ලංකා මුදල් ඒකකය ශක්තිමත් කිරීමට වෙනසක් අවශ්‍යයි
Posted on May 11th, 2020

මතුගම සෙනෙවිරුවන්

        ලංකාවේ භාවිත සම්මත මුදල කාලයක් තිස්සේ අව ප්‍රමාණය වීම නිසා රටේ ආර්ථිකය බරපතල ලෙසට කඩා වැටී ඇත.වර්තමාන වසංගත තත්වය හමුවේ ඇතිවී තිබෙන ආර්ථික අවපාතය ගණනය කළ නොහැකි තරම්ය.බොහෝ දේ වෙළෙඳ පලෙන් මිළට ගන්නා ජනතාවට සිය එදිනෙදා වියදම් කළමනාකරණය කරගන්නටවත් අවස්ථාවක් නොදී රුපියල කඩා වැටෙයි.වසංගත තත්වය මර්දනය කර ගැනීමෙන් පසුව  රුපියල පාලනය කිරීමටවත් විකල්පයක් සෙවීමට පාලකයන් උනන්දු වේ දැයි සිතන්නට නොහැකිය. අතීත වර්තමාන සංඛ්‍යා ලේඛන සහ ලෝක ප්‍රවණතා ගැන කතා කරනවා විනා නව අදහසක් කියන්නට සමත් පුද්ගලයෙක් මේ ආර්ථික ක්ෂේත්‍රය තුළින් හමු නොවේ.නමුත් වර්තමාන  අමාතය බන්දුල ගණවර්ධන මහතා වසංගත තත්වය හමුවේ පවතින අර්බුදය ගැන පැවති සාකච්ඡාවකදී ඩොලරයෙන් වෙන්වීම පිළිබඳ අදහසක් පැවසූ බව මෙහිදී මතක් කරන්නට හැකිය.

        1949 අංක 58 දරණ මුදල් නීති පණතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලද්දේ ප්‍රධාන අරමුණු කීපයක් සඳහාය.ලංකා රුපියලේ ස්ථාවර භාවය සුරැකීම ජාත්‍යන්තර ගනු දෙනු සඳහා රුපියල නිදහස් කිරීමට පසුබිම සැලසීම එහි ප්‍රධාන අරමුණු අතර වෙයි.අද රුපියලේ අගය තීරණය කරනු ලබන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂකවයි.මහ බැංකුව සතු විදේශ විනිමය සංචිත ප්‍රමාණයත් දළ ජාතික නිෂ්පාදනයත් පදනම් කර ගෙන ඩොලරයට  සමගාමීව මෙම අගය තීරණය කෙරේ.මහ බැංකුව විසින් විදේශ සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යනුයේ කීප ආකාරයකිනි. විදේශ බැංකුවල තැන්පතු විදේශ රාජ්‍ය බැඳුම්කර විදේශ රාජ්‍ය සහතික කළ සුරුකුම් පත් රත්තරන් සහ ජගත් මූල්‍ය අරමුදල භාවිතා කළ හැකි විශේෂ ගැනුම් හිමිකම් එම අවස්ථාවන්ය.ජාත්‍යන්තර ගනුදෙනු වලදී අතර මැදි මුදල ලෙස භාවිතා කරන ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිළ  සහ විකුණුම් මිළ මහ බැංකුව මගින් තීරණය කරයි.එසේ කරනු ලබන්නේ රුපියලේ පරිවර්ත්‍ය භාවය රැක ගැනීමටත් ලංකාව තුළ ක්‍රමානුකූල විදේශ මුදල් වෙළෙදපළක් ඇති කරලීම සඳහාත්ය.මෙහිදී වානිජ බැංකු ක්‍රමය ඉතා දියුණු නම් මහ බැංකුව මුදල් වෙළෙඳ පලෙන් ඉවත් වී සිටී.

       විදේශ විනිමය කළමනාකරණයේදී විනිමය අනුපාතය  ඉතා වැදගත්ය.මහ බැංකුව විසින්  රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව  මුදල අව ප්‍රමාණ සහ අධිප්‍රමාණ කරනු ලැබේ.අපනයනය වැඩිකර ගැනීම පිණිසත් මුදල අව ප්‍රමාණ කරනු ලැබේ. 1967 දී එවකට පැවති රජය මුදල අව ප්‍රමාණ කරනු ලැබීය පසුව විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුව ස්ථාවර විදේශ විනිමය අනුපාත ක්‍රමය වෙනුවට පාලිත පාවෙන විදේශ විනිමය අනුපාත ක්‍රමය ආදේශ කරන ලදී.මෙතැන් සිට ඇමරිකානු ඩොලරයට සමගාමීව මූලක වශයෙන්ම ණය ගැනීම අරමුණු කොට ගෙන මුදල් වරින් වර අව ප්‍රමාණ කර තිබේ.1977 දී ඩොලරයේ විටිනාකම රුපියල් අටක් විය. විනිමය අනුපාතය පාවෙන්නට සැලැස්වීම නිසා 1978 වන විට එය රුපියල් 15.61 දක්වා වර්ධනය විය.2001 වර්ෂය වන විට එය රුපියල් 89.36 දක්වා ඉහළට එසැවී ගොස් තිබුණි. 2001 වර්ෂයේදී ජගත් මූල්‍ය අරමුදල මගින් ඇමරිකානු ඩොලර 253 ක් ණය වශයෙන් ලබා දීමට තීරණය කරන ලදී.මේ මුදල් ලබා දීමත් සමගම මෙම අරමුදල මගින් රජයට කොන්දේසි ද දමනු ලැබීය . නමුත් ජී.එල්.පීරිස් ඇමති වරයා සහ මහ බැංකු අධිපති ව සිටි ඒ.එස්.ජයවර්ධනත් ප්‍රකාශ කර සිටියේ එවකට පැවති පොදු පෙරමුණ රජයේ ප්‍රතිපත්තිය අනුව 21 වන සියවස සඳහා දර්ශනය නමැති ජනාධිපතිනිය ගේ වැඩපිළීවෙලට මේ මුදල් ලබා දී ඇති බවයි.රුපියල 70 සිට 100 දක්වා වැඩි වූයේ මේ මුදල් ලබාදීමත් සමගමයි. පසුව එය 90 දක්වා අඩු කෙරිණ. රුපියල අව ප්‍රමාණය වීම නිසා අප ගෙවිය යුතු ණය සහ පොළිය ඩොලර වලින් වැඩි වෙන හැටි මේ කාලයේ අත් දකින්නට ලැබුණි.

        මෙයින් සිදු වූයේ කුමක්ද 2001 දී ජගත් මූල්‍ය අරමුදල්  වාර්තාවේ නව වන පිටුවේ සඳහන් පරිදි වෙළෙඳ පළ බලවේගයන්ට ප්‍රතිචාර දැක්වීමට රුපියලට ඉඩ ලබා දෙන පරිදි නම්‍ය ශීලී විනිමය අනුපාතයක් පවාත්වාගෙන යා යුතු බවයි. ඒ අනුව සිදු වූයේ අපනයනයන් අභිබවා ආනයනයන් සීඝ්‍රයෙන් වැඩිවීමයි. ඉඳි කිරීම් කර්මාන්තය  සංචාරක කර්මාන්තය ප්‍රවාහනය ආදී තැන්වලට ආනයනයන් බහුලව අවශ්‍ය බැවින් එහි යහපත් පැත්තක් තිබෙන බවට කෙනෙකුට තර්ක කළ හැකි නමුත් ලෝකයේ හදිසි අවස්ථාවකදී රුපියල පාලනය කර ගැනීම ලෙහෙසි පහසු නොවේ. අනෙක දේශීය භාණ්ඩ වලට වඩා විදේශීය භාණ්ඩ කෙරෙහි වැඩි රුචිකත්වයක් නැඹුරුතාවයක් ඇති සමාජයකට සිය ආශාවන් පාලනය කර ගත හැකි නොවේ. එවිට කෙසේ වත් නවොත්පාදන මගින් දේශීය කර්මාන්ත දියුණට පත් නොවේ.ජගත් විශේෂඥයන් තර්ක කරන පරිදි අපනයනයන්ට වැඩි අවස්ථා මේ මගින් උදා වී නැත.ඒවා ඇතැම් විට සීමා කිරීම් වලට යටත් වේ.දුප්පත් කම අඩු කිරීමේ ව්‍යුහාත්මක යොජනා ඉටු කිරීම පෞද්ගලීකරණය බෙදුම්වාදී යෝජනා වලට රාජ්‍ය ප්‍රතිපත්ති තුළ තැනක් ලබා දීම වැනි කොන්දෙසි වලට රජයට යටක් වීමට සිදු වේ.දැනටමත් අසීමාන්තික ලෙසට යටත් වී ඇත. 1954 දී ජගත් මූල්‍ය අරමුදලට සම්බන්ධ වීමෙන් අප රටක් වශයෙන් විශාල ණය උගුලකට අසුවී ඇති වව පැහැදිලිය.ඇමරිකානු කොටස් වෙළෙඳ පළ ඉහළ නැන්වෙන විට ලංකාවේ සිටින කොටස් හිමියන් මෙහි මුදල් එහි ආයෝජනය කිරීම වැඩි වීමෙන් මෙවර වේගයෙන් රුපියල අව ප්‍රමාණය වී යයි හිටපු  අගමැති පවසා ඇත. එහි තේරුම නම් මහ බැංකුව මැදිහත් වීමක් නොකර බලා සිට ඇති බවයි.දැන් ඒ සඳහා මැදිහත් වන බව මහ බැංකුවේ ඉහළ නිළධාරීන් පැවසුවද විනාශය සිදුව හමාරය. බැඳුම්කර මගඩිය නිසාද පසු ගිය කාලයේදී මෙවැනි තත්ත්වයක් උදා විය.

              ලංකාවේ මුදල් භාවිතයට ඉතා දිගු අතීතයක් ඇත.ක්‍රි.පූ. දෙවන සියවසේ පමණ සිට ලංකාවෙන් හමුවන හස් එබූ කාසි ඊට නිදසුන්ය.සැබවින්ම හස් එබූ කාසි වල උප්පත්තිය ඉන්දු දේශයෙහි සිදුව ඇත්තේ ක්‍රි.පූ. හයවන සියවසේ දී පමණය. ග්‍රික කාසි නිසා ඉන්දු කාසියෙහි ප්‍රවර්ධනයක් සිදුව ඇති බව පැහැදිලිය.වෙළෙඳ සමාගම් සිය වත්කම් පෙන්වීම පිණිස මේ කාසි භාවිත කළහ. වෙසෙසින්ම  විදේශීය ගනුදෙනු වලදී මෙම කාසි භාවිතයේ පැතිරීම නිසා ලංකාවෙන්ද මේ කාසි හමුවන්නට ඇත. එහෙත් ලංකාව වෙළෙඳ ගනුදෙනු සිදු කරන්නට ඇත්තේ පූර්ව ‌ෙඒතිහාසික යුගයේ පටන් බව නිසැකය. රට තුළ ගනුදෙනු වලදී භාණ්ඩ හුවමාරුකම් සිදු වුවද දූපතක් වශයෙන් මෙන්ම ජනප්‍රිය තොටමුණු බහුල රටක් වශයෙන් වෙළඳ ගනුදෙනු වලට ඉඩකඩ රාශියක් විය.යාපන අර්ධද්වීපයේ ආනකොට්ටේ කැනීම් වලින් සොයා ගත් මුද්‍රාව එවැන්නකට භාවිත කරන ලද්දකි.ඒ අතර යම් මැටි කැබලි භාවිත කර සලාක මගින් ගනුදෙනු කිරීමක්ද සිදුව ඇත.

       පසු කාලයේ දී තඹ රත්තරන් රිදී ආදී ලෝහ වලින් තැනූ මෙරට මුදල් නිකුත් කිරීමේ අධිකාරිය නොයෙක් යුග වල අධිපතියන් බවට පත් වූ රජවරුන් සතු විය.ඔවුන් ගේ නමින්ම ඇතැම් විට මේ කාසි නිකුත් කරන ලදී.පළමුවන විජයබාහු එලෙස කාසි නිකුත් කළ  නරපතියෙකි. එකල මේ ලෝහ වල පැවති බර සහ සුලභතාවය මත මුදලේ අගය තීරණය කර තිබේ. ලංකාවෙන් හමු වූ රන් සහ තඹ එකල ලෝකයේ වෙනත් රටවලද හමු වුවද ලෝකයට සාපේක්ෂකව මෙහි හමු වීම් ඉහළ අගයක් ගත්හ. රුවන් මැලි සෑය ගොඩ නගන අවදියේ දී  ඒ උතුම් කාර්යයේ ශ්‍රද්ධා භක්තිය නිසා රටේ විවිධ ප්‍රදේශ වලින් රන් රිදී මැණික් මතු වූ හැටි මහා වංශයේ ඇතුලත්ව තිබේ. නගරයෙන් ඊසාන දිග තුන් යොදුන් තන්හි ආචාරවිට්ටි නම් ගමෙහි නානාවිධ රත්තරන් පහල විය. එයින් ලොකුම ඒවා වියතක් පමණද කුඩා ඒවා අඟලක් පමණද විය. වරින් දකුණු දිග අම්බට්ටකොල නම් ජනපදයෙහි ලෙනක රිදී පහළ විය.පුරයෙන් නැගෙනහිර දිග සත් යොදුනකින් එපිට ගෙඟන් එතෙර පිහිටි තඹ විට නම් ගමෙහි තඹ ලෝහ පහළ විය. ලංකා පුරා වෘත්ත සහ කඩයිම් පොත් වල දක්නට ඇති පරිදි සතරක් රිදී ආකාර ගම්ද සොළසක් රන් ආකාර ගම්ද සියයක් රුවන් ආකරගම්ද ලංකාව පුරා තිබී ඇත.යටත් විජිත සමයෙන් පසු ප්‍රථම වරට ලංකාවේ ඛනිජ සම්පත් ගවේශණයට ආයතනයක් පිහිටුවන ලදහ. යකඩ රන් රිදී ආදී ලෝහ වර්ග මෙන්ම මැණික් ගැනද ඔවුහු ගවේශණය කළහ.විසිවන සියවසේ මුල් භාගයේදී ලංකාවට පැමිණී ජී.ජී.ඩික්සන් නම් රන් ආකර පිළිබඳ විශේෂඥයකු සහ ප්‍රකට ගවේශකයෙකු වූ ආනන්ද කුමාරස්වාමී මහතා විසින් මෙම ඛනිජ සම්පත් ගැන වැදගත් වාර්තාවන් පළ කරනු ලැබ ඇත.මෙම ඉතිහාසයෙන් අපට පැහැදිලි වන්නේ විදේශ වෙළඳාම මත කාසි භාවිතය දියුණූ වූ ආකාරයත් රට තුළ පවතින භාණ්ඩ වල වටිනාකම් තීරණය කරලීමට වෙළෙඳම හේතු සාධක වූ බවත්ය. රන් සහ රිදී මිශ‍්‍ර කොට ද රාජ්‍ය යෙහි මුදල් සඳහා කාසි නිපදවනු ලැබූහ. ඒවා කහවණු අඩ කහවණු සහ මසුරන් යන නමින් හඳුන්වන ලදහ.          පසු කාලයේදී තඹ මස්සටද මසුරන් යන නාමය භාවිත කොට ඇත. පළවන විජයබාහු රජු මේ තඹ මස්ස නිකුත් කිරීම අරඹන ලදී.  සහස්ස මල් රජු විසින් නිකුත් කළ කාසි රටේ නොයෙකුත් තැන්වලනි හමුවේ. එයට හේතුව කාසි පිළිබඳ වෙනසක් කරලීමට එතුමාට තිබූ අවශ්‍යතාවයයි.කාසි බහුල කිරීම් මත අභ්‍යන්තර වෙළෙඳාමද දියුණු කරලීමට හැකියාව ලැබෙනු ඇති බවට කල්පනාවක් එහිදී ඇති වන්නට ඇත. උඩරට රාජධානිය ගිවිසුමකින් ඉංග්‍රීසීන් හට භාරදීමෙන් පසු එවකට ලන්දේසීන් විසින් භාවිත කළ රික්ස්ඩොලරය ඉවත් කර 1825 දී රන් පවුම හඳුන්වා දෙන ලදී. ඒ අනුව රන් පවුමක් රික්ස් ඩොලර් 1  ⅓  ක් විය. ඉන්පසු 1836 වසරේ දී ඉන්දියානු රුපියල ලංකාවේ භාවිතයට හඳුන්වා දී ඇත. එසේම පවුම් සිලිං සහ පැන්ස ආදී බ්‍රිතානය සම්මත මුදල් භාවිතයන්ද හදුන්වාදී ඇත.සිලිං දෙකක් රුපියලක් වශයෙනි. එසේම රුපියල් දහයක් පවුමක් ලෙසටද සැළකුණි.ඉන්පසු ලංකා බැංකුව 1844 දී පිහිටුවීමෙන් පසුව භාණ්ඩාගාර බිල්පත් සහ බැංකු විනිමය පත් නිකුත් කිරීම අරඹන ලදී.1869 දී ඉන්දියන් රුපියල සීමාවකින් තොර ටෙන්ඩර ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගත අතර 1871 වන විට රුපියලක් යනු ශත 100 ක් බවට නිර්වචනය කර ඇත. ඉන්පසු ලංකා රුපියල නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර රුපියල යනු සිළිං 2 පැන්ස හයක් ලෙසට නිර්වනය කර තිබේ.

     වර්ෂ 1815 ට පෙර ලංකාව යටත් විජිතක් නොවේ. එ නිසා විදේශිකයන් විසින් ලංකාවේ මුදල ගැන තීරණ නොගත්හ. නමුත් පරංගින් සහ ලන්දේසීන් ගේ කාලයේ ලංකාවේ මුහුදු බඩ පළාත් ඔවුන් ගේ පාලනය යටතේ තිබූ බැවින් ඔවුන් ගේ මුදල් ඒකක වලින් ගනුදෙනු කරනු ලැබිණ.මහනුවර රාජ්‍ය භාණ්ඩාගාරය වෙතද ඔවුන් ගේ මුදල් සංස්සරණය වූයේ එම නිසාය.පෙර සඳහන් කළ පරිදි 1827 න් පසු බ්‍රිතාන්‍ය පාලන විසින් ලංකාවට ස්ථීර මුදල් ඒකකයක් හඳුන්වා දී රන් පවුම සමග ගලප්පා ලීම නිසා රටේ ආර්ථික ස්ථාවරත්වයද වෙනස් විය. විසිවන සියවසේ අග භාගය වන විට රන් පවුම වෙනුවට ඇමරිකන් ඩොලරය මුල් තැන් ගනු ලැබූවේ ඇමරිකාව ආර්ථික බලවතා බවට පත් වීමෙනි.මේ තත්වය මත ලෝකයේ කුඩා රටවලට  ආර්ථික  ස්වාධීනත්වය ළඟා කර ගැනීම ඉතාමත් අසීරු වේ.ආනයනයන් දිනෙන් දින වැඩි කිරීම මීට හේතුවකි. ආනයනය යම් ආකාරයකට පාලනය කර ගැන්මට අපට මේ වසංගත තත්වය යටතේ අවස්ථාව ලැබී තිබේ.ඒසේ නම් අපනයනය දිරිමත් කරමින් ලංකාවේ මුදල් ඒකකය ශක්තිමත කරලීමේ අදියරකට අප පැමිණීය යුතුය.

         කලක් ලෝකයේ පිළිගත් මුදල් ඒකකය වූයේ රත්තරන්ය.1914 දක්වාම එය එසේ විය.ඉන් පසු 1971 දක්වාම රන් සම්මතයේ පිළිගැනීම් අඩු වැඩි වශයෙන් තිබුණද දැන් එවැනි සම්මතයක් නොමැත. නමුත් බොහෝ රටවල් රන් සංචිත  පවත්වාගෙන යන්නේ තම වත්කම් ප්‍රවර්ධනය කර ගැනීමටයි. ලංකාවේ මහ බැංකුව සතුවද ඩොලර මිලියන 786.60 වටිනා රන් සංචිතයක් තිබෙන බවට වාර්තා වෙයි. ඒවා ක්ෂණිකව මුදල් කළ නොහැකියි. නමුත් රටේ වත්කම් තීරණය කර ගැන්මට එය සාධකයක් වේ. මෙම තත්ත්වය තුළ රන් සංචිත තව දුරටත් වර්ධනය කර ගැනීම මගින් ලෝක ආර්ථික අවපාත  සහ වෙනස්කම්  සිදුවන අවස්ථාවලදී යම් පිළිසරණක් අත් වේ යැයි සිතිය හැකිය.අවාසනාවකට ලංකාවේ සොයා ගෙන තිබෙන රන් සහ මිනිරන් ඉල්ලම් වල අයිතිය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් ඔස්ට්‍රේලියා සමාගමකට බදු දී ඇත. ඔවුහු ඒවායේ රන් නොසොයා කොටස් වෙළෙද පළ තුළ ආයෝජනය කරමින් රන් මිශ්‍ර පස් පිටරට පටවන බවටද පසුගියදා වාර්තා විය. කෙසේ වෙතත් ඛනිජ වර්ග රන් සහ වෙනත් භූ සම්පත් වලින් පොහොසත් රටක් වශයෙන් තිබුණද අප අද ලෝක බැංකුවේ හිඟමනේ යයි. මේ ආර්ථික අර්බුදයෙන් සහ ණය උගුලෙන් ගැලවීමට නම් අප ගේ ආර්ථික ආකල්ප සහ ගතානුගතික පුරුදු වෙනස් විය  යුතුය.අපගේ රන් ඉල්ලම් වලින් රතතරන් ගොඩ ගෙන ඒවා වලින් අපට නැවතත් මසුරන් කාසිය නිෂ්පාදනය කර ගත හැකිය. මේ මසුරන් කාසියේ වටිනාකම තීරණය කර ගත හැක්කේ රට තුළ සිදුවන නිෂ්පාදනයන් අනුවයි.රත්තරන් වල බරට ලැබෙන මිලත් රයේ දේශිය නිෂ්පාදනයන්හි මිලත් එක්කාසු කරන විට මසුරන් කාසියේ මිළී තීරණ කළ හැකිය. දේශීය නිෂ්පාදන වලින් ලැබෙන අගය කර්මාන්ත මෙන්ම කෘෂීකර්මයෙන් ලැබෙන වටිනාකම්ද මත තීරණය කරන්නක් විය යුතුය.සෑම පුද්ගලයෙකුම නිෂ්පාදනය කරන ආහාර ගෙවත්තක තිබෙන ගස් වලින් ලැබෙන ආදායම් ආදී සියල්ල මෙයට ඇතුල් විය යුතුය. එවිට නිවරදිව රටේ වත් පොහොසත් කම් තීරණය කරගත හැකිය.රජය විසින් නිකුත් කරන ලද  මසුරන් කාසිය විදේශ බැංකු වල තැන්පත් කිරීමෙන් විදේශ සංචිත යම් පමණකින් ඉහල නංවාගත හැකිය.ඉන්පසු විශේෂ ගනුදෙනු වලදී හුවමාර කර ගැනීමෙන් ලංකා මුදලේ අව ප්‍රමාණය වීම් පාලනය කර ගැනීමට අවස්ථාව ලැබේ.මෙහිදී වැදගත්ම කරණය වන්නේ අපනයනය වැඩි කර ආනයනය පාලනය කර ගැනීමයි.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress