සිකුරාදාට රැස්වෙන (Friday Forum) කොළඹ කේවට්ටයින්!
Posted on May 18th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

රාජා භවතු ධම්මිකෝ මතක්‌වීම

කොළඹදී රැස්වෙන නෝනා මහත්‌වරු, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් කියන ඕ මයි ගෝඩ් අයද, බුදු අම්මෝ අයද යනු පැහැදිලි නැතත්, ඔවුන් හැමදෙනාම, 2009 ට කලින් මේ යුද්‌ධය නම් කවදාවත්ම දිණන්න බෑ යයි කී පිරිසමය. ඔවුන් කළුසුද්දන් බව එලිවන්නේ රාජා භවතු ධම්මිකෝ… යන අගනා බෞද්‌ධ රාජ්‍ය පාලන සංකල්පය, පාලි ටෙක්ස්ට් (පාලි වචන) කියා බාල්දු කිරීමෙන්‌ය. මෙම සමහර විට නොදැන, නොසිතා කල අපහාසයේ බැරෑරුම්කම ඔවුන්ට ඉදිරියේදී හෝ වැටහෙන්නේ එය හැඳින්‌වීමට පාලි ටෙක්ස්ට් වෙනුවට ඉන්ග්ලිස් ටෙක්ස්ට් කියා යෙදුවොත්‌ය. වැදගත්, පාලි යන භාෂා වාහනය නොව, බෞද්‌ධ දේශනාවය. බුදු දහම ගැන හරිහමන් දැනීමක් නැත්නම් දේශපාලන අරමුණක් ඇති ලියුම් වලට දේවෝ වස්සතු…කතා නොදැමිය යුතුය. ඉන් සිදුවන්නේ, ජේ. ආර්ලාගේ ධර්මිට සමාජය, සිරිසේන/රනිල් යහපාලන-ලිච්චවි සමාජය මතක්‌වී, ජනයාට තරහක් ඇතිවීම පමණය.

ශීඝ්‍රයෙන් අඩුවෙමින් යන සාමාජිකයින් පිරිසක් සිටින මේ සමාගම, වරින් වර රටේ නොයෙක් දේ ගැන හොට දමයි. එවිට ඒච්. එල්. ඩී මහින්දපාල මහතා ඕස්ට්‍රේලියාවේ සිට ඔවුන්ට නිසි අවවාදද ලුණු ඇඹුල් සහිතව නොමිලයේම ලබාදෙමින් සිටී. ඔවුන් විසින් ජනාධිපතිට ලියූ අළුත්ම කෙටි ලිපිය, කේවට්ටයා බ්‍රහ්මදත්ත රජතුමාට දුන් උපදෙස් වලට සමානය (අයිලන්ඩ්, මැයි 16). ලියුමේ ඒකායන අරමුණ වන්නේ මේ ධර්මිෂ්ට පදය, ව්‍යවස්ථාවේ 70 (7) වගන්තිය සමඟ පටලවා පරණ පිංගුත්තර පිරිසට (අතලොස්සක් හැර) දියවන්නා හොටලයේ දොර අරවා ගැනීමය. ඒ අනුව සිතන විට මේ සිකුරාදා කට්ටිය වනාහී රට කැබලි කිරීමේ මහා ව්‍යාපාරයට සම්බන්‌ධ කරත්ත රෝදයේ එක පොල්ලක් පමණය. මේ හැම දෙයකම අන්තිම අරමුණ රටේ යහපත, රටේ (නැති) ජනතා පරමාධිපත්‍යය නොව, 1921/23 පමණ සිට හටගත් විෂබීජයක්‌වූ දෙමළ බෙදුම්වාදයට (2009 මැයි 18 දා වැළලූ එහෙත් නොමළ) ඔක්‍ෂිජන් සැපයීමය .

නා නා මාදිලියේ පංචස්කන්‌ධ දියවන්නා හෝටලය ඇරගන්නට නොයෙක් ආකාරයේ කෙස්පැලෙන තර්‌ක ඉදිරිපත්කරයි. කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය දැන් දියවන්නා හෝටලයේ ලන්ඩන් ශාඛාව වැනිය. මේ අතරින් කැපී පෙනෙන්නේ ජෙහාන් පෙරේරා, කුමාර් ඩේවිඩ් හා ලංකාවට කොඩිවිනයක්‌වූ දැන් ජීනීවා නුවරට පැනගොස් සිටින මාක්ස්වාදය යූ.එන්.පී. කල ජයම්පති වික්‍රමරත්නත් ය. වික්‍රමබාහු නම් කලේ එක වේදිකාවට නැග්ග එක පමණය. ප්‍රජාතන්ත්‍රවාදය නමැති බරව කකුලේ එල්ලී ඉන්නා මොවුන්ගේ එක් තර්‍කයක් නම් 2020 නොමිනේෂන්‌දී ඇති 150 කටත් වඩා, පරණ දියවන්නා හෝටල්කාරයින්ම නොවේද යන්නය. තිබෙන්නේ ලුනුමිදෙල්ල ලී නම් ඉන් බුරුත කැබිනට් එකක් සැදිය නොහැකි යයි කියන්නේ මේ නිසාය. පවතින බරවා කකුලෙන් ගැලවිය හැක්කේ පවතින ක්‍රමය තුලින්ම මිස නාගානන්ද ක්‍රමයට නොවේ. අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනා හැක්කේ එලෙසය. ඌරාගේ මාළු ඌරා පිටම කැපීමෙන්‌ය. පවතින දූෂිත නොමිනේෂන් ක්‍රමය හා චන්ද ක්‍රමය යටතේ, බෞද්‌ධ ක්‍රමයට අනුව දැනට කලහැකි දේ එයය. නමුත් ඉතා පැහැදිලි දෙයක් නම් ඒ 150 ට කලින් කල සෙල්ලම් කරන්නට, පගා ගෙන, බත් කා නිදාගන්නට ඉඩ නොලැබෙන, ඉඩ නොදෙන බවය. මහජනයාට පොරොන්‌දුවී ආ තම ප්‍රතිපත්ති ක්‍රියාවට යොදවන්නට අකමැතිනම් රජ්‍ය සේවයෙන් ඉවත්‌වෙන ලෙස ජනාධිපති දුන් අවවාදය අනාගත පො‌හොට්ටු මන්ත්‍රීලාටද වලංගුය. මන්ත්‍රී පරාණ පෙත්සම් මගින් ආපසු කැඳවීමේ බලයක් ජනතාවට ලබාදිය යුතුය.

රාජා ධම්මිකෝ පාර

රට ගැන හරිම දුකෙන් ඉන්නා සිකුරාදා පිරිස මෙවැනි යෝජනා වෙනුවට ගේන්නේ මොනවාද? යහපාලන කාලයේ මහජනයා වෙනුවෙන් කෙරෙන <යහපාලන> වැඩ ගැන නිදා සිටි මොවුන් අවදිවන්නේ ජනතා පරමාධිපත්‍යය, නැතහොත් යහපාලන කල්ලියට තර්‌ජනයක් එන විට පමණය. එසේත් නැත්නම් ඔවුන් කියන බහු වාර්‌ගික ලංකා සමාජය රැක ගැනීම උදෙසාය. ලංකා මානව හිමිකම් කොමිෂමේ ලොකු නෝනාගේ පිටකසන්නන් වශයෙනි. දැන් මේ අළුත්ම ලියුම ගන්නේ අළුත්ම පාරකි. එය <රාජා භවතු ධම්මිකෝ> පාරය. මීට සතියකට දෙකකට කලින් කලේ උසාවියේ නඩුකාරයින් උදෙසා පිලියෙල කලා වැනි දීර්‌ග නීති සංදේශයකින් පරණ මන්ත්‍රී හෝටලය නැවත ඇරීම යනු ජනතා පරමාධිපත්‍යය රැකදීම යයි තර්‌ක කිරීමය. නමුත් මෙවර, කලින් සිරිසේන/රනිල් නඩුවේදී මෙන් ජයම්පති අටවාදී පැනගිය 19 සංශොධන හුටපටය තුලින් කබරගොයා තලගොයා කල හැකිවේද යන සැකයක් සිකුරාදා නීතිඥයින්ට පහලවී ඇතිසේය.

ජේ. ආර්. ව්‍යවස්ථාවේ අගට ඇති දේවෝ වස්සතු කාලේන…යන්න බෞද්‌ධයින් රැවටීමට කල ඇස්බැන්‌දුමක් මිස, ව්‍යවස්ථාවේ වගන්තියක් නොවේ. එය හරියට ව්‍යවස්ථා පොතේ කොලවල පිටු අංක වගේය. පිටු අංක ව්‍යවස්ථා වගන්තිද? එය නීතියෙන් 70(7) ට බද්‌ධ කල හැකි අදහසක් නොවේ. එය නීතියෙන් බාහිර බෞද්‌ධ සංකල්පයකි. දැනට තිබෙන තත්‌වය නම් ජනාධිපති මෙතෙක් ගෙන ඇති තීරණ ජයම්පති-සුමන්තිරන් ශූක්‍ෂම ප්ලෑනට අනුව යන්නය. දියවන්නා හෝටලය බෝම්බයක් වැටී විනාශ වුනොත් පාර්ලිමේන්තුව මාස තුනකට වඩා වසා තැබීම සිදුවනවා මෙන්, කොරෝනා නිසා එය වසා තැබීමට සිදුවීමේ නීති විරෝධී කමක් නැත. බලතල බෙදීමේ න්‍යාය නිසා, ඒ කාලයේ එන්.එම්-කොල්වින්ලා ව්සින් කතා සාප්පුවක් ලෙස හැඳින්‌වූ, දැන් නම් හරිහමක් කතාවක්වත් නැති බත් කඩයක්, නැවත ඇරීමට, ගලේ කෙටූවාසේ කෙරෙන බලකිරීමක් ලෝකයේ කොහේවත් නීති පොතක නැත.

ඒ නිසා මෙයට උසාවියට ඇඟිලි ගැසිය හැකි එකම විධිය නම් මහජන ආරක්‍ෂක පණත යටතේ හදිසි නීතිය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත යනුවෙන් ජනාධිපති ගත් තීරණය නීත්‍යාණුකූල වුවත්, ධාර්මික නැත (සුද්දගෙ නීතිය අනුව හිතුවක්කාර, අසාධාරණ) යයි තීන්‌දු කිරීමෙනි. මේ සඳහා, <නෙසසිටි> හෝ <එක්සෙප්ෂනලිසම්> යන සුද්දාගේ ඩොක්ට්‍රින්ස් පස්සේ දුව ගියත් අන්තිමට එන්නට වන්නේ මේ එක්ට්‍රා-ලීගල් (නීති පොතෙන් පිට) රාජා ධම්මිකෝ තියරි එකටය.

එසේ බාහිර කරුණු සළකනවා නම්, උසාවිය ජනාධිපතිගේ මනස විග්‍රහ කලයුතුවේ. ඔහුව බලයට පත්කලේ මුන් 225 ම එපා, මුන් අවුරුදු 71 ක් ම රටකෑවා යන සටන් පාඨය පිළිගත් ලක්‍ෂ 69 ක් විසිනි. එය සිදුවූයේ යහපාලනකාරයින් රටේ සංඝ ශාසනයට, බෞද්‌ධ නටබුන් වලට, රටේ පැවැත්මට කල හානි ඉදිරියේ පාරට බැස්ස හාමුදුරුවරුන්ගේ මැදිහත් වීම නිසාය. 69 ලක්‍ෂය 80 ක් ඉක්මවීමට පවා ඉඩකඩ තිබෙන්නේ, කෙතරම් භාධක ඉදිරියේ වුවත්, ජනාධිපති කිව් දේ කරණ කෙනෙක් යයි චන්ද දායකයින්ට පෙනීයාම නිසාය. උතුරේ අහිංසක දෙමළ ජනයා යුද හමුදාවට කැමතිය; සිංහල ජනයා යුද හමුදාවට කැමතිය. භටයින් දකින්නට අකමැති වංක දේශපාලකයාය. මිසිස් චන්ද්‍රිකා ඒ කාලයේ කී දෙයක් නම් හොඳ ඇමතිලා 10 ක් ඉන්නවා නම් ඇයට රට හදා දෙන්නට පුළුවන්‌ය කියාය! දැන් ජනාධිපතිට කරන්නට සිදුවී ඇත්තේ දක්‍ෂ, අවංක අමාත්‍යාංශ ලේකම්ලා සොයා ගැනීමය. ඒ සඳහා ඔහුට විශාල හමුදා පූල් එකක්ම ඇත. මීට ඊර්ෂ්‍යා කරන්නේද ජේවීපී ඇතුළු දේශපාලක හොරුමය.

මෙවැනි පසුබිමක් යටතේ උසාවිය තීරණය කල යුත්තේ ජනාධිපතිට ජනතාව දී ඇති පරමාධිකාරී බලය භාවිතා කිරීමට ඉඩ දෙනවාද, නැත්නම් ජයම්පතිගේ-සුමන්තිරන්ගේ පොතේ ඇති බලතල බෙදීම නම් මන්ත්‍රී පරමාධිපත්‍යයක් නමැති මායාවක් ජනාධිපතිගේ මනසට බලෙන් ආරූඪ කරන්නට හදනවාද යන්නය. සිකුරාදා පිරිස දෙන්නේ මෙම ආරූඪ කිරීමේ උපදේශයය. එය කේවට්ටයා කල දේමය. ධ‌ර්මිෂඨ වීම කතාවෙන්, නීති පොතෙන් සිදුවනවා නම් ජේ. ආර්, රනිල් හෝ සිරිසේනලා ලංකාවේ ධර්‌මාශොකලාය. ගෝඨාභය එය ක්‍රියාවෙන් පෙන්වන්නට පටන් ගෙන තිබෙන්නේ, ධර්මිෂ්ට යයි කියන්නේ, සධාරණත්‌වය, යුක්තිය, සිංහල බෞද්‌ධයා නොපෙලා ගෙනයන පාලනයකට වීම නිසාය. මීට වෙනස් අර්‍ථකතනයක් ධර්‌මිෂ්ට යන්නට දීමට උසාවියට දැණුමක්, දැක්මක් තිබේද?

මෙම ඓතිහාසික හා රටේ මානව-දේශපාලන භූගෝල විද්‍යාවට අදාල සාධක සලකා බලන්නේ නම්, 1954 දී බ්‍රවුන් එරෙහිව බෝඩ් ඔෆ් එඩියුකේෂන් හා 2000 දී බුෂ් එදිරිව ගෝර් යන නඩුවලදී ඇමෙරිකන් සුප්‍රිම් උසාවිය දුන් තීන්‌දු දෙකේ හරයට අනුව මිස ඉන්දියන් හෝ පකිස්ථාන් නඩු හා බිර්ලාලාගේ පරණ නීති ග්‍රන්ථ කියවා, තමන්ගෙන් රටට හා ජාතියට (රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟූ ජාතියේ) හානිකර නිගමනයකට සුප්‍රිම් උසාවිය නොපැමිණිය යුතුය. හිටපු යහපාලන ඇමති හැරිසන් ඊයේ අනුරාධපුරේදී කටමැත දෙඩවූ අන්දමට උසාවි තීරණය නිසා සජිත්-රනිල් සමඟි වූ පසු ඇළුතින් නොමිනේෂන් දෙනවා යන්න නඩුකාරයින් ක්‍රියාකරණවාද යන සැකයක් මහජනයා තුල ඇතිවුනොත්, එය උසාවියේ මොටෝ එකට පටහැනිව යාමක් වන්නේය.

ප.ලි.
මේ පිලිතුරු ලිපිය කෙලින්ම ඔවුන්ට යැවීමට ඊමේල් ලිපිනයක් වත් දක්‌වා නැති නිසා මෙය අයිලන්ඩ් කතෘට යවන්නේ ඔහු එය ඔවුන්ට යවතියි බලාපොරොත්තුවෙනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress