුවන් මඟින් (රිෂාඩ්, අසාද් සාලිලාට සුදුහුණු ගෑමටගෙනා පාර්ලිමේන්තු කොමිටු බොරුව මෙන් නොව), මෙම අරාජික කිරීමේ තරම එලිදරව් වෙමින් පවතී. ඕනෑම නරක දෙයක් වුවත් හොඳ අරමුණක් සඳහා සාර්‌ථක ලෙස යොදාගත හැකි බව 30 යුද්‌ධය ජයගැනීම 1978 ව්‍යවස්ථාවේ බලතල නිසා වීමෙන් ඔප්පුවේ.

මේ නිසා රට ඉදිරියේ ඇති ප්‍රශ්ණය වන්නේ, වටේ රවුම් යනවා වෙනුවට, ගොනාගේ අං තට්ටුවෙන්ම අල්ලාගෙන පොර බදනවාද නැද්ද යන්නය. සාවිත්‍රි නෝනාගේ කෙස් පැළෙන ත‌ර්‌ක අතරින් එක් මූලික ත‌ර්‌කයක් වන්නේ මැකෝට නීතියෙන් බලය ඇත්තේ යම් චන්ද දිස්ත්‍රික්කයක (කීපයක?) චන්දය කල්දමීම මිස, මුළු රටේම චන්දය කල් දාන්නට නොවන බවය! ඇගේ මේ තර්‌කය උසාවියක් විසින් අනුමත කලොත් එය පුදුමයට කරුණක් නොවන්නේ ලෝකය පුරාම උසාවි නොමැරී පවතින්නේ (නඩුකාරයින්ගේ හා නීතීඥයින්ගේ ජොබ් සෙකියුරිටි තිබෙන්නේ) මෙවැනි වැට උඩ තර්‌ක නිසාම වීමය. සදාම් හුසේන්ගේ, අරාබියේ, කිම් ඉල් සුන්ගේ, චීනයේ, කියුබාවේ උසාවි වල වුනත් එය එසේමය.

සාවිත්‍රි විසින් හා ඇගේ සිකුරාදා විස්කි පාටි සාමාජිකයින් විසින් අමතක කරණ දෙය හා ජනාධිපති ගෝඨාභය විසින් මතක තබා ගත යුතු කාරණය නම් රටේ හාමුදුරුවරු ඔහුට බලය ලබාදුන්නේ, සුළු ජන වර්‌ග වලට වෙනස් කිරීමට නොව, එහෙත් සිංහල බෞද්‌ධ ජනයාට සාධාරණය ඉෂ්ට කිරීමටය යන්නය. එක රටක්, එක නීතියක් යනු, මංගල සමරවීර කිව්වා මෙන් චන්දයෙන් පසු අමතක කලයුතු, චන්ද ප්‍රකාශණ වගේ නොවිය යුතු බව රටවැසියා පෙන්‌වා දී තිබේ. මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් සිංහල බෞද්‌ධ යන්නට, 2018 පමණ සිට සිංහල කතෝලික යන්නද එකතු කලේය. මේ ජනයා චන්දය දුන්නේ, මුන් 225 ම එපා කියාය. එම 225 න් බොහෝ අය 2020 පොහොට්ටු නාම යෝජනා ලැයිස්තු වලද ඉන්නේ ගෝඨාභයගේ ආශිර්‍වාදයකින් නොව, නාස්ලණුවාදය (ප්‍රජා-තන්ත්‍ර) අනුව දැන් තිබෙන චන්ද ක්‍රමයට අනුව වෙන ගත හැකි තීරණයක් නැති නිසාය. එසේ නමුත් එසේ නම් දමා ඇති අය නැවත එන්නේ බලගතු බඩ විරේකයකින් පසුවය. පරණ සෙල්ලම් දමන්නට ඔවුන්ට නොහැකි බව ඔවුන් දන්නේ, වියත් මඟ නැතත්, මගෙන් බේරී ගියාට හූණා ගෙදර ඉන්නවා යයි කිඹුලා කිව්වා මෙන්, හොඳ ශක්තිමත් අළුත් නම් දුසිමක්වත් පාර්ලිමේන්තුවට යන නිසාය. රටේ හැම මන්ත්‍රී කෙනෙක්ම තම වත්කම් රටටම දැනගත හැකි වන ලෙස ප්‍රසි‌ද්‌ධ කල යුතු යයි නීතියක් ගෙන ඒම මීලඟ පාර්ලිමේන්තුවේ ප්‍රථම පණත නොවුනොත් එය ජනාධිපති ගෝඨාභයට එන අනතුරු ඇඟවීමක් වනු ඇත.
විහිළුවට, පුදුමයට හා සතුටට කරුණ වන්නේ සාවිත්‍රිගේ ඉහත සඳහන් සංදේශයේත්, අවලංගු කාසි වැනිවූ යහපාලන පක්‍ෂ විසින් කලා මෙන් පාපෝච්චාරණ, බැගෑපත්‌වීම් හා පොරොන්‌දු, පිලිපැදීමට සුදානම් කොන්දේසි පවා ඇතුලත් කර තිබීමය. උදාහරණයක් වශයෙන්, පඩි නොගැනීම, කොරෝනා හැර වෙනත් දේ ගැන කතා නොකිරීම, තෝරාගත් මන්ත්‍රීන් පමණක් ඒම, රැස්වීම් නියමිත කෙටි වේලාවකට පමණක් වීම, යනාදී යෝජනා, සර්‍වාධිපත්‍ය ඇත්තේ ජනතාවට මිස මන්තිරී පරාණ වලට නොවන බව ඇය විසින් දැන හෝ නොදැන සටහන් කර තිබීමය. එය ඇය විසින් ඩෙස්පරේට් (අමාරුවේ වැටී ඉන්නා) රටකට ඩෙස්පරේට් හැසිරීමක් (අමාරු විසඳුම්) යෝජනා කිරීමක්ද, නැත්නම් ඇගේ ඩෙස්පරේට් මනස පිළිඹිඹු කරනවාද?

1978 ව්‍යවස්ථාව කීපදෙනෙකු විසින් ඇටවූ ජරමරයක් මිස, මහජනතාව ගම් මට්ටමින් තබා මහජන රැස්වීම් මට්ටමින් වත් අනුමැතිය ලැබූ දෙයක් නොවේ. මන්ත්‍රී පරාණ වල කෙරුවාව 19 සංශොධනයෙන් එලිවිය. ඒ වෙනුවෙන් දරදිය ඇද, ඒ නිසා ඔහුම ඔහුව නෙල්සන් මැඩෙලා කෙනෙක් කරගත් මෛත්‍රීපාල ජනාධිපති විසින් එය රටට ගෙනා ලොකු විනාශයක් ලෙස පසුව පව්සමා කිරීමෙන් එලි නොවේද? මන්ත්‍රීලා මහරෑ නිදිමරගාතේ අත ඉස්සූ බව කිව්වේ එය භාරව සිටි අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂය. එය තව දිනයකට කල් තැබුවේ නැත්තේ ඇයි? තදියමක් තිබුණේ කාටද? එකම ශ්‍රේෂ්ඨ මන්ත්‍රී වූයේ රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර උසාවිය මෙහිදී කියන්නේ පාර්ලිමේන්තුව, මන්ත්‍රීන් මොන පිස්සු හා කපටි වැඩ කලත් කතානායක අස්සන් කල පසු නීතිය නීතියම බවත්, උසාවියට ඒ ගැන කල හැකි දෙයක් නැති බවත්‌ය. මෙය පුදුම රූල් ඔෆ් ලෝ එකකි! නඩුත් කොළඹ කෛරාටික පක්‍ෂ නායක දුසිමක දෙකක ගේය; බඩුත් ඔවුන්ගේ (හා උසාවියේ) ය. උදාහරණයක් වශයෙන් පාලිත තේවරප්පෙරුම හිටපු මන්ත්‍රීට පාර්ලිමේන්තුවේ කෙරුවාව ගැන ශාක්‍ෂි දීමට ඉඩ දීම 1954 දී ඇමෙරිකාවේ සුප්‍රිම් උසාවිය ආරම්භකල එක්ස්ට්‍රාර් ජුඩිෂියල් එවිඩන්ස් ගනයට නොවැටේද? ඔහු ජන මාධ්‍ය වලට කියන කතා අසණවිට රටට ආදරය ඇති ඕනෑම කෙනෙකුට අනේ අපේ රටට වෙච්චදේ කියා සිතී ඇඟ කිලිපොළා යනවා නිසැකය.

මෙසේ නම් ගෙවිඳු කුමාරසිංහ විසින් පෙන්නා දුන් අයුරු, සුභා හා යස චරිතය රඟ නොපා, සුමන්තිරන්ලා සාවිත්‍රි පිටපත උසාවියෙන් අනුමත කරගෙන ආවත්, දියවන්නා හෝටලයට ඇතුල්වීමට ඉඩ නොදීම මහජන සර්‌වාධිපත්‍ය අනුව ජනාධිපති ගෝඨාභයට, ලංකාව ආරක්‍ෂාකරණා විෂ්ණු දෙවියන් විසින් ආරූඪ කර ඇති බලයකි. බොරු නීතියේ ආධිපත්‍ය කතාවක් හරහා 2019 නොවැම්බර් 18 ප්‍රකාශ වූ මහජන මතය, උඩුයටිකුරු කරන්නට, ප්‍රභාකරන් මරා දැමූදා සිට රාජපක්‍ෂ පවුල ගැන වෛරයෙන් බලා ඉන්නා, ඇමෙරිකන් හා බටහිර තානාපතිලාට ඉඩ නොදිය යුතුය. මහින්ද, බැසිල් යම් වැරදි කලා නම් එවැනි වැරදි නොකල කෙනෙක් සොයා ගැනීමට පාටාචාරා ටෙස්ට් එක අවශ්‍යද? රනිල්, සජිත්ලා ලෝක හීතල හොරු නොවේද? උසාවිය විසින් යම් විධියකින් සාවිත්‍රිලාට, සුමන්තිරන්ලාට, පරණ කතානායකට ඔක්‍ෂිජන් දුන්නොත්, ඩොලර් වලින් වෙන කොළඹ හෝටලයක් කුලියට ගෙන කොරෝනා මුඛ ආවරණ පැළඳ ගෙන එක්‍රැස්වීමට ඔවුන්ට හැකිය. එවිට බැසිල් කොරෝනා සල්ලි හොරකම් කරනවාද යන කරුණ සළකා බැලිය හැකිය. බලයේ සිටි කාලයේ එසේ කලා නම් බැංකු මංකොල්ලයේ ඇත්ත කාරණා රටට එලිවන්නට හොඳටම ඉඩ තිබුණි. ගෝටාභයට දුන් ලක්‍ෂ 69, කැපුවත් කොල අයගේ චන්දත් සමඟ ලක්‍ෂ 80 ක් වෙන්නටත් ඉඩ තිබුණේය.

හැමදේටම වඩා කොරෝනා මර්‌ධනයට රනිල්-සජිත්ලා, රාජිත සුවපති සමඟ ගේනා විශ්වකර්‌ම ප්‍රතික‌ර්‌ම හෝටලය තුල පවත්‌වන නිරන්තර මාධ්‍ය ප්‍රකාශණ මගින් රටට එලිකල යුතුය. ඊට රාජිතගේ පුතාවද සහභාගී කරවා ගැනීමෙන් අර කිඹුල් මාධ්‍ය සාකච්චාවද රටට අමතක කරවාගත හැකිය. පාලිත තේවරප්පෙරුමලා 100 ක් වත් රටපුරා යැවීමට පාලිතට අරමුදල් පාස්කර දීමටද ක්‍රියාකල හැකිය. ඒ සඳහා රංජන්ව ගෑව්වොත් කිරිකලේට ගොමබිංදුවක් දැම්මා වන බවද තේරුම් ගත යුතුය. අවසාන වශයෙන්, දයාන් ජයතිලක විසින් සාවිත්‍රි සංදේශය කියවා යෝජනා කර ඇති අයුරු, ජනාධිපති විසින් මෙම සුමන්තිරන්-සාවිත්‍රි-මංගලලා කියන ව්‍යවස්ථා අර්බුදය ගැන ජනමත විචාරණයකට යෑම ගැනද හෝටලයේ සිට සාකච්චාකල හැකිය. එසේ සාවිත්‍රි නෝනාට අමතකවූ නීති පොතේ තියෙන කාරණාවක් නීතීඥයෙක් නොවන දයාන්ට පෙනීයාම, ලංකාවේ නීතිඥ ප්‍රජාවට ඔහු ඉගැන්‌වූ හොඳ පාඩමක් යයි මම සිතමි. ඔහු පෙන්‌වන මේ <එස්කේප් වෑල්ව්> එක මඟින්, නීතියේ ආධිපත්‍යය නම් කොරෝනා මළමිණී තර්‌කය, පාරාවලල්ලක් කරගත හැකිය. එය ජනාධිපතිට නීතියෙන් දී උසාවි මතය අභිභවා ජන මතය ජයගැන්‌වීමකි. ඌරාගේ මස් උගේ පිටේම තබා කැපීමකි. නීතියේ ආධිපත්‍යය නමැති ජරමරය (ඌරා) ජනතා සර්‍වාධිපත්‍යය නමැති පිහියෙන්, උගේ මස් උඩම තබා කැපීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress