තොන්ඩා ගියා බණ්ඩලාගේ කල දසාව කුමක් වේවිද?
Posted on June 6th, 2020

මතුගම සෙනෙවිරුවන්

           මහනුවර යුගයේ මෙන්ම කෝට්ටේ යුගයේ රදළයන්  බණ්ඩාර නාමය භාවිත කළ හෙයින් ලක තුළ බණ්ඩාරවලියක් ඇති වී යයි කියති. ඉංග්‍රීසීන්ට රට භාර දුන් පසු කාලයේ දී උඩරට බණ්ඩාරලා බණ්ඩා බවට පත් වී කොළඹ කුරුඳුවත්තේ බංගලාවල වැඩට පැමිණියහ.බන්ඩලා මෙන්ම මැණීකේලාද මෙලෙස කොළඹ බංගලාවල මෙන්ම සුද්දන්ගේ වතු බංගලාවලද සේවයට යෑමට සිදු වූයේ උඩරට ඔවුන්ගේ ඉඩම් වතු සමාගම් වලට යටවී සිදුවුණු නස්පැත්තිය හේතු කොට ගෙනයි.බණ්ඩලාට උපන් බිම අහිමි වුවද බණ්ඩාරනායකලාට  රටේ ඉහළ තැනක් හිමි වූයේ ගමේ බණ්ඩාගෙන් වෙන්වී ආගම් මාරු කොට තානාන්තර රැගෙන කවුන්සලයට යෑමට කෙටි පාරවල් සොයා ගත් බැවිනි.කෙසේ වෙතත් ගමේ බණ්ඩලාගේ ඉඩම් දකුණු ඉන්දියාවෙන් ගෙනා දෙමළ වතු කම්කරුවන් හට බුක්තියට සවිකරවන්නට ගමෙන් නගරයට පැමිණි බණ්ඩාරනායකලා සේනානායකලා මෙන්ම ජයවර්ධනලාත් කළ සේවය ඉහළය.පුරවැසි පණත අනුව ලියාපදිංචියෙන් ඔවුනට මෙරට පුරවැසිකම් හිමි වූහ.ජයවර්ධන ගේ කාලයේ දී දිව්රුම් පෙත්සමකින් මේ අයට පුරවැසිකම දෙනු ලැබූයේ අත්තා මුත්තා පමණක් නොව කිරි කෑමුත්තා ගෙන් ඉහළට පාරම්පරිකව මෙරට සිටි සිංහලයන් හා ලියාපදිංචියෙන් පුරවැසිකම ලබන අය ව්‍යවස්ථාවෙන් එක සමාන යයි සම්මත කරගනෙය. මේ නිසා ගමේ බණ්ඩාගේ අයිතිය නොලැබී කන්ගානිලාට මුට්ට කාසි කාරයන්ට උඩරට ගම් බිම් අයිතිය ලැබුණී.

         1960 සිට නුවරඑළිය ආසනය නියෝජනය කළ විලියම් ප්‍රනාන්දු මහතා 1964 දී පාර්ලිමේන්තුවේ දී කළ කතාව හැන්සාඩ් වාර්තාවේ සඳහන් වීඇත. එය මෙසේය.ලාංකික ජනතාව අතර විශාල මුදල් අඩු නිසා වතුකරයේ ඉන්දියානු කන්ගානිලාත් අසරණ කම්කරුවන් සූරා කමින් වතුකරයේ ජීවත්වන ඉන්දියානු ව්‍යාපාරිකයනුත් ඒ වතු මිලදී ගන්නට පිළිවනි. එම වතු එයින් බේරා ගැනමටත් යම් කිසි සැලැස්මක් වහාම පිළයෙල කරන්නට ඕනෑ. ඒ සඳහා අප දැන් පිළියම් නොකළෙහොත් අපේ රටේ වටිනා දේපොළ විදේශිකයන් සතු වන්නට ඉඩ තිබෙනවා. එම නිසා එදත්අදත් කවදත් මේ විදේශිකයන් සතු දේපොළ රජය සතු කළ යුතුය. යන හඬ මා කීප විටක්ම ඇති කර තිබෙනවා. ගරු කතානායක තුමනි. අද ලංකා කර්මාන්ත සියල්ලක්මපාහේ අත්පත්කර ගෙන තිබෙන්නේ සම්මාන පුර වැසි කම් ලැබූ ලංකාව සූරා කෑ ධනේශවර විජාතිකයන්. සමහර කර්මාන්ත සම්බන්ධයෙන් දැනට ඒකාධිකාරයක් පවත්වාගෙන යනවා. එක පුද්ගලයෙකුට නැත්නම් එක සමාගමකට පමණක් මේ රටේ සුළු කර්මාන්ත කීපයක් කරගෙන යෑමට පුළුවන්කම ලැබී තිබෙනවා. ඔවුන් පමණක් ඒ සඳහා ලියාපදිංචිව සිටිනවා.

     බ්‍රිතාන්‍ය පාලකයන් විසින් රටට කරන ලද මහා වරදක් හරිගැස්සීමට තබන ලද පළමු පියවර විලියම් ප්‍රනාන්දු මහතා විසින් දියත් කරන ලදී.එනම් ශාන්තිපුරය නම් ජනපදයක් නුවරඑළියේ මීපිළීමානේ බිහි කිරීමයි. පසුව මහගස්තොට ගැමුණු පුර ධර්මපාල පුර සේන පුර සිරිසඟබෝපුර ආදී ගම්මාන බිහිකරන ලදී. මෙම ශාන්ති පුරයට සහ පසුව විවෘත කරන ලද කලාපුරයට පැමිණි ගමනේදී අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මහත්මිය තබා තිබෙන්නේ මෙවැනි සටහනකි. කන්ද උඩරට ප්‍රදේශයේ සිංහල ජනතාවගේ අනාගතය අන්ධකාරවීමට තරම් හේතු වූයේ එම ප්‍රදේශයේ ඉඩකඩම් වැඩි හරියක් විදේශිකයන් අත්පත් කොට සිටි බැවිනි. එහෙත් එම භයානක උවදුරෙන් උඩරට ප්‍රදේශය ගලවා ගැනීමට නුවරඑළිය මහජන මන්ත්‍රී ටී.විලියම් ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරන්නට යෙදුනු සිංහල ගොවි ජනපද ව්‍යාපාරය සමත්වන බව අද ශාන්තිපුර උත්සවයට සාභාගි වූ මගේ එකම හැඟීමයි. මේ වෙනුවෙන් සෑම සිංහල දේශප්‍රේමියෙකුගේම සහය නොඅඩුව ලැබෙනු ඇතැයි මාගේ එකම බලාපොරොත්තුවයි

          නුවරඑළිය දිස්ත්‍රික්කය හඟුරන්කෙත වලපනේ කොත්මලේ සහ නුවරඑළිය මස්කෙළිය වශයෙන් මැතිවරණ ආසන කීපයකින් සමන්විතය. 1947 වර්ෂයේදී එහි පළමු මැතිවරණය පවත්වා තිබේ . ඉන්පසු 1977 වසර වන තෙක්ම නුවරඑළිය තනි මැති වරණ ආසනයක් විය. 1977 න් පසු නුවරඑළිය මස්කෙළිය නමින් බහුආසනයක් බවට පත් කළ පසු ගාමිනී දිසානායක අනුර බණ්ඩාරනායක මෙන්ම එස් .තොන්ඩමන් මහතා ද ජනතාව නියෝජනයට පත් විය. 1977 ට පෙර යටත් විජිත සමයේ නුවර එළිය යනු වතු කාර සුද්දන් සහ වතු කරයේ දෙමළ කම්කරුවන් බහුතරය විසූ කලාපයක් විය. නුවර එළියට සිංහලයන් ගේ ආකර්ශනය සිදු වූයේ එහි පැවති වෙළෙදාමත් ඉන්පසුව සිදු වූ වානිජ වැවිලි ක්ෂේත්‍රයේ දියුණුවත් සමගින්ය.නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ සිතියම ගත් කල්හි එය 1947 සිටම ඉහළ ධනපති පංතියේ දේශපාලනඥයන් ගේ පොරපිටියකි. මෙය පොදු ජනතාව අතරට මාරු වූයේ 1960 මැතිවරණයේදී සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් යුත් රජයක් පත් වීමෙන් පසුවයි. එහිදී නුවරඑළියේ වතුකරයට මැකනික් වැඩට පැමිණි දකුණේ පුද්ගලයකු වූ ටී.විලියම් ප්‍රනාන්දු මහතා එම ආසනයේ මන්ත්‍රීවරයා බවට පත් විය. 1960 -65 කාලය තුළ නුවරඑළි ආසනය විශාල පරිවර්තනයකට ලක් විය.. සිරිමා රජය 1965 දී පරාජයට පත් වූ පසු විලියම් ප්‍රනාන්දු මහතාටද ආසනය අහිමි විය. නමුත් ඔහු 1970 නගර සභා මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබ සිය පළමු අභිලාශයන් ව්‍යාප්ත කරමින් නුවරඑළිය තුළ සිංහල ජනතාවගේ උරුමය තහවුරු කරවීය.ඒ පියවර මගින් මුඩුබිම් පණතෙන් ඉඩම් අහිමි වූ උඩරට සිංහලයන්ගේ අයිතිවාසිකම් යම් පමණකින් හෝ ස්ථාවර විය. 1960 දී නුවරඑළිය ආසනයේ තිබූ සමස්ත චන්ද දායක සංඛ්‍යාව දෙගුණයක් වන්නේ ඔහු විසින් පදිංචි කරන ලද සිංහල ජනතාව නිසාවෙනි. ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නුවර එළි ආසනයේ වැඩි බලයක් හිමි කරගත්හ.

        1977 වර්ෂයෙන් පසුව නුවර එළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බල කඳවුරක් බවට පත් කරවන ලදී. දිව්රුම් පෙත්සමට පවා වතු දෙමළ කම්කරුවන්ට පුරවැසි කම ප්‍රදානය කළ එක්සත් ජාතික පක්ෂය ලංකා කම්කරු කොන්ග්‍රසය මත සිය චන්ද පදනම ශක්තිමත් කරගන්නා ලදී.මේ නිසා කම්කරු කොන්ග්‍රසය සතු දෙමළ චන්ද  වෙන්දේසි කරමින් ජාතික දේශපාලනයට පවා අභියෝග කරන්නට තොන්ඩමන් මහතා සමත් විය. පසුව කම්කරු කොන්ග්‍රසයෙන් කැඩී ගිය තරුණ කොටස් කොටි සංවිධානය සමග සබඳතා පවත්වමින් 1999 දී පමණ කඳුරට ජනතා පෙරමුණ බිහිකළහ. වර්තමානය වන විට උඩරට වතු කරයේ මෙම දේශපාලන බලවේගය ඉදිරියට පැමිණ තිබේ. නමුත් ඔවුහු කණ්ඩායමක් ලෙසට දිගින් දිගටම අසාර්ථක විය. මෙම කරුණු නිසා කවදත් එ.ජාප. යට පිටින් යන බලවේගයකට නුවර එළිය දිස්ත්‍රික්කය ජය ගැනීම පහසු කරුණක් නොවීය. එම බල කඳවුර යම් තරමකින් දෙදරුම් කෑවේ 1994 සහ 1999 ජනාධිපතිවරණ වලදී චන්ද්‍රිකා මැතිණිය ලබා ගත් මනාප හේතු කොට ගෙනයි. විජය කුමරතුංග මහතාගේ ජනප්‍රියත්වයත් කොටි බෝම්බයෙන් ලද පීඩනයෙන් ලද ජනතා අනුකම්පාවත් නිසා චන්ද්‍රිකා මැතිණිය අනෙක් අය අභිබවා ඉදිරියට පැමිණියේය. ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා රටේ ප්‍රධාන දේශපාලන චරිතය බවට පත් විය. මහින්ද රජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණ චන්දය ජයග්‍රහණය කරන කල්හි ඔහුට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකි වූයේ චන්ද 99550  ක් පමණකි. නමුත් ඔහුගේ ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ මහතා චන්ද 250428 ක් ලබා ගෙන තිබුණි. පසුව මහින්ද රාජපක්ෂ මහතා යුධ ජයග්‍රණයද ලබා ඔහුට ලබා ගත හැකි වූ චන්ද ප්‍රමාණය 2010 දී 151 604 ක් විය නමුත් ඔහුගේ ප්‍රතිවාදයා වූ සරත් ෆොන්සේකා මහතා චන්ද 180604 ක ගේ කැමැත්ත දිනා ගෙන තිබුණි. මහින්ද රජපක්ෂ මහාතා 2015 වසරේ පරාජයට පත් වන විට ඔහුගේ චන්ද ප්‍රමණය 145 339 දක්වා අඩුවී තිබුණි. නමුත් මෛත්‍රී පාල සිරිසේන මහතා චන්ද 272 600 ලබා ගනිමින් නුවර එළිය දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිශතය වාර්තා කර ගෙන තිබුණි.

         සමස්ත නුවර එළිය දිස්ත්‍රික්කය තුළ වතුදෙමළ ජනගහනය 355830 කි.එයට ලංකා දෙමළ ජනතාවද එක්වූ කල්හි 401896 ක් දක්වා එය වර්ධනය වේ. නමුත් සිංහල ජනගහනය 282621 ක් පමණකි. පැවති යහ පාලන රජයද වතමන් පොහොට්ටු කඳවුරද තේරුම් ගෙන තිබෙන්නේ මෙම යථාර්ථයයි.එම නිසා යහපාලන රජය පත්වූ පසු නව කඳුකර ගම්මාන අමාත්‍යංශයක් ඇතිකර වතු දෙමළ ජනතාවට පමණක් ඉඩම් හා නිවාස පිරි නැමීමේ ජාතිවාදී ක්‍රියාදාමය දියත් කරන ලදී.එයින් වතුකරයේ දෙමළ ජාතිවාදී නායකයන් අත්පත් කරගත් පහසුකම් බොහෝය.මේ වන විට තොන්ඩමන් මහතා නික්ම ගොසිනි. ඔවුන් පසුපසින් පැමිණි දිගම්බරන්ලා දෙමළ චන්ද මගින් සිංහල පක්ෂ තුළ බලය කේවල් කර ගැනීම දිගින් දිගටම කරති. යහපාලන සමයේ දී අඹගමුව ප්‍රාදේශීය සභාව නීති විරෝධීව තුනකට කඩා දෙමළ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ වල ජාතිවාදී පළාත් පාලන අයතන පිහිටුවා ගන්නා ලද්දේ රනිල් වික්‍රමසිංහ ගෙ පූර්ණ අනුග්‍රහයෙනි.ඒ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ මහතා පවා එයට විරුද්ධ නොවීය.තොන්ඩමන් නික්ම යන දවසේ මහින්ද රජපක්ෂ මහතා නැටූ නාඩගම තුළින් අප තේරුම් ගත යුතවන්නේ පැරදී ගෙදර ගිය මහින්ද සිංහල බහුතරයකගේ කරපිටින් නැවත කරළියට පැමිණියද වෙනස් වී නැති ආකාරයයි.තොණ්ඩමන් වෙනුවට ඔහුගේ පුතා ආදේහ කරමින් දෙමළ චන්ද වලට කෙළ හැලීම මගින් සිදු වන්නේ දෙමළ චන්ද පදනම දිනෙන් දින වර්ධනය වීමයි.එලෙස වන්නට වන්නට සිංහලයාගේ බලය හීන වන අතර පාර්ලිමේන්තුවේ තීරක බලය බවට මේ නායකයන් පත්වේ. 2019 දී හැටනව ලක්ෂයක බහුතර සිංහල චන්ද කෙරෙහි වත්මන් ජනපතිවරයා විශ්වාසය තැබුවේය.2010 දී මහින්ද නුවර එළියෙන් ලබා ගත් වැඩි චන්ද ප්‍රමාණයෙන් සහතික වන්නේ උඩරට වතුකරය තුළද එලෙසම කළ හැකි බවයි.ඒ සඳහා තොණඩමන් පරපුර ඔසවා තැබීමට වඩා උඩරට භූමි පුත්‍රයන් වන බණ්ඩාරලා ගේ උරුමය තහවුරු කර දීම වටනේය. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පිහිටුවන ලද්‌දේ ඒ සඳහාය. නමුත් තව වෙනතුරු එහි අරමුණු සාර්ථක වී නැත. ගමේ සිටින බණ්ඩාරලා ගම කුඹූරු වතු පිටි අතහැර ආසන්නතම නගරයට හෝ කොළඹට සංක්‍රමණය වන්නේ දෙමළ වතුකරය තමන්ව වට කරමින් සිටින බැවිනි.මේ තත්වය වහා වෙනස් කිරීමට නම් සාම්ප්‍රදායික දේශපාලන තන්ත්‍රයෙන් ඔබ්බට වන පෙරළීයක් වහා සිදු විය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress