සියයක් වෙදකුල
Posted on May 12th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

චීන වෙදකම ගැන සෑහෙන දෙනෙක් කතා කරනවා. ඒත් ඇත්තටම චීනයේ තියෙන්නේ එකම එක වෙදකමක් නම් නෙවෙයි. වෙදකම් මහ විශාල ප්‍රමාණයක් චීනයේ තියෙනවා. චීන වෙදකම කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ චීනයේ ප්‍රධාන ජනවර්ගය වන හන් මිනිස්සුන්ගේ වෙදකම. චීන ජනගහනයෙන් සියයට 92 ක් ම ඉන්නේ හන් මිනිස්සු. හන් මිනිස්සුන්ට අමතරව තවත් ජනවර්ග 55 ක් චීනයේ ඉන්නවා. ඉතින් ඒ ඒ ජනවර්ගවල මිනිස්සු හදා වඩාගත්ත වෙදකම් විශාල ප්‍රමාණයකුත් චීනයේ තියෙනවා.

ටිබෙට්, මොංගෝලියානු, මියාඕ, ඊ, චුවං, යාඕ, තායි, වෙයිගුර් සහ පැයි කියන ජනවර්ගවලට අයිති වෙදකම්වලට ‍චීන සමාජයේ සෑහෙන තැනක් තියෙනවා. මේ වෙදකම් රැක ගන්න, ඒවා තව තවත් දියුණු කරන්න, ඒ වෙදකම්, චීන වෙදකම සහ බටහිර වෙදකම අතර සම්බන්ධයක් ඇති කරවන්න චීන ආණ්ඩුව උදව් කරනවා. ඒ වගේ ම මේ වෙදකම් කරන ඉස්පිරිතාල මහ විශාල ප්‍රමාණයකුත් චීනය පුරා ම තියෙනවා.

මේ වෙදකම්වල එක් එක් ලෙඩ රෝග සනීප කිරීමේ විශේෂඥතා පවා තියෙනවා. ඉතින් ඒවාට අයිති බෙහෙත් වර්ග විවිධ ක්‍රමවලින් වෙළෙඳපොළට පවා එනවා. මාංශ පේශීවල වේදනා සමනය කරන මියාඕ ඖෂධයක් වෙළෙඳපොළට ඇවිල්ලා තියෙන්නේ ස්ප්‍රේ එකක් විදිහට. ඉතින් මේ බෙහෙත් පාවිච්චියත් ඒ එක්කම ජනප්‍රිය වෙලා.

මොංගෝලියානු වෙදකමේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරද්දි ඒකේ වර්ධනයට අපිත් දායක වෙලා තියෙනවා කියලා අනුමාන කරන්න පුළුවන්. මුලින් ම තිබිලා තියෙන්නේ මොංගෝලියානු ජනවර්ගය විසින් හදා ගත්ත ගොඩ වෙදකමක්. පස්සේ කාලෙක ඒ අය අතර ඇතිවෙච්ච මූලික ආගම විසිනුත් ඒක පෝෂණය වෙලා. පස්සේ කාලෙක තමන්ගේ වෙදකමට ථෙරවාදී බෞද්ධ රටවල්වලින් ආභාසයක් ලැබුණු බවක් මොංගෝලියානු වෙද මහත්තුරු කියනවා. මියන්මාරය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව ගැන තමයි ඒ අය කියන්නේ. ථෙරවාදයේ මහ ගෙදර ලංකාව හින්දා මේ වැඩේට අපේ සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්.

වෙනත් වෙදකම්වල ආභාසය ලබලා තමන්ගේ වෙදකමක් දියුණු කරන්න පුළුවන් කොහොම ද කියන එක තේරුම් ගන්න තියෙන හොඳම උදාහරණය තමයි මොංගෝලියානු වෙදකම. ඒ වෙදකමේ සංවර්ධනයට ආයුර්වේදයේ, ටිබෙට් වෙදකමේ සහ චීන (හන්) වෙදකමේ ආභාසය ලබාගෙන තියෙනවා. ඊට අමතරව ග්‍රීක වෙදකමේ ආභාසයත් තමන්ට ලැබුණා කියලා ඒ අය කියනවා.

චීනයේ ජනප්‍රිය වෙදකම් ගැන කතා කරද්දි ආගමික සම්ප්‍රදායයන් එක්ක බැඳිච්ච වෙදකම් ගැනත් යමක් කියන්න ඕන. ඒවා අතර ඉදිරියෙන් ම තියෙන්නේ තාඕ ආගමට අයත් වෙදකම. මේ වෙද සම්ප්‍රදායට අයිති ගුරුකුල මහ ගොඩකුත් තියෙනවා. අපි අහලා තියෙන චී-කුං ක්‍රමය අයිති වෙන්නෙත් තාඕ වෙදකමට. දුර ඉඳලා ලෙඩ්ඩු සනීප කිරීමේ හැකියාවත් තාඕ වෙද මහත්තුරුන්ට තියෙනවා. බාහිර ප්‍රතිකාරවලට අමතරව අභ්‍යන්තර ක්‍රමත් තාඕ වෙදකමට අයිතියි. ඖෂධවලින් ලෙඩ සනීප කිරීම අයිති වෙන්නේ බාහිර ක්‍රමයට. ථැයි චී යුවාන් වගේ අභ්‍යාස සහ වෙනත් ක්‍රම හරහා ශරීරය තුළින් ම ප්‍රතිකාරය නිපදවා ගැනීම අයිති වෙන්නේ අභ්‍යන්තර ක්‍රමයට.

බෞද්ධ වෙදකමත් චීනයේ ප්‍රසිද්ධයි. ලෝකය පිළිබඳ බෞද්ධ විග්‍රහය මුල් කරගෙන තමයි මේ වෙදකම වර්ධනය කරගෙන තියෙන්නේ. ඉතින් සිත් විවරණය, හේතු ඵල විභාගය, කර්ම විග්‍රහය වගේ කාරණා මේ වැඩේට අදාළයි. හේතු ඵල විභාගයේ දී බාහිර හේතු ගැන වගේ ම අභ්‍යන්තර හේතු ගැනත් හොයනවා. බාහිර බෙහෙත් සහ අධ්‍යාත්මික බෙහෙත් මේ වෙදකමේ පාවිච්චි කරනවා.

එච්චර ම ජනප්‍රිය නැතත් කොන්ෆියුසියානු වෙදකම අනුගමනය කරන පිරිසකුත් චීනයේ ඉන්නවා. මේ අයගේ වෙදකම බොහෝ දුරට රැඳිලා තියෙන්නේ ඊ-චිං (ඒ කියන්නේ විපර්යාස ශාස්ත්‍රය) සම්බන්ධ කරුණු උඩ.

මේ කිසිම වෙදකමක් තවත් එකකට වඩා උසස් පහත් කියලා සැළකීමක් චීනයේ නෑ. ඒ ඒ වෙදකමේ කෙළ පැමිණිච්ච වෙද මහත්තුරු වගේ ම මහාචාර්යවරුත් විශාල ප්‍රමාණයක් චීනයේ ඉන්නවා. විශ්වවිද්‍යාලවල සහ ඒ මට්ටමේ ආයතනවල මේ වෙදකම් උගන්නනවා. ඒ වගේ ම සාම්ප්‍රදායික විදිහට ඉගැන්නීම් කරන අයත් ඉගෙන ගන්න අයත් ඕන තරම් ඉන්නවා.

ඒ ඒ වෙදකමට වෙන වෙන ම සළකනවා වගේ ම ඒවා අතර ඒකාබද්ධතාවක් ඇති කරන්න උත්සාහ කරන වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙනවා. මේ කාරණයේ දී මූලිකව ම සළකලා බලන්නේ අන්‍යොන්‍ය විදිහට ඒ ඒ වෙදකම්වලින් ගන්න පුළුවන් උදව්ව මොකක්ද කියන කාරණය. ඒ කියන්නේ එක වෙදකමක් කරද්දී අවශ්‍යතාව ගැන සළකලා තවත් වෙදකමක් හවුල් කරගන්න පුළුවන්. බටහිර වෙදකම් කරන අය පවා මේ වැඩේට යොමු වෙලා තියෙනවා. ඒ වගේ ම, බටහිර සහ චීන වෙදකම් අතර එකමුතුවෙන් වෙදකමක් හදාගන්න පුළුවන් ද කියන එක ගැන පර්යේෂණ කරන පිරිසකුත් ඉන්නවා.

මේ දේවල් දිහා බලලා අපිටත් යමක් ඉගෙන ගන්න බැරි ද? එහෙම නැතිනම් තමන්ගේ සමාජ බලය ගැන විතරක් හිත හිතා අනිත් අයට ගරහන වැඩේ ඉස්සරහටත් කරනවා ද?

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress