ශ්‍රී ලංකා වාසී ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරමින් නිතිය නිවැරදි ලෙස පිළිපැදීමට අවස්ථාව ලබා දෙන ලෙස නීතිපති තුමාගෙන් ඉල්ලීම.
Posted on June 15th, 2020

හර්ෂ කුමාර් සුරියආරච්චි

15.06.2020

ගරු නීතීපති තුමනි,

ශ්‍රී ලංකාව තුල, ව්‍යවස්ථානුකුලව සම්මත කර නැති, නීතියක් වී නැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, නීතියක් ලෙස සලකා විධායකයත්, විධායකයේ ආයතනත්, පාර්ලිමේන්තුවත් කටයුතු කරමින් සිටි. විධායකයේ ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුවද ජනතාවගේ නිත්‍යානුකුලව ජීවත්වීමේ පරම අයිතිය නොසලකා නීතියක් වී නැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නිතිය ලෙස සලකා කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම කරන විට බලපැවත්වෙමින් තිබුණේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය අඩංගු ව්‍යවස්ථාවයි. නමුත් නීතියක් ලෙස සම්මත නොවුණු 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අනීතික ලෙස ක්‍රියාත්මක කරමින් පැවතීම නිසා රට අද පත්ව ඇති ගැටළු කාරී තත්වයට පත් වී තිබේ. මෙම අනීතික ක්‍රියා පටිපාටිය වහාම වෙනස් නොකළහොත්, ව්‍යවස්ථා දුෂණ උපයෝගී කරගෙන රට විශාල අගාධයකට ඇද වැටීම වැළක්විය නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 ව්‍යවස්ථාවට අනුව පනතක් සම්මත කල යුත්තේ ව්‍යවස්ථාවට අනුකුලවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීමට, එහි අඩංගු ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරීමට ඇති බලතල අවුරුදු 3 කට වඩා කාලයකට අහිමි කිරීමේ විධිවිධාන ඉවත් නොකරන්නේනම්, පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් පසු ජනමතවිචාරණයක් පවත්වා ජනතාවගේ අනුමැතිය ගත යුතු බව 2002 වසරේදී  SC SD 11/02 – SC SD 40/02 දරන නඩු විසදීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී.  එසේම තවත් කරුණු 16 ක් සම්බන්ධව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීමටනම් පාර්ලිමේන්තුව ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි 2015 SC SD 04/2015 – SD SC 19/2015 නඩු විසදීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්ද ලැබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාවේ (4) අනුව්‍යවස්ථාවට ට අනුව පනතක්  සම්මත කල යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල ආකාරයට පමණි. එසේම 83 වන ව්‍යවස්ථාව අදාල වන පනතක් ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කරන තුරු නිතිය බවට පත් නොවන්නේය.

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 2002 සහ 2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් පසු ජනමතවිචාරණයක් පවත්වා ජනතාව අනුමත කල යුතුය.

2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දක්වා ඇති පරිදි, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිමේ බලය වසර 3 කට වඩා වැඩි කාලයකට අහිමි කිරීමේ විධි විධාන 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම කරන විට ඉවත් කර නොතිබුණු නිසා, එම කෙටුම්පත සම්මත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල ආකාරයට ජනමත විචාරණයකට යා යුතු බැවින් කථානායක 79 වන ව්‍යවස්ථාවට අනුව යෙදිය යුතු සිය සහතිකයේ මෙම කෙටුම්පත ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කරන තුරු නීතිය බවට පත් නොවන්නේයැයි සදහන් කල යුතුව තිබුණි..

එහෙත් 2015 මැයි මස 15 දින, 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ඡන්දය ලැබුණු පසු, කතානායක තම සහතිකය 79 වන ව්‍යවස්ථාවට අනුව සටහන් කොට නැත.

මෙයට හේතුව කථානායක සහ පාර්ලිමේන්තුවද, නීතිපති ද, එම කෙටුම්පතෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබු අයුරු වෙනස් කම් කර ඇතැයි විශ්වාශ කිරීම විය හැකි නමුදු, ව්‍යවස්ථානුකුලව වලංගු වන්නේ එම විශ්වාශය නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ දැක්වීමයි.

මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස 2018 වසරේදී SC/FR/351/2018 දරන නඩුවේ තීන්දුවෙන් පැහැදිලි වුයේ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිය ලෙස සැලකූ විට ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිමේ බලය වසර තුනකට වඩා වැඩි කාලයකට අහිමි කර ඇති බවයි. එසේනම් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ඡන්දය ලබා ගන්නා අවස්ථාවේදී එය 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව ජනමතවිචාරණයකට පසු සම්මත කල යුතු කෙටුම්පතක් ලෙස පැවතී තිබුනි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව මෙන්ම 83 වන ව්‍යවස්ථාවට අනුවද ජනමතවිචාරණයකින් සම්මත කල යුතු 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධව කථානායක තැබූ අත්සන 79 වන ව්‍යවස්ථාව පරිදි  සහතික කොට නැති නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධව කථානායක අත්සන ව්‍යවස්ථානුකුල නැත.

ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථානුකුලව සම්මත වී නීතියක් බවට පත්වීමට තවදුරටත් පහත පියවර සම්පුර්ණ කල යුතුය.

1.  පාර්ලිමේන්තුවේ විශේෂ (2/3) බහුතරය ලැබී ඇති බැවින් 79 වන ව්‍යවස්ථාව ප්‍රකාර කතානායක  සිය සහතිකය යොදා අත්සන් තැබීම

2.  19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචාරණයකට යොමු කිරීම

3.  ජනතාව සිය ඡන්දයෙන් එය අනුමත කිරීම

4.  ජනතාව එසේ අනුමත කල බවට ජනාධිපති සහතික කිරීම

ඉහත පියවර මෙතෙක් සම්පුර්ණ කර නැති බැවින් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථානුකුලව සම්මත වී නීතියක් බවට පත්වී නැත.

තවම නීතියක් වී නැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විධායකය, විධායකයේ ආයතන සහ පාර්ලිමේන්තුව විසින් නීතියක් ලෙස සලකමින් කටයුතු කිරීමෙන් මාගේත් සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවගේත් පරමාධිපත්‍යයත් මුලික අයිතිවාසිකම් සහ නීති ගරුක පුරවැසියන් ලෙස ජිවත් වීමට තිබෙන අවස්ථාවත් අහිමි කරමින් සිටින බව දන්වා සිටිමු.

මෙම පෙත්සමෙන් ඔබ තුමාගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථානුකුලව තවම නීතියක් වී නැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් ලෙස සලකමින් කටයුතු කිරීමෙන් වලකින ලෙසට හා අනීතිය නීතිය ලෙස ගෙන කටයුතු කිරීමෙන් වලකින ලෙසට විධායකය දැනුවත් කරන ලෙසටයි.

එසේම ඔබ හා විධායකය මෙම නිවැරදි කිරීම නොකරන්නේනම් මෙම කාරණය සම්බන්ධව අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද මෙයින් දන්වා සිටිමු.

මේ සම්බන්ධව තවදුරටත් විස්තර මේ සමග ඇති ඇමිණුමෙහි දක්වා ඇති අතර එම ඇමිණුමද මෙම ලිපියේම කොටසක් ලෙස සලකන්න.

ව්‍යවස්ථා විරෝධීව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් සම්මත කර ගැනීමට ඉඩ දුනහොත් විය හැකි අතිශය දරුණු අනිටු විපාක.

රටේ ඒකීය බව, බුදු දහමේ ආරක්ෂාව, ජනතාවගේ පරමාධිපත්‍ය බලය, මුලික අයිතිවාසිකම් ආදී ඉතා වැදගත් කාරනා සම්බන්ධයෙන් රටත් ජනතාවත් බුදු දහමත් ආරක්ෂා කරමින් පනවා ඇති, 1,2,3,6,7,8,9,10,11, 30(2), 60(2) යන ව්‍යවස්ථා ජනමතවිචාරණයකින් ජනතාවගේ අවසරය ලබාගෙන මිස වෙනස් නොකළ යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වා ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් ඉහත 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබියදී, ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ තීන්දු වලින් පැහැදිලි වී තිබියදී, ජනමතවිචාරණයක් නොපවත්වා, විධායකයත් පාර්ලිමේන්තුවත් (පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රී වරුන් අති මහත් බහුතරයක් ජනතා විරෝධිව එකග වී) එය ව්‍යවස්තා විරෝධිව පිළිගනිමින් සිටින ආකාරයටම මෙරට ඒකීය නොව ෆෙඩරල් රාජ්‍යයක් යැයි යම් දිනක ඔවුන් ජනමතවිචාරණ නොපවත්වා අනීතිකව සම්මත කර ගනු ඇත. මෙරට බුදු දහමට අයිතියක් නැතැයි ඔවුන් රිසි සේ නීති ගෙනෙනු ඇත. මිනිසුන්ගේ නිදහස රිසි සේ මර්දනය කරනු ඇත.

එසේම දැනටමත් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුල ඉහත ආකාරයේ භයානක විධිවිධාන සැගවී තිබෙන්නේනම් මතු දිනයක අවස්ථාවාදීන් විසින් එම 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඒවාද ජනමතවිචාරණයකින් තොරව නීතිගත කර ගැනීමට ඉඩ ඇත. එසේනම් මෙරට ඒකීය රාජ්‍යයක් නොවේයැයි, ව්‍යවස්ථානුකුලව සම්මත නොවූ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුලින්ම තහවරු කර ගනු ඇත. එවන් කරුණු සැගවී තිබේනම් අධිකරණයට කල හැකි වන්නේ එම කරුණ එහි තිබෙන බව පැවසීම පමණි. එවිට දැන් ක්‍රමය පිළිගතහොත් ඒවාද නිතිය යැයි පිළිගැනීමට සිදුවනු ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනීතිකව ක්‍රියාත්මක කිරීම පිළිගතහොත් ඉහත පරිදි වූ ඉතා අහිතකර වාතාවරණයන් රට තුල ඇතිවීමේ ඉඩකඩ කිසිවිටක කිසිවකුටවත් ප්‍රතික්ෂේප කල නොහැක. මෙම අවදානමෙන් රට බේරා ගැනීම ඔබගේ වගකීමක් සහ යුතුකමක් වන්නේය.

රටට ඇතිවියහැකි ඉහතින් දක්වා ඇති බරපතල හානිකර තත්වයන් ඇතිනොවීමට නම් අවනීතිය නිතිය කරමින් ව්‍යවස්ථානුකුලව සම්මත වී නැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත ලෙස සලකා කටයුතු කිරීමෙන් වලකින ලෙස ඔබතුමාගෙන් පුරවැසියකු ලෙස අප ඉල්ලා සිටින අතර ඒ නිවැරදි කිරීමට අනුව කටයුතු කිරීමට විධායකය දැනුවත් කිරීමද ඔබගේ යුතුකමක් හා වගකීමක් වන බවද දන්වා සිටිමි.

මෙහි සදහන් කරුණු අනුව මෙම පෙත්සමෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථානුකුලව තවම නීතියක් වී නැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් ලෙස සලකමින් කටයුතු කිරීමෙන් වලකින ලෙසට හා අනීතිය නීතිය ලෙස ගෙන කටයුතු කිරීමෙන් වලකින ලෙසට විධායකය දැනුවත් කරන ලෙසටයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු වන / සාකච්චා වන වෙනත් කරුණු කිහිපයක් ද ඔබගේ දැන ගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරමු.

(අ) කථානායක අත්සන් කර ඇති නිසාවෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් බවට පත්වී නැති බව.

යම් කිසි පනත් කෙටුම්පතක් හෝ එහි විධි විධානයක් ජනමතවිචාරණයකදී ජනතාව විසින් අනුමත කල යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අවස්ථාවක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 ව්‍යවස්ථාවේ දෙවන අනුව්‍යවස්ථාවට අනුව ජනමතවිචාරණයකට යා යුතු පනතක් නිතිය ලෙස සම්මත වන්නේ, එය ජනාධිපති අත්සන් කර ඇති විටයි. ජනාධිපති අත්සන් තබන්නේ ජනතාව ජනමතවිචාරණයකදී එය අනුමත කර ඇත්නම් පමණි. මේ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ජනපති අත්සන් කර නැති බැවින් තවම නීතියක් බවට පත්වී නැත. එසේම 83 වන ව්‍යවස්ථාවට අනුව ජනමතවිචාරණයකට යා යුතු පනතක් කථානායක අත්සන් කරන විට, 79 වන ව්‍යවස්ථා ප්‍රකාරව “මෙම පනත් කෙටුම්පත ජනතාව විසින් ජනමතවිචාරණයකදී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතුය” යන සහතිකය යොදා අත්සන් කල යුතුය.  එම සහතිකය මෙතෙක් තබා නැති බැවින් කථානායක තැබූ අත්සන වලංගු නැත. මේ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කථානායක සහතිකය හෝ ව්‍යවස්ථානුකුලව ලැබී නැත.

එසේම 82 ව්‍යවස්ථාවේ (5) වන අනුව්‍යවස්ථාවට අනුව, 79 සහ 80 වන ව්‍යවස්ථාවන්ට අනුකුලව අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයා විසින් හෝ කතානායකවරයා විසින් හෝ අත්සන් කර සහතික කලවිට පනත් කෙටුම්පතක් නිතිය බවට පත්වන්නේය. 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචාරණයකට ඉදිරිපත් කල යුතු බැවින් 79 හා 80 ව්‍යවස්ථාවන්ට අනුව මෙහිදී අවස්ථාවෝචිත වන්නේ ජනාධිපතිතුමාගේ අත්සන හා සහතිකයි. කතානායකවරයාගේ අත්සන නොවේ. ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථානුකුලව සම්මත වී නිතිය බවට පත්වී නැත.

තවදුරටත් 82 ව්‍යවස්ථාවේ (6) වන අනුව්‍යවස්ථාවට අනුව, ඉහතින් දැක්වූ 82(5)  අනුව්‍යවස්ථාවට අනුකුලව පනවනු ලබන්නේ නැති කිසිම පනතකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් හෝ සංශෝධනය නොවන බවද සැලකිය යුතුය.

එම නිසා 79, 80(2), 80(3), 82(5), 82(6) හා 83 වන ව්‍යවස්ථා හා අනු ව්‍යවස්ථා වලට අනුව කතානායක අත්සන් කල පමණින් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් බවට පත් වී නැත. එයින් ව්‍යවස්ථා සංශෝධනයක් වී නැත.

(ආ) (i)      නිත්‍යානුකුලව සම්මත වී නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණය 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් සේ සලකා නඩු තීන්දුවක් දීමෙහි ඇති ව්‍යවස්ථානුකුල බව

පාර්ලිමේන්තු කාලය වසර 3 ඉක්මවූ අවස්ථාවක, ජනාධිපති නිකුත් කල පාර්ලිමේන්තුව විසිරවිමේ නියෝගයක් බල රහිත යැයි අභියෝග කර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත 2018 දී නඩු ගොනු කර තිබුණි.

ඒ වන විට පාර්ලිමේන්තුව විසින්, ව්‍යවස්ථාවට අනුකුල නොවන ලෙස සහතික කල 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, සම්මත වී නීතියක් වී ඇතැයි ව්‍යවස්ථානුකුල නොවන ක්‍රියා පිළිවෙලක් අනුගමනය කරමින් තිබුණි. එහි කතානායක සහතිකයද ඉහත (අ) හි විස්තර කල පරිදි ව්‍යවස්ථානුකුල නැත.

එම පාර්ලිමේන්තු ක්‍රියා පිළිවෙල ව්‍යවස්ථා විරෝධී වුවත්, ඒ වන විට අධිකරණයට ව්‍යවස්ථානුකුලව කල හැකි වනුයේ එම කතානායක අත්සන පිළිගෙන කටයුතු කිරීමයි. මක් නිසාද යත් එම කතානායක සහතිකය 79, 80, 82 හෝ 83 ව්‍යවස්ථා වලට අනුකුලව අවස්ථාවෝචිත පරිදි තබන ලද්දක්දැයි පරික්ෂා කිරීමට අධිකරණයට ඍජු බලයක් ව්‍යවස්ථාවෙන් ලබා දී නොතිබීමයි. එසේම ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ තනි අනන්‍ය අයිතිය ඇත්තේ 118 වන ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක්ම බැවින් එම කතානායක සහතිකයේ ව්‍යවස්ථානුකුල භාවය පරික්ෂා කිරීමට අන් කවරකුට හෝ බලයක් නැති බැවින් එම කතානායක සහතිකයේ ව්‍යවස්ථානුකුල භාවය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් තීන්දුවක් හෝ තීරණයක් ලැබෙන තුරු සියලු දෙනාම එය ව්‍යවස්ථානුකුල ලෙස සැලකිය යුතුද වේ.

එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථානුකුලව නිවැරදි අන්දමට 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වී ඇති ලෙස සලකා 2018 වසරේදී SC/FR/351/2018 දරන හා ආශ්‍රිත නඩු විභාග කරන ලදී.

  • එසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් ලෙස සලකා කටයුතු කිරීම නිසාවෙන් තවදුරටත් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් ලෙස සැලකිය යුතු යැයි නොගත යුතු බව

කෙසේ වෙතත් SC/FR/351/2018 දරන හා ආශ්‍රිත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් හෙළිදරව් වුයේ ජනමතවිචාරණයකින් තොරව සම්මත කල නොහැකි විධි විධානයක් 19 වන සංශෝධන කෙටුම්පතෙහි අඩංගු වී ඇති බවයි. එනම් පාර්ලිමේන්තු කාලයෙන් වසර 3 ක් ඉක්ම යාමෙන් පසුවද ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවීමට ව්‍යවස්ථානුකුලව තිබුණු බලතල අහිමි කර ඇති බවයි.

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව ඒ වහාම  19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීමටනම් 2002 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව එය ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කල යුතුව තිබූ බව පැහැදිලි විය. ඒ බව SC/FR/351/2018 නඩු තීන්දුවත් සමගම අධිකරණයත්, පාර්ලිමේන්තුවත්, විධායකයත්, මහ ජනතාවත් ව්‍යවස්ථානුකුලව දැනගන්නා ලදී. ජනමතවිචාරණයකින් අනුමත කල යුතු වූ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථානුකුලව සම්මත කර නැති බවද එනිසාම ඒ සමගම පැහැදිලි විය. 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථානුකුලව සම්මත කර නොමැති නම් එය තවදුරටත් නිතිය නොවන බවද ව්‍යවස්ථානුකුලව රජයත් මහජනතාවත් එම SC/FR/351/2018 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවත් සමග දැන ගන්නා ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථානුකුලව SC/FR/351/2018 හා ආශ්‍රිත නඩු පිළිගෙන තීන්දුවක් දීම නිසා මේ අනුව සිදුවී ඇත්තේ, එම නඩු තීන්දුව දීමේ අවස්ථාව වන තුරු ව්‍යවස්ථානුකුලව සම්මත කර නැති වුවද ව්‍යවස්ථානුකුලව සම්මත කර ඇතැයි පිළිගෙන විභාග කල යුතු වූ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ව්‍යවස්ථානුකුලව සම්මත වී නැති බව තහවුරු වීමයි. එම නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගත් ක්‍රියා මාර්ගය නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිගත වීමක් සිදු වී නැත.

තවදුරටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන වලට අනුව, ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ජනමතවිචාරණයකින් සම්මත විය යුතු අවස්ථාවක අධිකරණය මගින් ලබා ගන්නා යම් තීන්දුවකින් එම කෙටුම්පත ජනමතවිචාරණයකින් තොරව සම්මත කල හැකියැයි  ප්‍රතිපාදන සලසා නැත.

එසේම ජනමතවිචාරණයකට යායුතු පනතක් ජනමතවිචාරණයකින් තොරව සම්මත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට කිසිදු වූ බලයක් ලබා දී නැත.

ජනමතවිචාරණයකින් සම්මත විය යුතු පනතක් ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කරන තෙක් එය නිතිය බවට සලකා කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායකයටද කිසිදු බලයක් පවරා නැත.

පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවට බැවින්, ජනතාව සතු බලයක් අහිමි කිරීමට විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට හෝ එම ආයතන තුනෙහි යම් එකතුවකට හෝ නොහැක.

(ඇ) ශ්‍රේෂ්ඨාධිකරණය එක් වරක් ව්‍යවස්ථානුකුලව සම්මත කර ඇතැයි සැලකූ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථානුකුලව සම්මත කර නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් පිලිගත හැකිද?

ශ්‍රේෂ්ඨාධිකරණයට, ව්‍යවස්ථානුකුලව සම්මත නොවුණු 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එහෙත් සම්මත යැයි ව්‍යවස්ථානුකුලව පිළිගැනීමට සිදුවූ අවස්ථාවත් දැනුත් අතර නීතිමය පරිසරයේ පැහැදිලි වෙනසක් ඇත. එනම් 2018 නඩු තීන්දුව දුන් වහාම 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතව්‍යවස්ථානුකුලව සම්මත වී නැති බව හෙළිවීමයි. ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වීම සදහා අවස්ථාවෝචිත සහතිකය වන්නේ ජනාධිපති සහතිකය මිස කථානායක සහතිකය නොවන බව හෙලිවිමයි. එම හෙළිවීමෙන් පසු එම හෙළිවීමට අනුව කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකි මෙන්ම අයිතිවාසිකමක්ද යුතුකමක්ද ඇත්තේය.

මෙය වැරදිකරුවකු නඩු තීන්දුව ලැබෙන තුරු නිවැරදිකරුවකු යැයි පිළිගෙන උසාවිය කටයුතු කිරීමත් තීන්දුවෙන් පසු වැරදිකරු වැරදි කරුවකු ලෙස සැලකීමත් යන කාරණයට යම් සමාන කමක් දක්වයි.

එම නිසා 2018 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් හෙළි වූ පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුල ජනමතවිචාරණයකින් පමණක් සම්මත කල හැකි විධානයක් ඇති බැවින් හා එම විධානය ඇතුලත්වන්නේනම් ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කිරීමකින් තොරව සම්මත කල නොහැකියැයි 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වෙන නිසා, ජනමතවිචාරණයකින් සම්මත වී නැති බැවින් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවම ව්‍යවස්ථානුකුලව සම්මත වී නැති බවත් නීතියක් නොවන බවත් පිළිගැනීමට අධිකරණය ඇතුළු සියලු පාර්ශ්චව බැඳී සිටි.

මෙනිසා ශ්‍රේෂ්ඨාධිකරණය එක් වරක් ව්‍යවස්ථානුකුලව සම්මත කර ඇතැයි සැලකූ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථානුකුලව සම්මත කර නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් පිලිගත හැකිය.

(ඈ) 2015 සිට මේ දක්වා නිතිය බවට පත්වී නැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නිතිය ලෙස සලකා බොහෝ කටයුතු සිදු කර ඇති බැවින් එය සම්මත වී ඇතැයි සැලකිය නොහැක.

ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ප්‍රතිපාදන කිසිවක, බොහෝ කාලයක් තිස්සේ භාවිතා කිරීමෙන් හෝ බොහෝ කටයුතු සිදු කිරීමෙන් හෝ ව්‍යවස්ථාව සංශෝධනය කල හැකියැයි දක්වා නැත.

ඊට අමතරව, 78 ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන් කර ඇත්තේ ව්‍යවස්ථාව වෙනස් කිරීම ව්‍යවස්ථාවට අනුව කල යුතු බවයි. එස්ම 123 වන ව්‍යවස්ථාවෙහි, පනතක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි ආකාරයට හැර වෙනත් ආකාරයකට සම්මත නොකළ යුතුයැයි දක්වා ඇත.

84 ව්‍යවස්ථාවට අනුව, ව්‍යවස්ථාවට අනනුකුල පනතක් වුවද ව්‍යවස්ථානුකුලව සම්මත කල හැකි වුවද එහි විශේෂයෙන් සදහන් වනුයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා වන පනත් එසේ කල නොහැකි බවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා වන පනතක් බැවින් 84 ව්‍යවස්ථාව එයට අදාළ නොවේ. එනමුදු 84 වන ව්‍යවස්ථාවේ අන්තර්ගත මුලධර්මයක් ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීම ඉතා බරපතල මෙන්ම නියමානුකූලවම සිදු කල යුතු කාර්යයක් යන බව සැලකිල්ලට ගත හැකිය.

(ඉ) 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2015 වසරේ දී ලබාදුන් තීරණයේ ජනමතවිචාරණයක අවශ්‍යතාවය සදහන් නොවීම.

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ දෙකක් ඇත. 2015 තීරණය ඉන් එකක් වන අතර 2002 තීරණය අනෙක වේ. 2015 තීරණයේ නොව ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිමේ බලතල අහිමි කිරීම මත ජනමතවිචාරණයකට යා යුතු බව සදහන් වන්නේ 2002 තීරණයේය.

විශේෂයෙන් 2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීමේදී සැලකිල්ලට ගත් කාරණා 16 ක් නම් කොට ඇති අතර එම කාරණා 16 ට 2002 තීරණය දීමේදී සැලකිල්ලට ගත්, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිමේ බලතල යන කාරණය ඇතුලත් වී නැත.

2015 වන විට ශ්‍රේෂ්ඨාධිකරණය 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි ඇතුලත් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිමේ බලතල යන කාරණය සහ එම විධිවිධාන සම්බන්ධයෙන් තීරණයක් දී ඇති බැවින් හා එම තීරණය අවලංගු වීමක් හෝ වෙනස් වීමක් හෝ එතෙක් සිදු වී නැති බැවින් එම කරුණ ගැන නැවතත් සාකච්චා කර නැති බව වටහා ගත හැක.

එසේම 2002 දී අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු වරු සත් දෙනකුගේ තීරණය අභිභවා යෑමට 2015 දී අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු වරුන් තුන් දෙනෙකුගේ මඩුල්ලකට හැකියාවක් නැති බවද තේරුම් කර ගත හැකිය.

මේ අනුව ගන්නා කල 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීමේදී 2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හා 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ දෙකම මිස ඉන් එකක් පමණක් සැලකිල්ලට ගැනීමට නිත්‍යානුකුල හෝ ව්‍යවස්ථානුකුල හෝ හේතුවක් නැත.

(ඊ) 2002 වසරේදී සහ 2015 වසරේදී පාර්ලිමේන්තුව විසින් හා නීතිපති විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පනත් දෙකක් නොව එක පනතක් බව

12 වන ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැත. එනමුදු 13 වන ව්‍යවස්ථා සංශෝධනයක් ඇත. එයට හේතුව ව්‍යවස්ථා සංශෝධන අංකනයේදී පාර්ලිමේන්තුව දැක්වූ සම්ප්‍රදායයි. 12 වන සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කල විට යම් කිසි හේතුවක් නිසා එය සම්මත කල නොහැකි විය. නමුත් ඉන්පසු ගෙන එන සංශෝධන කෙටුම්පත් 12 වන සංශෝධන කෙටුම්පත් ලෙස නම් කලේ නම් ජනතාවත්, අධිකරණයත් වෙනත් අදාළ ආයතනත් යම් කිසි පැටලවිමකට පත් වීමට ඉඩ ඇත. එම නිසා එම කෙටුම්පතම නැවත ගෙන එන්නේනම් මිස එකම නම කෙටුම්පත් දෙකකට දීමෙන් පාර්ලිමේන්තුව වැලකිණි.

මෙම පාර්ලිමේන්තු සම්ප්‍රදාය 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තෙක්ම ආරක්ෂා විනි. 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පනත දෙවරක් එකම නමින්ම පාර්ලිමේන්තුවටත්, මහජනතාවටත්, අධිකරණයටත් ඉදිරිපත් කලේ එම නිසාය. එකම නමින් ව්‍යවස්ථා සංශෝධන 2 කක් ගෙනවිත්, ජනතාවත්, අධිකරණයත් රවටා ජනතාවගේ පරමාධිපත්‍ය බලය වංචා කිරීමට පාර්ලිමේන්තුව උත්සාහ කල බවක් පිළිගත නොහැක. එවකට කථානායකව සිටි චමල් රාජපක්ෂ මහතා ඒ පිළිබඳව සාක්ෂි දරනු ඇති.

එමනිසා 2015 දී ඉදිරිපත් කරන ලද්දේ 2002 දී ඉදිරිපත් කල ව්‍යවස්ථා සංශෝධනයේම දිගුවක්ය. එම සංශෝධන කෙටුම්පතට අදාලව 2002 දී සලකා බැලු, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති බලතල සම්බන්ධ විධිවිධාන 2015 කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇති කරුණු 16 ට ඇතුලත් නොවීම මෙහිදී සැලකිල්ලට ගත යුතුය.

2015 දී ඉදිරිපත් කලේ වෙනත්ම පනතක් නම්, අමාත්‍ය මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සහ ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන්නේනම් එම වෙනත් පනත පාර්ලිමේන්තුවට 2015 දී ඉදිරිපත් කිරීමේදී 83 වන ව්‍යවස්ථාවට අනුව කටයුතු කල යුතුය. ඒ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී තිබුණු 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන විධි විධාන එම පනතේ අඩංගු වන බැවින්, 83 වන ව්‍යවස්ථාවට අනුව එවන් පනතක් සම්මත කිරීමට ජනමතවිචාරණයකට යා යුතු බැවින් අමාත්‍ය මණ්ඩලය එම පනත ඉදිරිපත් කරන විට ඒ බව පාර්ලිමේන්තුවට දැන්විය යුතුව තිබුනි. නමුත් අමාත්‍ය මණ්ඩලය එසේ දන්වා නොසිටියේ 2015 ඉදිරිපත් කල 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව වෙනස් කරන ලද 2002 දී ඉදිරිපත් කල 19 වන සංශෝධන කෙටුම්පතෙහිම දිගුවක් ලෙස පාර්ලිමේන්තුව විශ්වාස කල බැවිනි.

 (උ) 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුව ඉදිරිපත් කල 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, 2002 දී පාර්ලිමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට එම නමින්ම ඉදිරිපත් කල  19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හා එකිනෙකට සම්බන්ධයක් නැති, එමෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිද දමමින්, ජනතාවත් අධිකරණයත් අපහසුතාවයට පත් කරමින් ඉදිරිපත් කල වෙනස්ම පනතක්ම වුවද එය සම්මත කිරීමට ජනමතවිචරණයකින් ජනතාව අනුමත කළහොත් මිස නොහැක.

යම් කිසි හේතුවක් නිසා ජනතාවත් අධිකරණයත් අපහසු තාවයට පත් වන සේ, එතෙක් පැවති පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩමින් පාර්ලිමේන්තුව එකිනෙකට සම්බන්ධයක් නැති  පනත් කෙටුම්පත් දෙකකට එකම නම යෙදුවා යැයි අහේතුකව හෝ පිළිගැනීමට බල කිරීමක් සිදුවුවත්, 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මග හැරීමට 78, 123 සහ 83 ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවට ව්‍යවස්ථානුකුලව නොහැක.

83 වන ව්‍යවස්ථාවට අනුව යම්කිසි පනතක යම්කිසි විධිවිධානයක් 3 වන ව්‍යවස්ථාවට අනුකූල නොවන්නේනම් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 චන්දයකින් අනුමත වී ඉන්පසු ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කල යුතුය. ඒ බව ජනාධිපති සිය අත්සන සහිතව සහතික කලවිට එය නිතිය බවට පත්වේ. ඒ අනුව 2015 ඉදිරිපත් කල  19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන විධිවිධාන අඩංගු වූ බැවින් (මේ බව 2018 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පැහැදිලි විය), ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කරන තුරු එය සම්මත නොවේ. එම නිසා එම පදනමින්ද 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථානුකුලව සම්මත වී හෝ නිතිය බවට පත්වී හෝ නොමැත.

78 ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාව වෙනස් කිරීම ව්‍යවස්ථාවට අනුව කල යුතු බැවින් 83 වන ව්‍යවස්ථාවට අනනුකුලව පනතක් හෝ විධිවිධානයක් සම්මත කල නොහැක. එස්ම 123 වන ව්‍යවස්ථාවෙහි, පනතක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි ආකාරයට හැර වෙනත් ආකාරයකට සම්මත නොකළ යුතුයැයි දක්වා ඇත. එම නිසා 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වනසේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති බලතල අහිමි කරන විධිවිධාන සහිත පනතක් ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කර සම්මත කල යුතු යැයි 2002 වසරේ දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඒ වන විටත් බලාත්මක බැවින් 2015 දී ඉදිරිපත් කල පනත තනිවම ගෙන සැලකුවද එය ජනමතවිචාරණයකින් තොරව සම්මත කල නොහැක.

(ඌ)  19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට 2015 දී ඉදිරිපත් කරන ලද්දේ 2002 දී ශ්‍රේස්ෂ්ඨාධිකරණ තීරණය පිළිපදිමින් 3 වන ව්‍යවස්ථාවට අනුකුලව සංශෝධනය කල පසුවයැයි යන විශ්වාශයෙන් යුතුව නම් හා කථානායක අත්සන් කලේ එම විශ්වාශය ඇතුවනම් වුවද, එසේ තැබූ කථානායක අත්සන වලංගු නොවන අතර එම කෙටුම්පත ජනමතවිචාරණයකින් තොරව සම්මත වන්නේද නැත.

පනත් කෙටුම්පතක අන්තර්ගතය සහ ව්‍යවස්ථාව අර්ථ දැක්වීම සිදු කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බැවින් පාර්ලිමේන්තුව හා කථානායක දරන මතය නොව බලපවත්වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි. 2018 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින්  3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව පැහැදිලි වී ඇති බැවින් පාර්ලිමේන්තුව ඊට වෙනස් අකාරයකට විශ්වාශ කර තිබුනද එම විශ්වාශය වලංගු නොවේ.

ඊට අමතරව, පනතක් සම්මත කිරීමේදී පාර්ලිමේන්තුව වැරදි පිළිවෙතක් අනුගමනය කලද එම වැරදි පිළිවෙත අනුගමනය කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේත්, කතානයකගේත් සහ පාර්ලිමේන්තුවේත් නොදැනුවත්කම නිසා නම් එම ව්‍යවස්ථානුකුල නොවන පිළිවෙතෙන් එම පනත සම්මත වන්නේයැයි ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැත.

ඉහත 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන විධිවිධානය 2015 කෙටුම්පතෙහි තිබියදීම එය ජනමතවිචාරණයකට යායුතු පනතක් ලෙස අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට නොදැන්වුයේ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකුලව කටයුතු නොකිරීමට නොව, අමාත්‍ය මණ්ඩලයට ඒ සම්බන්ධව හෝ එම කෙටුම්පතෙහි අන්තර්ගතය පිළිබදව හෝ දැනුම නොතිබුන නිසා නම්, එම නොදැනුම ව්‍යවස්ථාව වෙනස් කිරීමට යොදා ගත නොහැක. එවන් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා නැත. නොදැනුම නිසා ගත් වැරදි ක්‍රියාමාර්ගයකින්, එනම් ජනමතවිචාරණයකට යායුතු 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචාරණයකට නොයා 79 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන සේ කථානායක අත්සන් තැබීමෙන්, සම්මත වන්නේ නැත.

(ඔ) ශ්‍රේෂ්ඨාධිකරණය  SC/FR/351/2018 හා ආශ්‍රිත නඩු විභාග කිරීමේ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව දැක්වූ අදහස

නීතිපති තුමා මෙම නඩුවේදී ප්‍රකාශ කර සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට 33(2) (ඇ) වගන්තිය එකතු කිරීම මගින් ජනාධිපතිතුමාට හිමි පාර්ලිමේන්තුව විසිරවිමේ බලතල තහවරු කරමින් ජනමතවිචාරණයකට යෑමේ අවශ්‍යතාවය ඉවත් කිරීම අදහස් කල බවයි.

එම ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කල යුතුයැයි නීතිපති තුමාත් නීතිපති දෙපාර්තමේන්තුවත් පිළිගන්නා බවයි. කෙසේ වතුදු එම 33(2) (ඇ) වගන්තිය එකතු කිරීමෙන් ජනාධිපති තුමාට හිමි බලතල ආරක්ෂා වී නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.

එසේනම් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට 33(2) (ඇ) වගන්තිය එකතු කිරීම මගින්, ජනාධිපතිතුමාට හිමි පාර්ලිමේන්තුව විසිරවිමේ බලතල තහවරු කරමින් ජනමතවිචාරණයකට යෑමේ අවශ්‍යතාවය ඉවත් වී නැති හෙයින්, 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීමට නීතිපති තුමාගේ පිළිගැනීමට අනුව ජනමතවිචාරණයක් අවශ්‍ය බව පැහැදිළිය.

(ඕ) ශ්‍රේෂ්ඨාධිකරණය 2002 දී සහ 2015 දී එකිනෙකට පරස්පර තීරණ දී ඇතැයිද එම නිසා 2015 තීන්දුවට අනුව පමණක් කටයුතු කිරීම නිවැරදියැයි මතයක් දැරීමේ සාවද්‍ය බව

2015 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දුන්නේ අග විනිසුරු ප්‍රමුඛ තුන්දෙනකුගේ විනිසුරු මඩුල්ලකිනි. 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දුන්නේ අග විනිසුරු ප්‍රමුඛ සත්දෙනුකුගේ විනිසුරු මඩුල්ලකිනි.

විනිසුරුවරු තුන්දෙනුකුගේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලකට විනිසුරුවරු සත්දෙනකුගේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක තීරණය අභිභවා තීරණ ගත හැකියැයි පිළිගත නොහැක. එසේම 2015 තීරණයේදී 2002  තීරණය බල රහිත කරන වගක් දක්වා නැත. ඒ අනුව 2002 සහ 2015 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අරභයා දුන් තීරණ දෙකම එක්ව සැලකීමේදී ඒවායේ එකිනෙකට පරස්පර බවක් ඇති නොවේ.

රටට ඇතිවියහැකි ඉහතින් දක්වා ඇති බරපතල හානිකර තත්වයන් ඇතිනොවීමට නම් අවනීතිය නිතිය කරමින් ව්‍යවස්ථානුකුලව සම්මත වී නැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත ලෙස සලකා කටයුතු කිරීමෙන් වලකින ලෙස ඔබතුමාගෙන් පුරවැසියකු ලෙස අප ඉල්ලා සිටින අතර ඒ නිවැරදි කිරීමට අනුව කටයුතු කිරීමට විධායකය දැනුවත් කිරීමද ඔබගේ යුතුකමක් හා වගකීමක් වන බවද දන්වා සිටිමි.

මෙහි සදහන් සියලු කරුණු අනුව නැවත වරක් මෙම පෙත්සමෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථානුකුලව තවම නීතියක් වී නැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් ලෙස සලකමින් කටයුතු කිරීමෙන් වලකින ලෙසට හා අනීතිය නීතිය ලෙස ගෙන කටයුතු කිරීමෙන් වලකින ලෙසට විධායකය දැනුවත් කරන ලෙසටයි.

එසේම ඔබ හා විධායකය මෙම නිවැරදි කිරීම නොකරන්නේනම් මෙම කාරණය සම්බන්ධව අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද මෙයින් දන්වා සිටිමි.

මෙයට

විශ්වාසී

හර්ෂ කුමාර් සුරියආරච්චි
(harshakumarsuri@hotmail.com)
423/8, සමගි මාවත, උඩහමුල්ල, නුගේගොඩ

One Response to “ශ්‍රී ලංකා වාසී ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරමින් නිතිය නිවැරදි ලෙස පිළිපැදීමට අවස්ථාව ලබා දෙන ලෙස නීතිපති තුමාගෙන් ඉල්ලීම.”

  1. Ratanapala Says:

    This is a million dollar write up. The people of Sri Lanka who have been told a million and more times that they are the ultimate power in Sri Lanka – Parmadhipathya – have been duped by all shades of parliamentarians and then by the exalted and untouchable judiciary. This shows that there is no law and order in Sri Lanka.

    I wonder whether there is anyone in Sri Lanka, let alone the Attorney General of the Sri Lanka Judiciary who can reply to the above article in an authoritative and meaningful manner to the People of Sri Lanka as to why they have not been consulted in making and adopting the 19th Amendment to the Constitution of Sri Lanka?

    The dissolution of the Sri Lanka Parliament in Nov 2019 was declared null and void by the Supreme Court based on the provisions of the 19th Amendment. If there was a change of government in November2019 and subsequently General Elections were held, Sri Lanka wouldn’t have witnessed the horrors of the Easter Sunday attacks as well as the difficulties now faced by the Gotabhaya Administration without an elected parliament!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress