නීතිය ඉදිරියේ සමානාත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන් බොහෝ ඉදිරියෙන් බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහි ‘ජනතා හඩ’ සාක්ෂි දරයි…!
Posted on June 5th, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

The people’s voice against the brutal slaughter of George Floyd clearly shows that the Blacks in United States are a great deal ahead in Equality before the law…!

නිදහස් ප්‍රකාශය (Declaration of independence – 1776) නිකුත් කරමින් එක්සත් ජනපදය අමරිකානු විප්ලවීය යුද්ධයෙන් (1775-1783) බ්‍රිතාන්‍ය කිරීටයේ අධිකාරය අවසන් කරන ලදී. 1783 පැරිස් ප්‍රඥප්තිය මගින් එය නිදහස් රාජ්‍යයක් ලෙස පිළින්නා ලදි.

දකුණු අප්‍රිකාව, ඉංදියාව, ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් ජනපදයද ඇතුළු තවත් රටවල් බ්‍රිතාන්‍යය යටත් විජිතව පැවති අතර ඒ නිසාම බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වාදුන් බලවතුන් සහ දුබලයන් සදහා වෙන් වූ වර්ගවාදී නීති වලින් ඒ රටවල් පාලනය කෙරිණි.

බ්‍රිතාන්‍යය යටත් විජිත වූ අන් රටවල් මෙන් නොව එක්සත් ජනපදය, ආයුධ සන්නද්ධ විප්ලවයකින් බ්‍රිතාන්‍යයන් පළවා හැරි ලොව එකම රාජ්‍යය වුවත් බ්‍රිතාන්‍යයන් හදුන්වාදුන් වර්ග බේදය තහවුරු කළ නීති සහ පීඩිතයන් පීඩාවට පත් කරන නීති එහි ශක්තිමත්ව ස්ථාපිත වී තිබීම එරට සමාජයේ බරපතල ඛෙදවාචකයක් ඇති කරනු ලැබීය.

එහි ප්‍රතිඵල ලෙස ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් (1865), නෝබල් සම්මාන ලාභී මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) (1968) වැනි දැවැන්තයන් වෙඩි උණඩයට සිය ජීවිත කැප කරණු ලැබූ අතර එවැනි ඝාතන නොනැවතී පැවතීම ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතියේ පාලනයේ ඇති අදුරු පැති කඩ ලෝකයට නිරාවරණය කරන්නට විය.

එවැනි තවත් කෘර ඝාතනයක් පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි පොලිස් නිලධාරීන් විසින් ද සිදු කළ අතර පොලිස් නිලධාරීන්ගේ වධහිංසනයෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් (46) නම් කළු ජාතික තරුණයා 2020 මැයි 25 දින ඝාතනයට ලක්වීම සියලු රටවල ජනතාව අතර ප්‍රභල කතිකාවක් ඇති කිරීමට සමත් ව තිබේ.

ලෝකයේ බිහිසුණු ඝාතන කොතෙක් සිදු වී තිබුණද, දෙවන ලෝක යුද්ධයේදී නාසීන් විසින් යුදෙව්වන් ගෑස් කාමරවල දමා හුස්ම ගැනීමට අවස්ථාව නොදී ඝාතනය කළ ආකාරය සිහිපත් කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමති කලු ජාතික තරුණයා හුස්ම ගැනීමට ආයාචනා කරද්දීත් එයට කිසිම අවස්ථාවක් නොදී විනාඩි 9කට ආසන්න වේලාවක් හුස්ම ගැනීම වළක්වා ඝාතනය කිරීම මානුශ්‍යත්වයට එරෙහි ක්‍රියාවක් බව පැහැදිලිය.

හුස්ම ගැනීම වළක්වා සිදු කළ මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී සුදු – කලු බේදයක් නැතිව සමානත්මතාවයේ අයිතිය ඉල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේත්, ලෝකයේ තවත් රටවලත් උද්ඝෝෂණ පැවැත්වෙන අතර ඒ සියලු උද්ඝෝෂණ අතරින් නීතිය ඉදිරියේ සමානත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන්, බ්‍රිතාන්‍යයේ අන් යටත්විජිත ලෙස පැවති රටවල ජනතාවට වඩා බොහෝ ඉදිරියෙන් සිට ක්‍රියා කරන බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහිව ගෙන යන උද්ඝෝෂණවල ස්වභාවය අනුව මේ වන විට සනාථ වෙමින් ඇත.

බ්‍රිතාන්‍යය යටත් විජිත ලෙස පැවති ඉංදියාව, ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාව මෙන් නොව ඇමෙරිකා එක්සත් ජනපදයේ කලු ජාතිකයන් මැනවින් ඉංග්‍රීසි භාෂාව හසුරුවන හෙයින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින නීති සහ එහි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කියවීමේ නෛතික සාක්ෂරතාවය ඔවුන්ට ලැබී ඇත. ඒ ඇසුරෙන් ලබන දැනුම භාවිතයට ගෙන තමන්ට එරෙහිව සිදුවන නීතියේ වෙනස්කම්වලට එරෙහිව ජයගන්නා ක්‍රියාදාමයන් වෙන අයෙකුගේ මෙහෙයවීමකින් තොරව ස්වාධීනව සිදු කිරීමට එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට නෛතික සාක්ෂරතාවය ලැබී ඇත. ඒ ශක්තිමත් නෛතික බලය හේතුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට යුක්තිය ඉටු කර ගැනීමට එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට අවස්ථාව හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාව, එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට මෙන් නොව නෛතික සාක්ෂරතාවය ලැබීමට නිදහස හෝ අවස්ථාව අහිමි ජනකොටසකි. ශ්‍රී ලංකාවේ අවශ්‍ය සහ වැදගත් නීතිමය කටයුතු සියල්ල කරනු ලබන්නේත්, තීරණ ගනු ලබන්නේත් බහුතර ජනතාවගේ භාෂාව වන සිංහල භාෂාවෙන් නොව සුළුතරයක් භාවිතා කරන ඉංග්‍රීසි භාෂාවෙනි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බහුතර සිංහල ජනතාවගේ නෛතික සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පවතින අතර ජනතාවට එරෙහිව සිදුවන බලවතුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව නෛතිකව ක්‍රියාකිරීමට ඔවුන්ට අවබෝධයක් නැත.

එක්සත් ජනපදයේ කලු ජාතිකයන් නෛතික ක්‍රියාකාරකම්වලින් නිදහස අත් කර ගන්නවා මෙන් ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට නෛතික ක්‍රියාකාරකම්වලින් නිදහස අත් කර ගැනීමේ ක්‍රමවේදය නොදනී. නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවුණත් (Ignorantia juris non excusat) නීතිය දැන ගැනීමට සිංහල ජනතාවට අවස්ථාවක් නැත.

නීතිය ඉදිරියේ සමානාත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන් බොහෝ ඉදිරියෙන් බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහි ‘ජනතා හඩ’ සාක්ෂි දැරුවද, ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාව නීතිය ඉදිරියේ සමානාත්මතාවය ලබා ගැනීමට තව කොතරම් කාලයක් ගත වෙයිද කිව නොහැකිය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන –

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress