නීති පොතේ ඇති, එහෙත් රටේ නැති, ආධිපත්‍ය දෙකකට නැසෙන සුප්‍රීම් උසාවිය
Posted on May 10th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

දශක හතරක පමණ කාලයක් සිට නීතියේ කාර්යක්‍ෂමභාවය (එෆිකසි ඔෆ් ලෝ) යන විෂය හැදෑරූ මට පෙනෙන්නේ, ලංකාවේ සුප්‍රිම් උසාවිය යන ආයතනය, එක අතකින් මහජන සර්‌වාධිපත්‍යය යන මිථ්‍යාවත්, අනිත් පැත්තෙන් නීතීයේ ආධිපත්‍යය යන මිථ්‍යාවත් මැද කරත්ත රෝදයට අසුවූ පොල් ලෙල්ලක් මෙන් හිරකරුවෙක් වී මිරිකෙමින් රටට අනිසි විපාක ගෙන දෙන තීන්‌දු ලබා දෙන බවය. යුරෝපා-ඇමෙරිකන් නීති විද්‍යාව පවතින කිසිම රටක මේ ආධිපත්‍ය දෙකම සර්‌ව සම්පූර්‍ණ ලෙස නැති බව සැබෑය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නරක <වාද> අතුරින් හොඳම වාදය යයි චර්චිල් කීවේ ඒ නිසාය. නමුත් තාමත් දිගටම සුද්දගෙ නීතිය පවතින ලංකාවේ හැම පැත්තෙන්ම දක්නට ලැබෙන්නේ මේ ආධිපත්‍ය දෙකම සම්පූර්‍ණයෙන්ම වාගේ විනාශවී ගොස් ඇති බවය. සිදුවෙමින් පවතින්නේ පණගිය, ආත්මාර්‌ථකාමී පක්‍ෂ දේශපාලක කළු සුද්දන්ට උසාවිය විසින් වරින් වර ඔක්‍ෂිජන් සපයා දීමය.

මා මේ කියන කතාවට එකඟ නොවන යම් නඩුකාරතුමෙක් හෝ සිටී නම්, 1988 දී සර්වෝදයේ ආරියරත්න මහතා විසින් ලියන ලද, බල පිරමිඩය සහ ධ‌ර්‌ම චක්‍රය නම් පොතේ 114-120 පිටුවල ඇති රූප සටහන් බැලිය යුතුය. ඊට අමතරව මහාචාර්ය සරච්චන්ද්‍ර 1982 දී ලියූ ධර්‌මිෂ්ට සමාජය නම් පොත හොඳ අතුරු පසයකි. මේ දැනට දශක තුනකට පෙර තත්‌වයය. ට්‍රැජඩි ඔෆ් ද කොමොන්ස් නොහොත් තමාට අයත් නැති ඕනෑම සම්පතක් සූරා කෑමේ න්‍යායට (පාරේ කෙල ගැසීමේ සිට) උසාවියේ කාලය නාස්‌ති කිරීම පවා ඇතුලත් නොවේද? මේ වන විට වායුවේ අඩි හයක රවුමකට මිනිසාගේ හුස්ම ගැනීම සීමා විය යුතු කර ඇත. චන්දය එපා කියා හා පරණ 225 නැවත කැඳවන්න කියා උසාවියට යන්නේ රටට දැයට ඇති ආදරේටද කියා සිතන්නට, සිත්-පිත් නඩුකාරයින්ට නැද්ද? නීති පොත නමැති ගල කඩන්නට කොරෝනාවටවත් හැකිවී නැද්ද?

ඕනෑම ලෝක සංසිද්‌ධියක් නෝමල් කර්ව් (බෙල් කර්ව්) යන සංඛ්‍යාත විද්‍යා දර්‍ශකය අනුව විස්තර කර ගත හැකිය. උදාහරණයක් වශයෙන්, යම් සමාජයක ඉතාමත් දුෂ්ට සුළුතරයකුත්, ඉතාමත් උතුම් සුළුතරයකුත්, මේ අන්ත දෙකටම නැති සාමාන්‍ය-මධ්‍යස්ථ, අති විශාල ජනතාවකුත් සිටියි. මෙම මොඩලය, සංකල්පය, සෙසු ඕනෑම ජන කොට්‌ඨාශයකටද පොදුය. පොලිසිය, දොස්තරවරු, නීතිඥයින්, ගුරුවරුන්, ග්‍රාම සේවකයින්, රාජ්‍ය සේවය, නඩුකාරයින්, දේශපාලකයින් යනාදී වශයෙන් මෙය විමසා බැලිය හැකිය. දැන් තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වුවද මෙසේ සුළුවෙන් ආරම්භවී ක්‍රමයෙන් ව්‍යාප්තවී, නැවත අඩුවී යන්නේය.

ලංකාව වැනි රටකට තිබෙන කරුමය නම් මෙම නෝමල් කර්ව් එක මුළුමණින්ම විකෘතව තිබීමය. සියේට 10 ක් නරක, 10 හොඳ හා 80 සාමාන්‍ය වෙනුවට අපේ තිබෙන්නේ සියේට 60 ක් නරක, සියේට 10 ක් හොඳ හා සියේට 30 ක් සාමාන්‍ය යන ආකාරයේ බෙදීයාමකි! මීට හේතුව, 1959 දී කළු සුද්දන් විසින් බණ්ඩාරණායක ඝාතනයෙන් ඇරඹී, 1962 පොලිස්-නේවි කුමණ්ත්‍රනය, 1971 දී ජේවීපී කාරයින් විසින් දේශපාලන විරුද්‌ධවාදීන් මැරීම හඳුන්වාදීම, 1978 න් පසු ජේ.ආර් ගෙනා මත්ස්‍ය න්‍යාය (ලොකු මාළුවා පොඩි මාළුවා ගිල ගැනීම), 1983 සිට 2009 දක්වා පැවති යුද්‌ධය, 2015 සිට ගෙනා යහපාලන මගඩිය යනාදි දුෂ්ට ක්‍රියාවල ආභාෂය ය. මෙසේ අසංවරවූ, අශීලාචාරවූ ජන හැසිරීම ගෙදරින් පිට පොදු සමාජයේදී එලිපිට ප්‍රදර්‌ශනය වූයේ කොරෝනා ඇඳිරි තීති කැඩීමේ තරමින්‌‌ය. අසීමිත විනය පාලනයක් දැඩි දඬුවම් මඟින් සිදුකල යුතු බව දැන් ඉතාමත් පැහැදිලිය. බණ මඩුව, පල්ලියේ දේශනා නොසෑහේ.

මෙම ජනතා අශීලාචාර හැසිරීම, එසේ හැසිරෙන දේශපාලකයින් විසින් ඔවුන්ගේ වාසිය සඳහා යොදාගන්නා බවද පෙනේ. මෙම අශීලාචාර පිරිස් උසාවිය තමන්ගේ ඉත්තෙක් කර ගන්නේ, උතුම් සංකල්ප වන ජනතා පරමාධිපත්‍යය, නීතියේ ආධිපත්‍යය වෙසඟනන් සේ සළකමින්‌ය. එසේ නැතහොත් රටේ නැති <ආධිපත්‍ය දෙකක්>, රටේ ඇත්තටම තිබෙනවාය යන බොරුව උඩ උසාවිය බිත්තියට හේත්තු කිරීමය. මේ උඟුලෙන් ගැලවී යථාර්‌ථය දැකීමට නම් ගතානුගතිකව නීති පොත මත නොව ඉන් බාහිරව ලංකාව දෙස බැලීමට ආත්ම විශ්වාසයක් නඩුකාරයින්ට තිබිය යුතුය. රීසනබල්නස් නම් මිණුම් දණ්ඩ, රටේ දිගුකාලීන යහපත සඳහා භාවිතා කල යුතුය.

දැනට පලවන පක්‍ෂග්‍රාහී, ගෝඨාභය විරෝධී ලිපි සම්භාරය අතරට ඊට වෙනස් එක ලිපියක් හෝ පල නොකර සිටීමට බැරි තරමට බරපතල බව උවිඳු කුරුකුලසූරියට වැටහී ඇති බව පෙනේ. එය ලියා ඇත්තේ තතියජිත් කරුණාරත්න නම් ඕස්ට්‍රේලියාවේ ජීවත්‌වන නීතීඥයෙක් විසිනි (කලම්බු ටෙලිග්‍රාෆ්, 2020, මැයි 7). මෙම ලිපිය උවිඳුගේ වෙබ් අඩවියට පක්‍ෂව ඉන්නා පාඨකයින් නිහඬ කරවා ඇති බව ඊට විරුද්‌ධව කමෙන්ට්ස් දුර්ලභ වීමෙන් පෙනේ. එම ලිපිය උසාවියේ නඩුකාරයින් විසින් කියවිය යුතුම එකකි. එහෙත් මා මේ ලිපියෙන් පෙන්වන්නට හදන්නේ ජනතා පරමාධිපත්‍යය හා නීතීයේ ආධිපත්‍යය යන කුළුණු දෙකම ලංකාවේදී බිඳ වැටී ඇති නිසා, ඇමෙරිකාවේ සුප්‍රිම් උසාවිය, 1896 දුන් තීරණය, නීති පොතෙන් පිටට ගොස් කරුණු සළකා බලා 1954 දී වෙනස් කලා මෙන්, රටේ චන්දදායකයින්ගේ ඉල්ලීමට ඉඩදීමට ලංකාවේ උසාවිය සූදානම් විය යුතුය යන්නය.

මෑතක සිට සුප්‍රිම් උසාවිය දී ඇති තීරණ, ලංකාව දෙකට කැඩීමේ ව්‍යාපාරයට ඉණිමං සපයන තීරණ වී තිබේ. මේවා රටේ සිංහල බෞද්‌ධ ශිෂ්ටාචාරයට පටහැනි තීන්‌දුය. රටේ නැති බොරු <ආධිපත්‍ය> දෙකක් තිබෙනවාය යන මායාවෙන් උසාවිය ගැලවිය යුතුව ඇති බව ජනතාවගේ මතය නොවේද? උදාහරණයක් වශයෙන්, 13 සංශොධනය නිසා ලංකාව පෙඩරල් නොවේ යයි උසාවිය කලින් කිව්වත්, පසු උසාවියක් කිව්වේ ඒ නිසා දැන් ලංකාව පෙඩරල්‌ය කියාය. සිරිසේන/රනිල් 2018 දෙසැම්බර් 13 නඩුවේදී කබරගොයා-තලගොයා-කබරගොයා න්‍යායට ඕනෑතරම් අවකාශ තිබුණත් උසාවිය, ඉන්දියන් තීන්දු හා පරණ පොත් පෙරලා දුන් තීරණය රටේ ජනතාව විසින් 2019 නොවැම්බර් 18 දා බලවත්සේ ප්‍රතික්‍ෂෙප කලේය. ඊට පෙර ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු, දිවි නැඟුම නඩුවේදී, පාකියසෝතිගේ ලිපියක් උසාවි නඩු තීන්දුවට අමුණා පෙඩරල් තහවුරු කර ඇගේ තනතුරද අහිමිකර ගත්තේය.

ඕනෑම දෙයක තිබෙන බර (දුක/හානිය/පාඩුව) දරා සිටීමේ/උරා ගැනීමේ ශක්තිය (ධාරිතාව) ලංකාවේදී එහි භයානකම අවස්ථාවට එළඹ ඇතැයි මට සිතේ. එය පුපුරා යන්නට හොඳටම ඉඩ ඇත. මීලඟ නඩු තීන්‌දුව තීරණාත්මක අවස්ථාවක් වන්නේ ඒ නිසාය. කැරියින් කැපසිටි යන ඉංග්‍රීසි පදය අනුව ඔටුවාගේ කොන්ද කැඩෙන අන්තිම පිඳුරු ගහට උසාවිය රට ගෙන යමින් සිටී. මහජන මතයට ඉඩදෙනවා වෙනුවට, එය හරහට නීතියේ ආධිපත්‍යය නමැති පලිහක් දැමීම දිය රෙද්දෙන් බෙල්ල කැපීමක් වැනිය. ජනාධිපති ගෝඨාභය උසාවි වලින් ඉල්ලා සිටියේ තමන්ගෙන් මහජනයා බලාපොරොත්තුවන සේවය ඉටුකිරීමට සහයෝගය දෙන ලෙසය. මෙවැනි අවස්ථා වලට, නොහොත් උසාවිය හරහට සිටීම, අතීතයේදී, ඇමෙරිකන් ජනාධිපති රුසවෙල්ට් හා ඉන්දියන් අගමැති නේරු යන දෙන්නාම මුහුණ දුන්නේය.

  1. ජනතා පරමාධිපත්‍යයක් කියා දෙයක් ලංකාවේ තිබේද?

අප විසින් කල යුතු පරණ ප්‍රශ්ණ වලට අළුත් උත්තර සෙවීම නොව අළුත් ප්‍රශ්ණ ඇසීමය. ඉහත ප්‍රශ්ණය සුප්‍රිම් උසාවිය ඇසුවොත් ඔවුන් ඉන්නේ පිඳුරු වලින් වැසූ බොරුවලක් උඩ නෙවේදැයි ඔවුන්ට පෙනීයනු ඇත. නීති පාස් කලේ කෙසේද යන්න තමන්ට අදාල නැත යන තර්‌කය රටේ මහජනයා විසින් පිළිගන්නේ නැත. මේ නිසා අන්තිමේදී, එක්කෝ උසාවිය නැත්නම් මහජනයා යන ඉරණමට මුහුණ දීමට උසාවියට සිදුවන කාලයක් එනවා නිසැකය. ජේ. ආර්. ගේ කොලයේ හෝ සිරිමාවෝගේ කොලයේ තිබෙන මේ ජනතා පරමාධිත්‌වය එලියට එන්නේ කෙසේද? දැනට එය එන්නේ ජනයා පත් කරණ නියෝජිතයින් 225 හරහාය. මෙය සම්පූර්‌ණයෙන්ම ප්‍රෝඩාවක් නොවේද?

කැලිෆෝර්නියා ජනපදයේ මිලියන 40 ටත් (රටේ ජනහගනයෙන් අටෙන් එකක්!), උතුරු ඩැකෝටා ජනපදයේ මිලියන 0.8 ටත් (ලක්‍ෂ 8) ඇමෙරිකන් සෙනේට් සභාවේ ඉන්නේ නියෝජිතයින් දෙන්නා බැගින්‌ය. ඓතිහාසිකව, ඒ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ එසේය. නඩුකාරයින් චන්දය ඉල්ලා දිනා පත්‌වෙන එකම රටද එයය! ලංකාවේත් චන්ද 14ක් ලැබීත් මන්ත්‍රීවෙන්නට පුළුවන්‌වූ අවස්ථා තිබේ. පැල්මඬුල්ල අතුරු මැතිවරණයෙන් දිණූ මන්ත්‍රී, නියෝජිත මන්ත්‍රණ සභාවට ඒමට පෙර, පැරදුණ තැනැත්තී එවකට තිබූ සෙනේට් සභාවේ ඉඳගත් අවස්ථාවක් තිබුණි (සීතා සෙනෙවිරත්න/මොළමුරේ, 1967). එහෙත් 1978 ටෙන් පසු දේශපාලකයින් විසින් කරගෙන යන සූදුව ජනතා පරමාධිපත්‍ය නම් සමස්ත අදහසම ගෙඩි පිටින්ම කෙළෙසන්නකි.

1960 ගණන් වල සිටම රටේ චන්ද දායකයා රැවටීම කරගෙන ගියත් (උදාහරණ වශයෙන් පත්කල මන්ත්‍රීන් හය දෙනා වෙනුවට හා සෙනේට් සභාවට පක්‍ෂ ඉත්තන් පත් කිරීම), 1978 න් පසු ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විනාශ විය. කොළඹ ඉන්නා පක්‍ෂ දේශපාලන ලොක්කන් කල්ලිය මහජනයා චන්දය දියයුත්තේ කාටද යන්න තීරණය කරන්නේය; එය හරියට රක්‍ෂාවක් සඳහා සම්මුඛපරීක්‍ෂණයක් වගේය. වැඩියෙන්ම සල්ලි වියදම් කල හැකි කොල්ලාට/බල්ලාට නොමිනේෂන් ලැබේ! මනාප ක්‍රමය බලු පොරයක් විය; මෙසේ දිණන අය නීති සම්පාදනය ගැන දැණුමක් නැති අයය; ඔවුන් පාර්ලිමේන්තු රැස්වීම් වලට යන්නේ නැත; ගියත් කරන්නේ නොමිලේම වගේ ලැබෙන කෑම් පිඟන් කා බී නිදාගන්නා එකය; පුස්තකාලය හිස්‌ය. රංජන්-හිරුණිකා හඬ පටි මොවුන්ගේ මානසික මට්ටම එලිදරව් කලේය. මේ නිසා මහජන සර්‌වාධිපත්‍ය අතරමංවී සිටී. කොටින්ම කියනවා නම් තමන්ගේ කියා මන්ත්‍රී කෙනෙක් ඉතිරිවී නැත.

පක්‍ෂය මාරුකිරීමට ඉඩදීම, පැරදුන අපේක්‍ෂකයින් ලැයිස්තුවෙන් පත්කිරීම, ලැයිස්තු සංකල්පය කෙළසීම, මන්ත්‍රීන්ට නොයෙක් ආකාරයේ අල්ලස් මහජන ටැක්ස් මුදලින් ලබාදීමේ සිට රජයෙන් දුන් නිවාස වලින් ඉවත් නොවීම යනාදී වශයෙන් ජාතික මට්ටමෙනුත්, චන්දයෙන් එන අනිත් හැම අයගේම අශීලාචාර හැසිරීම් ගැන සිතන විට රටේ තිබෙන්නේ මහජන සර්‌වාධිපත්‍යයක් නොව මන්ත්‍රීන්ලා විසින් රට කොල්ලකෑමකි. මන්ත්‍රීන්ගේ ආදායම් රටට එලි නොකිරීම, මන්ත්‍රීන් ආපසු කැඳවීමේ ක්‍රමයක් නැතිවීම, මන්ත්‍රීන් බාර් පර්මිට්, වැලි පර්මිට්කාරයින් වීම මීට අමතර කරුණු වන්නේ එය මහජන පරමාධිපත්‍යය හා ගැටිය හැකි නිසාය.

  1. නීතියේ ආධිපත්‍යය කියා දෙයක් ලංකාවේ තිබේද?

දෙවන කාරණය නම් රූල් ඔෆ් ලෝ මිථ්‍යාවය. නීතිය යනු බලයේ සිටින සුළු පන්තියක් විසින් විසින් සෙසු ජනතාව පාලනය කරන උපක්‍රමයක්/ආයුධයක් යන මතය, ලංකාවේදී නිරූපණය වන්නේ, කොළඹට කිරි, අපිට කැකිරි, කොළඹට දෙන දේ උතුරට හා නැඟෙනහිරටත් දෙන්න, සුද්දගෙ නීතිය අපට එපා, රටට එක නීතියක් යනාදී සටන් පාට වලිනි.

යම් නීතියකට ආධිපත්‍යයක් ලැබෙන්නේ එය සාධාරණ (රීසනබල්) නීතියක් වුනොත්‌ය. යම් පැනවූ නීතියකින් බලාපොරොත්තු නොවු විපාක හටගත හැකිය. යම් නීතියකින් පොදු රීතීන් සකස් කලත්, ඒ ඒ විවිධ සමාජීය හා පරිසර අවස්ථාවලට අනුව නීතිය නම්‍යශීලී වියයුතු වන්නේය. රෙගුලාසි කියන්නේ ඒවාටය. භූගෝල විද්‍යාවට පටහැනි නීති පැණවිය නොහැකිය කියන්නේත් ඒ නිසාය. සිංහයාට හා ගවයාට බලපාන්නේ එකම නීතියම නම්, එතැන ඇත්තේ මර්‌ධනය යයි කියන්නේත් මේ නිසාය.

අසාධාරණ නීතියකට බලයක් (ආධිපත්‍යයක්) තිබිය හැකිද? ගාන්‌ධි හා ඇමෙරිකාවේ මාටින් ලූතර් කිං සටන් කලේ ඊට විරුද්‌ධවය. 1802 සිටම ලංකාවේ සිංහල බෞද්‌ධ ජනයාට විරුද්‌ධව අහිතකර නීති පණවන ලදී. මේ නීති බොදු බල සේනා සංවිධානයට විරුද්‌ධව හෝමාගම මහෙස්ත්‍රාත්, නීතිපති දෙපාර්‌තමේන්තුව, ඇපැල් උසාවිය හා සුප්‍රිම් උසාවිය භාවිතා කලේය. ඒ ගැන සිංහල බෞද්‌ධයින්ගේ හිතේ වෛරයක් ඇතිවීම අසාධාරණද? තම සංවිධානයට විරුද්‌ධව නඟන අභූත චෝදනා විමසීමට කොමිෂමක් පත්කරන්නැයි එය ඉල්ලන්නේද ඒ නිසාය. අඩු තරමින් 2002 චන්ද්‍රිකා මැතිණියගේ බුද්‌ධ ශාසන කොමිෂම් වා‌ර්තාව වත් එලියට ගෙන නීති සම්පාදනය කරන්නැයි කියන්නේ අසාධාරණ නීති වෙනස් කිරීමටය.

ලංකාවේ පාර්ලිමේන්තුව හා කතානායක විසින් ජේ. ආර් ගේ කාලයේ සිටම වංචා ලෙස නීති පැණවූ බව ප්‍රසිද්‌ධ රහස්‌ය. මෙහි කැතම අවධිය යහපාලන කාලයය. මෙවැනි නීති වලට ආධිපත්‍යයක්, මහජන ගරු කිරීමක් බලාපොරොත්තු විය හැකිද? එවැනි කාරණා ගැන තිරය හිල් කර බැලීමට තමන්ට නීතියෙන් බලයක් නැතැයි කියමින් සුප්‍රිම් උසාවිය ඇඟබේරා ගැනීම පැස්බරා වැල්ලේ හිස සඟවා ගන්නවා වගේ ක්‍රියාවක් නොවේද? කකුළුවා දිය සැළියේ සැප විඳිමින් දිගටම ඉන්නට පුළුවන්ද? 19 සංශොධනය මඟින්, උසාවියට වංචාකර, මන්ත්‍රීන් තමන්ගේ ආයුකාලය තමන් විසින්ම තහවුරු කරගැනීමක් කලත්, ඒ ගැන උසාවිය කලේ කුමක්ද? ඒ වංචාව නීත්‍යාකුල යයි තීරණය කිරීමය. 33 (2) (සී) යන අළුත් වගන්තිය බොරු කකුලක් කිරීමය.

මෙසේ නීතියේම තිබෙන නීති වෙට්ටු වලට අමතරව, නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය, නීතිපති දෙපාර්‌තමේන්තුව, නීතිඥ සංගම්, නීතීඥයින් හා සිවිල් නිලධාරීන් විසින් කරණා නීතිය නැවීම් අප්‍රමාණය. දුකට කාරණය නම් එසේ කර අසුවූ විටවත් යුක්තියක්, සාධාරණයක් ඉටු නොවීමය. මෙසේ සාමාන්‍ය ජනයාගේ ඇසින් බලන විට නීතියේ ආධිපත්‍යය යනු, පොලිස්කාරයා, ග්‍රාම සේවකයා, සමෘධි බෙදන්නා, පගාවක් ඉල්ලන නිලධාරියා, කිමිහුමක් ගිය විට දඩගසන මහේස්ත්‍රාත්‌වරයා යනාදීන් පෙන්වන බලයය. තෝල්ක මුදලි, දෙපැත්තේ නීතීඥයින් හා සමහරවිට නඩුකාරයාගේද දැණුම ඇතිව නඩු කල් දමා සේවාදායකයාගෙන් මුදල් ගරා ගැනීම මොන තරම් අපරාධයක්ද? උසාවි ගිනි තැබීමට පවා ජනයා තැත්කරන්නේ මේ නිසා නොවේද?

  1. ඉහල-පහල නඩුකාරවරු පාරිශුද්‌ධ පුද්ගලයන් සේ පෙනීයනවාද?

ඉහත අංක 1 හා 2 දරණ ආධිපත්‍ය කරේ දමාගෙන ඉන්නා ඒවායේ මුරකාරයින් (නඩුකාරයින්), මුරකරන්නට කෙනෙක් නැත. මේ සඳහා හඬක් නැඟූ සුගන්ධිකා ප්‍රනන්දුටත්, නාගානන්ද කොඩිතුවක්කුටත් අත්‌වූ ඉරණම රටම දණී. උසාවියට අපහාස කලා යන දංගෙඩිය නඩුකාරයින්ගේ ආධිපත්‍යයය. නඩුකාරයින් ස්වාධීනද යන කරුණ වැදගත් වන්නේ මේ නිසාය. ඔවුන් අපක්‍ෂපාතී පමණක් නොව එසේ අපක්‍ෂපාතී යයි පෙනෙනවාද යන සාධකයේදී ලංකාව විනාශ කිරීමට කලින්ම ක්‍රියාකලේ සුප්‍රිම් උසාවියේ නඩුකාරයින් දෙන්නෙකුගේ පුතුන් දෙදෙනෙක්‌ම වීම ලෝක වාර්‌තාවකි. 1972 දී ෆිලික්ස් ඩයස්, ජයා පතිරණ නම් දේශපාලකයා සුප්‍රිම් උසාවියට පත්කලේය. 1978 දී ජේ. ආර් නඩුකාරයින් පත්කිරීම තමාගේ අතට ගෙන ඔවුන්ට තමා ඉදිරියේ දිවුරුම් දීමට නියම කලේය.

ජේ. ආර්ගේ කාලයේදී තරම් නඩුකාරයින් අපහාසයට ලක්‌වූ කාලයක් නැති තරම්‌ය. ඉන්පසු කාලයේ සිදුවූ පරිහානියේ ප්‍රමාණයද සුළුපටු නොවේ. සුප්‍රිම් උසාවියේ අග විනිසුරුලා පවා මහජනයා ඉදිරියේ පරිභවයට හසුවිය. දේශපාලකයින් ඉදිරියේ තමන්ගේ නම කිලිටුකර නොගත් එකම නඩුකාරතුමා නෙවිල් සමරකෝන් මහතා පමණක් යයි මට සිතේ.

නඩුකාරයින්ගේ ස්වාධීනත්‌වයට හානිකරවන නොයෙක් දොළ පිදේණි දේශපාලකයින් සතුව පවතී. විශ්‍රාම ගියවිට තානාපතිකම් දීම එක් උදාහරණයකි. හිරකාරයෝත් මනුෂ්‍යයෝය කියන්නා වගේ නඩුකාරයෝත් ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධ නොවේද? දේශපාලකයා-නිලධාරියා-එන්.ජී.ඕ.කාරයා-යන ලංකාවේ දුෂ්ට ත්‍රිකෝණයට ලංකාවේ අධිකරණ පද්‌ධතියද පැටලී නැද්ද?

අද වන විට උසාවියට ඇති බරපතලම චෝදනාව නම් එයට ඇමෙරිකන් තානාපති කාර්‌යාලයෙන් එන බලපෑමය. උදය ගම්මන්පිල විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්කල තොරතුරු වෙන රටකදී නම් ඒ නඩුකාරයින් ඉල්ලා අස්වීමට හේතුවන තරම්‌ය. බ්‍රිතාන්‍ය කොමසාරිස් නඩු කාරයාට නඩුව විසඳිය හැටිත් ලියා එව්වේය. ලංකාවේ උසාවි ක්‍රමය දියුණු කිරීමට යයි අධිකරණ අමාත්‍යාංශයටත්, නීති සංගමයටත් ඩොලර් ලබාදී ඔවුන් පැණි හැළියේ වැටුණ ඇඹලයන් කර ගැනීම ලෝකය පුරාම සිදුකරගෙන යන උපක්‍රමයකි. සුමානයක දෙකක ඇමෙරිකන් සාවාරියක් හෝ ඩොලර් පනස් දාහකට හෝ වඩා මේ කාලයේ වටින්නේ දුවට, පුතාට හෝ බෑණාට කාගේවත් ඇඟට නොදැනීම ඇමෙරිකන් විශ්ව විද්‍යාලයකට ශිෂ්‍යත්‌වයක් ලබා දීමය. නීතී විරෝධී නොවන ලෙස මිනිසාගේ චපල හා දුබල සිත හසුරුවීමේ හසළ දැණුම් සම්භාරයක් හා අත්දැකීම් ඇමෙරිකන් බුද්‌ධි අංශවලට තිබේ.

ගෝඨා දමණය

පරණ පාර්ලිමේන්තුව කිසිසේත් නැවත කැඳවන්නේ නැත යන ජනාධිපතිගේ තීරණය හිතුවක්කාර (ආබිට්‌රරි) තීරණයක් යයි තීන්‌දුවක් දීම හැර වෙනත් කිසිම කබරගොයා තලගොයා කිරීමකට මෙවර නම් ඉඩක් නැතැයි මට සිතේ. ඔහු විසින් ඒ තීරණයට ආවේ චන්දයේදී මහජනයා එය ඔහුගෙන් බලාපොරොත්තුවූ නිසා හෙයින් අධිකරණයට ඊට පිටින් යා හැකිද? නීතිපොත් වලින් හා නඩු තීන්‌දු වලින් ඔබ්බට ගොස් මහජන මතයට අනූකූල වනසේ ක්‍රියා කිරීම උසාවියේ යුතුකමය. මීට හේතුව ගෝඨාදමණය වනාහී, ලංකාව පිළිඹඳ ඇමෙරිකා ආණ්ඩුවේ දිගුකාලීන සැලැස්මේ කොටසක් වන නිසාය. උදාහරණයක් වශයෙන්, ගෝටාබය නොහොත් ගෝටා‌උණ කෙතරම් උග්‍ර වූවාද යත් ගාමිණී වියන්ගොඩ (දැන් පැරිසියට පැනගොස් සිටින) හා චන්ද්‍රගුප්ත තේනුවර යන දෙන්නා ගෝඨාභයට ඇමෙරිකන් පුරවැසිකම තිබේ යයි ගෙනා නඩුව 2019 ඔක්තෝබර් 4 දා ඇපැල් උසාවිය විසින් විසිකර දමන ලදී. 2019 අප්‍රියෙල් මස ඔහු ඇමෙරිකන් පුරවැසිභාවය අතහැරියත් එය ඇමෙරිකාවේ ගැෂට් වුනේ 2020 මැයි 8 දාය. ඇපැල් උසාවිය විසින් පැමිණිලිකරුවන්ගේ ද්වේෂ සහගත බව සළකා (එක්ස්ට්‍රා ලීගල් එවිඩන්ස්) නඩුව විසි නොකලා නම් ගෝඨාභයට චන්දය ඉල්ලන්නට නොහැකිවී සජිත් පත්‌වන්නේ, 2000 දී ඇල්ගෝර් වෙනුවට උසාවිය ජෝර්ජ් බුෂ්‌ව පත්කලා මෙන්‌ය!

දැනට තිබෙන නඩුව නීතියේ ආධිපත්‍යය රැක ගැණීමේ ව්‍යායාමයක් නොව, යහපාලන හොරු රැළ කෙසේ හෝ තමන්ට නැතිවී ගිය බලය ලබාගැනීම සඳහා දරණ අන්තිම සටනක් නොවේද යන්න ඔවුන් විසින් ප්‍රසිද්‌ධියේ කරණා විවිධාකාරයේ අසත්‍ය, අර්‌ධ-සත්‍ය හා මඩ ප්‍රහාර වලින් පැහැදිලිවේ. මේ කල්ලිය මේ යුද්‌ධය නම් කවදාවත්ම දිණන්න බෑ කියා 2009 ට පෙර කෑ ගැසූ පිරිසම නොවේද? ඇත්තවශයෙන් කියනවා නම් මහජන හිත දූෂ්‍ය කරණ, මහජනයා නොමඟ යවන මොවුන් හිර අඩස්සියට ගෙන වැව් ශුද්‌ධ කිරීම සඳහා යෙදවිය යුතුය. වල්බූරු ප්‍රජාතන්ත්‍රවාදයක් කන්නද?

2009 මැයි 18 දාට පෙර සිටම රාජපක්‍ෂ පාලනය විනාශ කර දැමීමට, දිගින් දිගටම ක්‍රියාකල ඇමෙරිකාව ප්‍රධාන ඊළම් කොටස්, පසු කාලීනව ගෝඨාභය චන්දය ඉල්ලීම වලක්වන්නට නොකල දෙයක් නැත. රටේ හාමුදුරුවරු ඉදිරියට පැමිණ මේ හතුරු බලවේග පරාජය කලේය. එහෙත් හතුරු බලවේග මරා දමා නැත. සුමන්තිරන් මූලිකව දැන් එන්නේ සුප්‍රිම් උසාවිය ඇමෙරිකාවේ ප්ලෑනට තල්ලුවක් දේය යන බලාපොරොත්තුව ඇතිවය. මේ සඳහා බිල්ලෙක් වශයෙන් යස්මින් සුල්කා විසින් ගෝටා හමුදා පාලනයක් සඳහා සූදානම් වනවා යයි පිත්තූර සටහනක් සදා ලොව පුරා පතුරවමින් සිටී. මෙහිදී ලංකාවේ ඒජන්ත ලෙස ලන්ඩන් සිට කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය ක්‍රියාකරමින් සිටී.

මෙහි මුලින් සඳහන් කල තතියජිත් කරුණාරත්න විසින් ව්‍යවස්ථාවේ 70(5)(ඒ) වගන්තියේ ඇත්තේ ඉංග්‍රීසි -Shall -යන වචනය මිස -Must- යන වචනය නොවන නිසාත්, 70(7) වගන්තියේ ඇත්තේ -May- මිස -Must- නොවන නිසාත් ජනාධිපති හා මැකෝ යන දෙන්නාම නීත්‍යාණුකූලව ක්‍රියාකර ඇතැයි සඳහන් කරයි. එහෙත් මෙහි ඉන්නේ තලගොයෙක්ද, කබරගොයෙක්ද යයි අහිංසක ඔහුට සිතාගත නොහැකිය! යම් වචනයක තේරුම කුමක්ද යන්න ගැන ලුවිස් කැරොල්ගේ හම්ප්ටි ඩම්ප්ටි හා ඇලිස් අතරවූ සංවාදය ඔහුට අමතක වූවා සේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress