නිරෝගී දරුවා ජාතියට සම්පතකි
Posted on May 9th, 2020

මතුගම සෙනෙවිරුවන්

        සෞඛ්‍ය අංශයන්හි ප්‍රගමනය මනින එක් දර්ශකයක් වශයෙන් සැලකෙන්නේ ළදරු මරණ අනුපාතය අඩු විමයි. වසංගත රෝග  බෝවන රෝග බාල පක්ෂාගාතය වැනි රොග වලින් ආරක්ෂා වීම පිණිස අලුත ඉපදුනු දරුවෙකුට එන්නත් කීපයක්ම දෙනු ලැබේ. මේ නිසා ළදරු මරණයන් ගේ සීග්‍ර අඩු වීමක් ඇති බව කියති. එන්නත් කරනු ලබන්නේ ශරීරයේ ප්‍රතිශක්තය ජනිත කිරීමටයි.එහෙත් ස්වභාව ධර්මයා විසින්ම ඕනෑම සත්වයෙකු සඳහා ඇති කර තිබෙන ප්‍රතිශක්තියක්ද ඇත. එය මිනිසාටද පොදුය. ෙම් වසංගත සමයේ දී එය මැනවින්ප්‍රත්‍යක්ෂ කොට දී ඇත. කොරොනාව මිනිස් ශරීර තුල මට්ටු වෙමින් පැතිරෙන්නේ ඒ නිසාය.එසේ නම් බැහැරින් ප්‍රතිශක්තිකරණයන් අවශ්‍ය වන්නේ ඇයිද යන පැණය මතුවේ.

      දරුවෙකු නිරෝගීව පිරිපුන් තරුණ වියකට පත් වීම තුල අනාගත මැදිවිය හා මහලු වියට අවශ්‍ය ඔරොත්තු දීමේ ගුණාංග වර්ධනය වේ. මරණය තෙක්ම නිරෝගීව සිටීම තුල ස්වකීය පවුලටත් සමාජයටත් වැඩ දායක පුද්ගලයින් බිහිවේ. මේ නිසා ස්වභාවික ප්‍රතිශක්තිකරණයේ අවශ්‍යතාවය පැරණියන් ගේ දේහ ධර්මයක් ලෙසට සැලකුණි. යම් යම් කර්ම විපාක අනුව උපතේදීම දරුවෙකු මිය යාම හෝ ළදරු වියේ දී දරවෙකු මිය යාම බරපතල කරුණක් ලෙසට ඒ සමාජය විසින් නොසලකන ලදී. පවුලක දරුවන් පස් දෙනෙකුට වඩා සිටීමත් දරුවන් හැදීමේ හා වැඩීමේ කටයුත්ත මව් වරුන්ගේ ප්‍රමුඛ යුතුකම ලෙසට සැලකීමත් මීට හේතුවයි. මේ නිසා දේහ ධර්මය පවත්වා ගෙන යාම පිණිස අපගේ මුතුන් මිත්තන් අනුගමනය කළ සිරිත් විරිත් කීපයක් මෙහි සඳහන් කිරීම වටනේයයි  සිතමි.

         දරුවාගේ උප්පත්තිය සිදු වීමට පෙර සිටම ගැබිණි මව ආරක්ෂා කිරීමත් ඇය පෝෂණය කිරීමත් සමාජයේ උත්තරිතර වගකීමක් විය. ඇයට සුදුසු ආහාර නුසුදුස ආහාර කුමක්දැයි තීරණය කොට එය ලබා දිමත් දොළ දුක ඇති වූ විට කෙසේ හෝ ඒ අවශ්‍යතාවය ඉටු කරලීමත් මේ යුතුකම් අතර විය. එමෙන්ම ගැබිණි මවකට රුචිකර වූ බත්ගෙඩියක් ගෙන යාම සෑම  කාන්තාවකගේම ආශාවක් විය. එය පින් ලැබෙන කටයුත්තක් ලෙසට සැලකුණි. මෙම සද් කාර්ය අද දක්වාම ගම් වල ක්‍රියාත්මක වේ.ගැබිණි මව නිරෝගීව ස්වභාවික ආකාරයට දරුවා බිහි කළ පසු දරුවාගේ අවශ්‍යතාවයට මූලිකත්වය දී මවගේ සෞඛ්‍යත් රැක ගැනීම පෙර සිරිත විය. මා මෙහිදී සාකච්ඡා කරන්නේ උපතේ පටන් ළදරුවාට කල යුතු වත් පිලිවෙත් හා බෙහෙත් පිළිබඳවයි.

                   දරුවා ඉපදුණු පසු මද උණුසුම් ජලයෙන් ද අට්ටික්කා බෝ ගම්සූරිය යන ගස්වල පොතු ගෙන තම්බා ගත් ඖෂධ ජලයෙන් හෝ වෙනිවැල් ගැට තැම්බූ වතුරෙන් ළමයා නහවා පිරිසඳු කිරීම මූලික කාර්යයයි. ඉන් පසු කලින් සූදානම් කර ගත් සිනිඳු රෙදි පිළි අන්දවා කොහොඹ  අත්තකින් පවන් සලා එම කොළ ගෙයි එල්ලීම මගින් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරලීම බලාපොරොත්තුව වේ. මේ අතර අබ සූදුරු සුදු ලූණු දුම්මල අඹරා බිළිදාට හා මවටද බිළිදා තබන ස්ථානයටද දුම් ඇලීම හා කොහොඹ තෙල් දුම කාමරය පුරා ගැල්වීමද කෙරේ. ඉන් පසු වියළි කහ කැබැල්ලක් හිල් කර දරුවාගේ අත පැළඳවීම පෙර ක්‍රමයයි. දරුවා නහවා පිරිසිඳු කිරීමෙන් පසුව ලුණු විල නෙහොත් බැමිතිරිය මිශ්‍ර තනකිරෙන් රත්තරන් මුදුවක් ගල ගා දකුණත් වෙදඟිල්ලෙන් ගෙන දරුවාගේ දිවග ගෑම රන් කිරි කට ගෑම ලෙසට පැරණියන් හඳුන්වති. රන්මුදුව ලබා ගන්නා තැනැත්තිය කණවැන්දුම් නොවූ දරුවන් ඇති යහපත් දිවියක් ගත කරන මවක් නම් වඩාත් සුදුසුය.රන් කිරි කට ගෑමෙන් නුවණ වර්ධනය වේ. හොඳ යහපත් එඩිතර දරුවෙකු ඇතිවීම ද රූපයෙන්ද සවි ශක්තියෙන් වැඩි දරුවෙකු වර්ධනය කිරීමද බලාපොරෙත්තුව වේ.

          මින් පසු දරුවා දොරට වැඩීම සිදු කෙරේ. මෙයට අඟහරුවාදා හෝ සිකුරාදා දින අතහැර සුභ දිනයක උදය වරුවේ දෙහි ගෙඩියක් හෝ තුඹ ගෙඩියක් උණු අලු පල්ලේ දමා රත්කර දිව ගා සුභ දිශාවකින් සභ සුභ නැකතකින් දොරට වැඩමවීම සිදු කරනු ලැබේ. මේ අතර තුර දරුවාගේ ශක්තිය වර්ධනය කිරීමට තවත් අලේපනයක් සූදානම් කෙරේ. එය සකස් කරන්නේ පොල් ගෙඩියකින් ගා ගත් පොල් ජලය මිශ්‍ර නොකර මිරිකා අව්වේ කකාරා ගැනීමෙනි. එය දරුවාගේ ඇඟ තවරනු ලැබේ. ඒ මගින් හමේ කොරළ ඇති වීම වැලකේ. වර්තමානයේ  සෞඛ්‍ය අංශ මගින් සායන වලදි මව් වරුන්ට උපදෙස් දෙන්නේ මාස හයක් යන තෙක්ම මව් කිරි පමණක්ම දිය යුතු බවටයි. එය වැරදි නිර්දේශයකි. මව් කිරි වල සියලු ප්‍රතිශක්ති ගුණයන් තිබුණද එක් එක් පුද්ගලයා විසින් ආත්මීය වශයෙන් ගෙනෙන ලෙඩ රෝගද විෂ බීජද ඇති බැවින් ඊට අතිරේකව ඖෂධ ප්‍රතිශක්තිකරණයක් ලබා දිය යුතුය. එයසිදු  කරන්නේ රත කල්කය නෙහොත් දෙසඳුන් කල්කය ලබා දීමෙනි.

    රත කල්කය දීමෙන් ලේ පිරිදු වේ. ප්‍රතිශක්තිය ඇති වේ. සිරුර පැහැපත් වේ. හමේ රෝග හට නොගනී. හොඳින් මල මුත්‍රා පිට වේ. වාපිත් සෙම් දොස නැති වේ. මේ මගින් ස්වභාවික ප්‍රතිශක්තිය ජනිත වන බව විද්‍යාත්මක තහවුරු කිරීම් ද වර්තමානයේ සිදු කර තිබේ. ඉපදී දීනකින් පසු රත කල්කය දීම ආරම්භ කළහැකිය. දෙවන දින දෙහි දලු ස්වල්පයක් ගෙන පොඩි කර තනකිරි මිශ්‍රව යොදනු ලැබේ. තෙවනි දින සුදු ලූණු උණු අලු පල්ලේ දමා ගෙන ඉස්ම මිරිකා දෙනු ලැබේ. සිවුවන දිනයේ දී ළපටි ඉඟුරු කැබැල්ලක් රෙදි කඩක ගැට ගසා කඩ පිම්මේ තම්බා පොඩිකර මිරිකා රත කල්කය සමග දෙනු ලැබේ. රත කල්කයේ මාත්‍රාව කොත්තමල්ලි ඇටයක් පමණය.පස් වන දිනයේ දී පාවට්ටා දලු කොටා රෙදි කඩක දවටා කඩ පිම්මේ තම්බා මිරිකා කල්කය සමග දීමෙන් මූලිකව ශරීරයේ තිබෙන දොස් පහකර දමයි. අනතුරුව අවශ්‍යතාව පරිදි වදමල් වතුර කොත්තමල්ලි වතුර සහ තනකිරි මිශ්‍රව වරින් වර රත කල්කය දිය හැකිය.

  දරුවා ඉපදී මාස දෙකකින් හෝ තුනකින් කැඳදීම ආරම්භ කල හැකිය. බත් කැඳ පෙරා දීමෙන් ශරීරයේ මළ මුත්‍රා හොඳින් පිටටව්. දිනකට වරක් ලුණු දමා දීමෙන් ආහාර රුචිය ඇතිවේ. කැඳ සාදා ගන්නා විට බත් වලින් වෙන් කර ගත් කැඳ වතුරට උණු පැන් ටිකක් මුසු කර ලබා දිය හැකිය.  හීනටි සහල් පොලැල් වැනි පාරම්පරික රතු සහල් වලින් කැඳ සාදා දිය හැකි නම් එය ඉතා යෝග්‍ය බව පැවසිය යුතුය. වත්මන් සෞඛ්‍ය නිළධාරීන් වතුර ලුණු ආදිය කුඩා දරුවන්ට දීම තහනම් කරති. එය ප්‍රයොජනවත් ක්‍රියාවක් නොවේ. පෙර කී ලෙස දරුවාගේ ශරීරය සැහැල්ලු ව ඇති කරන විෂ බීජ සමනය කරන එම ආහාර ඖෂධ පැරණියන් විසින් අනුමත කොට ඇත්තේ පාරම්පරික පළපුරුද්දෙන්මය.

           දරුවා ඉපදී මාස තුනකින් පමණ කිරි අම්මාවරුන් ගේ දානය දී භාර හාර නිදහස් කිරීම පෙර සිරිතයි. මේ අගනා  චාරිත්‍ර නිසා අසල් වැසියන් අතර සමගිය ඇති වේ. අම්මාවරුන් කෙරෙහි ගෞරවය හා භක්තිය ඇති වේ. එසේම දාන මානාදියෙන් ඇතිවන අත්හැරීමේ ගුණාංගය ජීවිතයට පුරුදු පුහුණු වීමෙන් අධ්‍යාත්මික වර්ධනය ද ඇති වේ.

         පිරිමි දරුවෙකු නම් මාස එකොළහකින්ද ගැහැනු දරුවෙකු නම් මාස නවයකින්ද ඉඳුල් කට ගෑම සඳහා සූදානම් කළ යුතුය. මේ අවස්ථාවේ දී බත් ඉවීමේ දී ප්‍රයෝජනයට ගන්නේ සුවඳැල් දහනලඇල්වී පොලැල් වැනි පාරම්පරික වී වර්ගයන්ය. ඉන් වී මනාවක් නෙහොත් පතක් පමණ ගෙන වංගෙඩියේ දමා නැකත් එළඹි විට කොටා ගෙන පොලා සහල් කර ගෙන කැවිලිද කිරි බත් ද සූදානම් කර ගෙන සුභ මුහුර්තයකින් වැඩිහිටියෙක් හෝ දෙමව්පියන්ම සාභාගි වී හෝ ඉඳුල් කට ගෑම කළ හැකිය. එතනින් පසු මේ රටේ ආහාර පුරුදු වලට දරුවා ක්‍රමයෙන් පුරුදු පුහුණ කර ගත හැකිය. වර්තමානයේ දරුවන්ට බත් කැවීමට මහත් වෙහෙසක් ගැනීමට මව් වරුන්ට සිදු වේ.  ඊට හේතුව ළපටි වියේ දී කල්ක ලුණු  හා ජලය ලබා දී ශරීරය සැහැල්ලු නොකිරීමයි.

      රත කල්කය ලබා දීමෙන් දරුවාගේ සෞඛය පැවැත්ම සුරක්ෂිත වන නමුත් ඇතැම් විට උපතේදී ගෙනා ලෙඩ රෝග වලින් දරුවා අසනීප වේ. මේවාට යම් යම් ග්‍රහබල පෑම් ද හේතු වේ. එවැනි අවස්ථාවලදී ප්‍රතිකාර ආරම්භ කල යුතුය. නමුත් දරුවා ඉපදී සතියකින් පසුව ආයුර්වේදයෙන් නියමිත ශර්කරාදී කල්කය නෙහොත් කලුකල්කය ලබා දීමෙන් තව දුරටත් සෙම් රොග අදියෙන් දරුවා ආරක්ෂා කර ගත හැතිය. පසුව බඩේ අමාරුවක් සෑදුනු හොත් නැත්නම් සෙම්ප්‍රතිශ්‍යාව සෑදී ඇත්නම් මාසක්කා නම් බෙහෙත ගලගා දීමෙන්ද කොත්මල්ලි වතුර පෙවීමෙන්ද  සුවය ළඟා කර ගත හැකිය. දරුවා මුණින් පෙරලීමේ දී බඩ එළිය යයි. එවිට වදකහ නෑඹිලියක දමා උරගා දිය හැකිය. සාදික්කා ගලගා අරලු සමද යෙදිය හැකිය. දරුවාට බඩේ අමාරුවක් නම් නළලට දහදිය දමයි. එය හොදින් සිහ තබා ගත යුතු නිමිත්කි.යම් විදියකින් බඩ එළිය යනවානම් කළාඳුරු අල ගැටතුම උණු අලු පල්ලේ දමා තම්බා රත කල්කය හෝ ජීවානන්ද ගුලි එකක් ලබා දීමෙන් සුව පත් කර ගත හැකිය.ඇතැම් විට දරුවන්ට මළ බද්ධයද ඇතිවිය හැකිය එවිට බේත් අනෝදා කොළ රැගෙන නෙල්ලි සමග තම්බා සිනි දමා දීමෙන් සහනයක් ලබා ගත හැකිය.

       උපතින් එකොලොස්වන දිනයේදී උපන් වේලාවට අනුව සකස් කර ගත් අක්ෂර අනුව නම් තැබීය හැකිය. පිරිමි දරුවෙකු නම් අකුරු දෙකෙ සිට හතර දක්වා වූ නමක්ද ගැහැනු දරුවෙකු නම් අකුරු තුනකින් යුත් නමක්ද තැබීම සුදුසුයි. සංඝයා වහන්සේ නමකට දානය පිළ ගන්වා පිරිත් දේශනා කොට ආශිර්වාද ලබා ගැනීම වඩාත් සුදුසුය. සුභ ගණයක සුභ නමක් උච්චාරණය කරන විට නම හිමි අයට යහපතක්ම සිදු වේ. කීර්තිය ඇති වේ. මේ අපගේ සිංහල සිරිතයි විරිතයි. ඒවා යටපත් කොකොට පවත්වා ගෙන යාම අපගේ පරම්පරාවේ යුතුකමයි.

                                                    මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress