කුඩුකේඩු විපක්‍ෂය කොරෝනා පතුරුවන්න උගුල් අටවයි…
Posted on May 7th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන භේදයකින් තොරව කොරෝනා වසංගතය පාලනයට උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටිය දී විපක්ෂය ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු – ආත්මාර්ථකාමී හැසිරීමක් පෙන්නුම් කරන බව ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක මාධ්‍ය හමුවීමට එක්වෙමින් ඒම මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

කොරෝනා වසංගතය ලෝක පරිමාණව ඇවිලෙන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඉතා වැදගත් ඉල්ලීමක් කරනු ලැබුවා. එම ඉල්ලීම සිදු කරනු ලැබුවේ එක් එක් රටවල රාජ්‍ය නායකයන්, පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන්. ඔහු ඉල්ලා සිටියේ ‘ඔබලා සීමා ඉරි මකා දමන්න. දේශපාලන වෙනස්කම් අමතක කරන්න. වෙනත් වෙනස්කම් අමතක කරන්න. මේ වසංගතය පරාජය කිරීම පිණිස ඔබලාගේ රටවල් තුළ උසස් මනසින් හෙබි මිනිසුන් ලෙස කටයුතු කරන්න’ කියා.

සාර්ථක වසංගත පාලනයක්…

ඔබ දන්නවා, ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, කැබිනට් මණ්ඩලය ඇතුළු මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන වාද භේදයකින් තොරව සිය උපරිම කැපවීමෙන් මෙම කොරෝනා වසංගතය පාලනය පිණිස කටයුතු කරමින් සිටින බව. යම් රටක් වසංගතයක් පාලනය කරලාද, නැද්ද කියා මැන බැලීමේ ප්‍රධානතම මිනුම් දණ්ඩ තමයි, එම වසංගතය එම රටේ සෞඛ්‍ය අංශවල ධාරිතාවට දරා ගත හැකිද, නොහැකිද යන්න. අද වනවිටත් අපේ රටේ දැඩි සත්කාර ඒකක ඇදන් සියල්ලම කොරෝනා රෝගීන්ගෙන් පිරී නැහැ. තවදුරටත් සමස්ත මරණ සංඛ්‍යාව 10ට අඩු ඉලක්කමක තබා ගන්න හැකි වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, සමස්ත රෝගීන් සංඛ්‍යාව 800කට අඩුයි. ඉන් 200කට අධික සංඛ්‍යාවක් මේ වන විට පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා. ඒ කියන්නේ අපි රටක් ලෙස මේ වසංගතය සාර්ථකව පාලනය කරමින් සිටින බව නොවේද?

ඉන් කියවෙන්නේ මේ රටේ දේශපාලන නායකත්වය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය සාර්ථකව තම වගකීම් ඉටු කරන බවයි. රුපියල් 5000ක සහනය එය හිමි පිරිසෙන් 99.9%ක පිරිසකට ලබා දීමට මෙරට ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සමත්ව තිබෙනවා. ‘කොරෝනා එනකොට එදා හිටපු වහපාලනය හිටියා නම් මේ රටට දෙයියන්ගෙම පිහිටයි’ කියා හිත යටින් පවසන්නේ අපි නොවෙයි එදා ඒ වහපාලනය කැන්දාගෙන ආපු පිරිසමයි.

‘ආත්මාර්ථකාමී – කුඩුකේඩු විපක්ෂයක්’

ඒත් මෙවැනි ලෝක පරිමාණ වසංගතයකට රටක්, ජාතියක් මුහුණ දී සිටින විට ලෝකයේ කිසිදු රටක විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ ආත්මාර්ථකාමී හැසිරීමක් මේ රටේ විපක්ෂය අද පෙන්නුම් කරමින් සිටිනවා. මේ අය එකිනෙකා ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, හෙද නිලධාරීන් ආදී වශයෙන් රාජ්‍ය නිලධාරීන් අකර්මණ්‍ය කිරීමේ ක්‍රමවේද සොයමින් සිටිනවා. වසංගත තත්ත්වය පාලනය හොඳ නම් එහි ගෞරවය ‘සමකයට’ ලබා දෙනවා.

‘සියලු ගෞරවය සමකයට’

‘වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු අනෙකුත් සුව සේවා නිලධාරීන් කළ දෙයක් නැහැ. ක්ෂේත්‍ර නිලධාරීන්, ආරක්ෂක හමුදා, බුද්ධි අංශ කළ දෙයක් නැහැ. මේ රටේ කොරෝනා වෛරසය පාලනය වී ඇත්තේ සමකයට ආසන්න රටක් වීම නිසයි’ කියලයි ඔවුන් කියන්නේ. මේ තකතීරු – කුඩුකේඩු විපක්ෂයේ තර්කය අනුව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා බරපතළ ලෙස ව්‍යාප්ත වන්නේ ට්‍රම්ප් ගත් තීරණවල අවුලක් නිසා නොවෙයි, ‘ඇමෙරිකාව සමකයට ඈතින් පිහිටි රටක් වීම’ නිසයි. ඒ නිසා මෙවැනි විපක්ෂයක් කොරෝනා වසංගතයටත් වඩා භයානකයි.

‘අසමත් කල්ලිය භාර දුන්නු රට’

මේ වහපාලකයන් 2015 දී භාරගත්තේ 7.5 %ක ආර්ථික වර්ධනයක් තිබූ රටක්. නමුත් භාර දීමට සිදු වූයේ 1.4%ක ආර්ථික වර්ධනයක් සිදු වූ රටක්. මේ අය මහ බැංකුව හොරාකාලා මේ රටේ භාණ්ඩාගාරය දුප්පත් එකක් බවට පත් කළා. ණය බර අහස උසට ඉහළ දැම්මා. එහෙම රටක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දීමට සිදු වූ මේ අසමත් කල්ලිය දැන් කියනවා, ‘5000ක් මදි. 20,000ක් දෙන්න’ කියා. ‘සජිත් පැකනිල්’ මහත්තයා කියනවා එයාට බලය දුන්නා නම් ‘20,000ක් දෙනවා’ කියා. එයා දේවි එයාගේ සහෝදරියගේ හොර සල්ලි ෆැක්ටරියෙන් සල්ලි අච්චු ගහලා. (මාධ්‍යවේදීන්ගේ සිනා)

කොටි ත්‍රස්තවාදය මර්දනය වැනි කරුණක දී නම් මතවාද කිහිපයක් තිබිය හැකියි. ඒත් ජාතික ව්‍යසනයකට මුහුණ දීමේ දී මතවාද ගැටුම් තිබිය හැකිද ? එම ව්‍යසනය පැරදවීම එකම අරමුණ විය යුතුයි නේද ? මේ අය සිදු කරමින් ඉන්නේ සියලු දුෂ්කරතා මැද සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඒකබද්ධව මේ සිදු කරමින් සිටින කොරෝනා මර්දන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව තුළ අවිශ්වාසයක් ගොඩගැනීම. ඒ නිසයි ‘මරණ සංඛ්‍යාව, රෝගීන් පිළිබඳ සංඛ්‍යාලේඛන පිළිගන්න බැහැ’ ආදී අවිශ්වාසය වඩවාලන අසත්‍ය ප්‍රකාශ පතුරුවා හරින්නේ. මේ රටේ තොරතුරු සඟවාලන්න පුළුවන් කියා යමෙක් හිතනවා නම් ඊට වඩා මෝඩ සිතුවිල්ලක් තවත් නැහැ.

‘ඉන්න තැනෙනුත් පහළට ඇද දමන්න’

කවර දුෂ්කරතා මැද වුවත් ජීවනෝපාය මාර්ග අහිමි වූ පවුල්වලට රුපියල් 5000ක් මාසිකව ලබා දීලා, ජනතාවට දිය හැකි ආර්ථික සහන සියල්ල ලබා දීලා, අවම සේවක සංඛ්‍යාවක් යටතේ වුවත් සියලු අමාත්‍යාංශ සේවා, අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගනිමින් යන මේ ගමන ගැන මේ විපක්ෂ කල්ලිය බිය වී තිබෙනවා. ඒ නිසා එදා යුද සමයේ දී ‘කිලිනොච්චියේ දී ඇන ගනිව්’ කියා බලා සිටි මේ අමන රැල අද ‘කොරෝනා මර්දනය අසාර්ථක වේවි. එය රජයේ පාලනයෙන් ගිලිහේවි’ කියා බලා සිටිනවා. රෝගීන් දසදහස් ගණනින් හමුවෙද්දි, දහසකට අධික පිරිසක් මියයද්දි අසල්වැසි ඉන්දියාවේ විපක්ෂය කටයුතු කරන ආකාරය දෙස බලන්න. ඔවුන් වගකීමෙන් කටයුතු කරනවා. රජයට ලබා දිය යුතු සහය ලබා දෙනවා.

‘මෙවැනි තකතීරු – කුඩුකේඩු විපක්ෂයකට දිය යුතු පිළිතුර කුමක්ද?’ කියා මේ රටේ සබුද්ධික ජනතාව සිතා බැලිය යුතුයි. ඔවුන් අද සිටින තැනෙනුත් පහළට ඇද දැමිය යුතුව තිබෙනවා. එයයි වගකීම් සහිත ජනතාවකගේ ප්‍රතිචාරය විය යුත්තේ”

මෙම මාධ්‍ය හමුවට ශ්‍රීප ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර යන හිටපු රාජ්‍ය අමාත්‍යවරු එක්ව සිටියහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress