රජු දැහැමි නම් කලට වැසි වසී සාගත වසංගත පල්ලම් බසී
Posted on May 15th, 2020

මතුගම සෙනෙවිරුවන්

        ලෝකයේ බොහෝ රටවල පැතිර පවතින නව වෛරස වසංගතය නිසා ලක්ෂ තිස් එකක් පමණ වන ජනතාවක් මේ වන විට අසරණව සිටී. ලංකාවේ ද මෙම රෝගය වැළඳී අතැයි සැළකෙන පුද්ගලයන් නවසීයකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.වසංගත පාලනයට අද භාවිතා කරන්නේ වර්ෂ 1897 දී බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් නිරෝධායන හා ස්පර්ශයෙන් බෝවන රෝග වැළැක්වීමේ ආඥා පනතයි.එකල පැතිරී ගිය මහාමාරිය වසංගතය මර්දනය කරලීමට ඉංග්‍රිසි රජයට තිබුණේ එවැනි උපාය මාර්ගයක් පමණකි.රෝගය පැතිරීම කළමනාකරණය ඇරුණු කොට ඖෂධයක් නියම කොට රෝගය පහකිරීමේ සමත්කමක් ඔවුනට නොවීය.1818 සහ 1848 වර්ෂ වලදී ඉංග්‍රීසීන්ට විරුද්ධව අරගල කිරීමෙන් හෙම්බත්ව සිටි සිංහල ජනතාව රෝග වලින් අසරණ කිරීමට සමත් නොවුණි.  රජරට  සහ රුහුණේ.ගම්බිම් පාලුව ගියේ ඉංග්‍රීසීන් ගේ කෘරකම් නිසාවෙනි. ඉන්පසු ඇති වූ මැලේරියා වසංගතය නිසා බෙලහීනව සිටි සිංහලයන්ට එයට මුහුණු දීමට නොහැකිවීම නම් සත්‍යයකි. නමුත් මහාමාරිය වසංගතය පැමිණී අවස්තාවේ දී සිංහල වෙදුන් එයට ප්‍රතිකාර කළහ. වසූරියටද කොළරාවටද අතීසාරයට ද හොඳින් වෙදකම් කළහ. ඒ උඩරට සහ සපරගමුවේ ජනතාව ශක්තිමක්ව සිටි හෙයිනි. ඉංග්‍රීසීන් ගේ නිරෝධායන ආඥාව නිසා මෙවැනි වෙදුන් කීප වරක්ම අත්අඩංගුවට පත් වී ඇත්තේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසාවෙනි.එවැනි එක් අවස්ථාවකදී මහෙස්ත්‍රාත් ඉදිරියට පමුණුවනු ලැබූ එක් වෛද්‍යවරයෙකු ගෙන් උසාවිය ප්‍රශ්ණ කරන විට ඔහු පිළිතුරු දුන්නේ කවි පන්තියකිනි.බෙලෙක් උණට ( ඒ කාලයේ මහාමාරියට ප්ලෙග් යන්න භාවිත විය. එහි විකෘතිය බෙලෙක් යන්නයි. ) පමණක් නොව උණ වර්ග අටකට පිළීයම් අප වෙත අතැයි මේ කව කියමින් ඔහු පවසා ඇත.

කුට මත නගාරා අඹු සොඳ කටකාරී – අට අඹු ගෙනා සිටි එකෙකුට බේරී

සිටි අඹ කණා ලුණු ලා පස්දින නෑරී- අටවක ජොරා බැට කාගෙන යයි බේරී

            ඉංග්‍රීසීන් ගේ ආඥා පණත් වලින් සිංහලයන් ගේ නිර්මාණ ශක්තිය පාලනය කරනු ලබනුයේ එදා පමණක්ම නොවේ. එය අදටද වලංගුය.වර්තමාන කොරෝනා වසංගතය හමුවේ රට මුහුණ දුන් අභීයෝගයට සාර්ථකව ඉතාමත් කොටි කලකදී මුහුණ දීමට සිංහල වෛද්‍ය ක්‍රමයේ සහයෝගය ලබා ගැනීමට  පාලකයන් උනන්දු විය යුතුව තිබුණි.නමුත් එ එසේ සිදු නොවුණි. එයට හේතුව ඉංග්‍රීසීන් ගේ නිරෝධායන නීතිය එලෙසම ක්‍රියාත්මක වීමයි. වෙනසකට තිබුණේ එදා ඉංග්‍රීසි නිළධාරීන් විසින් මෙහෙයවනු ලැබූ නීතිය මෙදා සිංහල නිළධාරීන් විසින් ක්‍රියාත්මක කිරීමයි.අයි.ඩී.එච්. ඇතුලු රජයේ රෝහල්වල මෙම රෝගයට ප්‍රතිකාර ආරම්භ කළද කිසිම විටක ආයුර්වේද රෝහල් වල ප්‍රතිකාර කිරීමට අවසරයක් හිමි නොවුණී. නිරෝධායන ආඥා පනත අනුව නව රෙගුලාසි ගැසට් කොට ආයුර්වේද කොමසාරිස් තුමාටද බලතල හිමි කිර දීමට සෞඛ්‍ය ඇමතිකුමියට ඉඩකඩ තිබුණද බටහිර වෛද්‍ය වරුන් අමනාප කර ගැනීමට බියෙන් ඇය පසුබා සිටි බව දැන ගන්නට ඇත. මේ පිටිපස  ඔසු ජාවාරම ඇතුලු බහුජාතික සමාගම් වල විවිධ මාෆියාවන් පවතින බව නොරහසකි. මේ අගනා අවස්ථාව ගිලිහී යෑම නිසා රට ආර්ථික වශයෙන් අන්තයටම පරිහානියට පත් වුණි.රජයට ලැබෙන ආදායම පවා අහිමි වුණි. ඉතින් ඉදිරියේ රට සාගතයකට මුහුන දීමට සිදු වනු ඇතැයි රජය බියෙන් පසුවේ.

      සාගතයක් ඇති වන්නේ මූලිකව ආහාර සුරක්ෂිතතාවය අර්බුදයකට ලක්වීමෙනි.දෙවනුව කලට වැසි නොලැබී දුර්භික්ෂ තත්වයක් මතු වී ජනතාව දුකට පත් වීමෙනි.එහෙත් දුරාතීතයේ සිටම ලංකවේ ජනතාව මෙවැනි සාගතයන්ට සහ දුර්භික්ෂයන්ට මුහුණ දී පුරුදු වීම නිසා ඒ ආශ්‍රිත අත්දැකීම් වලින් සන්නද්ධ වී යම් යම් සිරිත් විරිත් අනුගමනය කළහ. එයින් පළමු වැන්න සොබාදහම සතුටු කිරීමයි. සිංහල අවුරුදු ආසන්නයට පැමිණෙන විට ඇති වන වසංගත වලින් වැළකී සිටීමට ද නොයෙකුත් උපක්‍රම අනුගමනය කළහ. පාරම්රික සිංහල වෙදකමෙන් උපන් ප්‍රතිකාර විධි අනුගමනය කරලීමට අමතරව මෙම රෝග වලින් හට ගැනෙන විපත් සහ තැති ගැනීම් දුරු කරලීමට දෙවියන් ගේ ආශීර්වාදය ප්‍රාර්ථානා කළ ආකාරය පැහැදලි වෙයි. විපත් රෝග සහ තැතිගැනීම් දුරු කර ගැනීමට උපකාරි වන් ප්‍රධාන දේවතාවිය ලෙසට සැළකෙන්නේ පත්තිනි දේවියයි. ගජබා රජ කල හුරු වුණු පත්තිනි  දේවි නැමදුම ලංකාවේ බොහෝ ගම්වලට තදින්ම පැතිරෙන්නට වූයේ කොට්ටේ යුගයේ දී යැයි සිතමි.සශ්‍රීකත්වය හා බැඳුණු නොයෙකුත් සිරිත් විරිත් සමගින් එක්කාසු වී පවතින මේ දේව වන්දනය ජනතාවට සමීප වී අති ආකාරය පුදුම සහගතය.

   විපත් රෝග උපත්‍රායාදී යසකීර්ති තේජං -පත්තිනි දේවි සමින්දා -පාද පත්මා වන්දේ යයි පළමුවන රාජසිංහ රජු විසින් තැනූ මැදගොඩ පත්තිනි දේවාල යාතිකාවේ සඳහන්ය.මේ ආකාරයට රටේ විවිධ පළාත්වල පවතින පත්තිනි දේවාලයන්ට සම්බන්ධ ජනප්‍රවාද සහ විස්තර රාශියක් පවතී.ඒ සැම තැනකම පත්තිනි සළඹ හා බැඳි ජනප්‍රවාදයක් පවතී.සිංහලඅවුරුද්දට පළමු අස්වනු කපා පාගා ගැනිමෙන් පසු මේ දේවාල වල සිරිත් විරිත් ආරම්භ වේ.විශේෂයෙන්ම ගම්මඩු නටා මුරුතැන් පූජා කර දේවදානය අවසානයේ මේ චාරිත්‍ර නිමාවට පත් වේ.පත්තිනි දේවලයන්හි විශේෂත්වයක් නම් දේවාලය ආශ්‍රතව නාගයන්ගේ වාසය සිදු වීමයි.ගමේ අස්වනු කැපෙන සමයේ මේ නාගයන් කමත් වල සැරිසරන බවද දෙවියන් උදෙසා කොටස වෙන් කරන තෙක් අසළින් නොයන් බවද පැරණීයන් ගේ මතයයි.කමතේ අස්වනු මනින අවස්ථාවෙහි පත්තින මෑනියන් ගේ පිහිට ඒ ස්ථානයට ලැබෙන අතර කමත වට ගොක් තිර ඇද ස්ත්‍රීන්ට  පැමිණීම් වළක්වා කරන කටයුතු වලින් අස්වනු සරු වන බවද පැවසේ. ඇතැම් අවස්ථාවලදී වී මනින ලාහ කමත මත මුනින් තලා කිරීමට සිදු වන්නේ වී මැනීම ඉවර කරගන්නට නොහැකි වන බැවිනි. ඒ දෙවියන් ගේ ආශීර්වාදයයි.පත්තිනි ඇදහිල්ලද විශ්වාසයන්ද ක්‍රමයෙන් සමාජයෙන් බැහැරව යන් කල්හි නාගයන්ගේ බැල්ම අතුරුදහන්ව පවතී. නමුත් අදටත් මේ දේවාල භූමි තුළ වරින් වර නාගයන් ගේ පැමිණිම සිදු වේ.

        වර්තමාන කාලයේ බොහෝ සැදැහැවතුන් පත්තිනි මෑනියන් අභියසට පැමිණෙන්නේ විපත් සහ රෝග දුරු කර ගැනීමටයි.එසේම ගර්භනී සමයේ මෙන්ම දරුවන් උපන් පසු කිරි අම්මාවරුනගේ දානය දීමද සිරිතකි.දෙවියන්ට යාතිකා කිරීමෙන් ලබන ආශිර්වාදය නිසා විවිධ වසංගත ලෙඩ ධූරි භූතවන බව පැරණියන් ගේ විශ්වාසයයි.කළුතර දිස්ත්‍රික්කය නොහොත් පස්යොදුන් කෝරලයේ දේවාල සතක් තිබූ බවද නාගයන් සත් දෙනෙකු විසින් එම දේවාල ආරම්භ කරන ලද බවද ජනප්‍රවාද ගතව පවතී. වීදිය බණ්ඩාරයන් වරක් සිය ඇතු පිටින් ගමන් කරද්දී ඇටිගිරිය ගම් පියස අසල තැනක හදිසියේ ඇතු  නැවතීමෙන් පසු විපරම් කර බැලූ කල්හි දේව හාස්කමක් බව දැන ඇතුගේ පිටේ තිබූ සෝමනය එම දේවාලයට පූජා කර තිබේ. එසෝමනය අදටත්  ලත් පඳුර දේවාලය සතුව පවතී. නයි හත් දෙනාගෙන් පැවතෙන හුරුලු ගෙදර දේවාලය අගලවත්ත ආසන්නයේ කඳු පාමුළක් පවතී. එක අවස්ථාවක එහි බුලත් හුරුල්ලක පැළවිය. ඒ නිසාම හුරුලු ගෙදර දේවාලය යයි ප්‍රසිද්ධ විය. මේ නිසා පත්තිනි දේව වන්දනය කෙරහි ජනතාවගේ බයක් මෙන්ම ගෞරවාදරයක්ද පවතී. සශ්‍රීකත්වය උදෙසා කරන ශාන්ති කර්ම වලට මුලට ගැනෙන පත්තිනි කන්නලව් කලට වේලාවට කිරීමෙන් අස්වනු සරු වන බවද කලට වර්ෂාව ලැබෙන බවද කියති.අදටත් මඩු නටා දේව දානය දුන් කල්හි යල් කන්නයේ වර්ෂාව ආරම්‍භ වීම සත්‍යයකි.

      අවාසනාවකට නිදහසින් පසු ලංකාවේ පලානයට පත් වූ පුද්ගලයන් හට මේ සම්බන්ධව තිබෙන උනන්දුව ඉතා අල්පය. 1956 දී සංස්කෘතික දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ මෙම අවශ්‍යතාවයන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමටය. නමුත් එය සාර්ථක පරිදි සිදු වී නොමැත. එහි සෑබෑ තත්වය මෙම වසංගත සමයේ දී මැනවීන් ප්‍රකට විය. ඇඳිරි නීතිය දමා සියලු මිනිස් ක්‍රියාකාරකම් පාලනය කලාසේම මෙම ආශීර්වාද පූජාවන් කර ගැනීමට තිබෙන ඉඩකඩද  සීමා කළහ. මේ නිසා සෑම වසරකමසොබා දහමෙන් ලැබෙන ආශීර්වාදය මෙවර නොලැබී ගිය බව මාගේ විශ්වාසයයි. විශේෂයෙන්ම දළදා මාළීගයේ පවත්වනු ලබන ප්‍රධාන පින්කම් රජ්‍ය අනුග්‍රහයෙන් ලංකාපති ගේ මූලිකත්වයෙන් සිදු විය යුතුය.නාථ දේවාලයේ පූජවන්ද එසේමය. මෙවර එය එලෙස සිදු නොවීය. එවිට සාගතයන් සහ දුර්භික්ෂයන් පැමිණීමක් සිදුවුවහොත් පුදුමයට කරුණක් නොවේ. එම නිසා රජු දැහැමි වීම යන පැරණි සංකල්පය වර්තමාන පලාකයන් නිතර නිතර සිහිපත් කළ මනාය.රටට ජනපතිවරයෙකු අවශ්‍ය වන්නේ රටේ ප්‍රධානියාගේ බෝසත් චර්යාව තුළින් රටට ආශීර්වාදය ළඟා කර ගැනීමටය. යහපතට නායකත්වය දීමටය. දැන්වත් මෙම ගුණ ධර්ම වටහා ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

One Response to “රජු දැහැමි නම් කලට වැසි වසී සාගත වසංගත පල්ලම් බසී”

  1. aloy Says:

    Hindu beliefs apart, the Chinese scientists have proved that there is a thing called quantum entanglement. The scientific knowledge we have cannot explain every thing that happens under the sun (or beyond).

    Whatever it is, no doubt that this country is blessed with advantages over others. So, it is up to the rulers to make use of these and catch up with the lost time. But one thing is certain: it cannot be done by force;it can only be done if the majority of inhabitants are on their side. This means they have to depend on all of the Sinhalas.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress