ජාතික විභාගවල උත්තර පත‍්‍ර ඇගයීමට පෞද්ගලික පාසැල් ගුරුවරුන් කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධවයි.
Posted on June 16th, 2020

ලංකා ගුරු සේවා සංගමය ජනමාධ්‍ය නිවේදනයයි.

ගරු අධ්‍යාපන අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය
ඉසුරුපාය
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

ජාතික විභාගවල උත්තර පත‍්‍ර ඇගයීමට පෞද්ගලික පාසැල් ගුරුවරුන් කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධවයි


ඔබගේ අනුදැනුම හා උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව ජාතික ඇගයීම් ක‍්‍රියාවලිය සඳහා පෞද්ගලික හා ජාත්‍යන්තර යැයි කියාගන්නා පාසල් ගුරුවරුන් සහභාගී කර ගැනීමට ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරන ලංකා ගුරු සේවා සංගමය මෙම තීරණය වහා හකුලා ගන්නා ලෙසත් එසේ නොවන්නේ නම් සියලූම ගුරු හා විදුහල්පති සේවාවල සංගම් ඒකාබද්ධව වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව දැඩිව අවධාරණය කරමු.

02. ජනාධිපතිවරයා විසින් අධ්‍යාපනය සඳහා වූ කාර්ය සාධන බලකායක් පත්කර එහි සාමාජිකයන් ලෙස පෞද්ගලික පාසල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් නම් කිරීමත් එහි තවත් ඉදිරි පියවරක් ලෙස පෞද්ගලික හා ජාත්‍යන්තර යැයි කියාගන්නා පාසල්වල ගුරුවරුන්ට ජාතික ඇගයීම් ක‍්‍රියාවලියට කැඳවීමත් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණයට තැබූ තවත් ඉදිරි පියවරක් බව අපගේ විශ්වාසයයි.

03. විශේෂයෙන් මෙම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීම් සම්බන්ධව අඩුම තරමේ නියාමනයක් හෝ විධිමත් අධීක්ෂණයක් සිදු නොකරන අධ්‍යාපන අමාත්‍යංශය මෙවැනි තීරණවලට එළඹීමත් එය විභාග කොමසාරිස්වරයා ලවා මාධ්‍ය මගින් අදාල ගුරුවරුන් පිළිබඳව සහතික නිකුත් කිරීමත් තුළින් අධ්‍යාපන පෞද්ගලීකරණයට ආණ්ඩුවේ ඇති පටු උවමනාව රටට නිරාවරණය වී ඇත. මෙය එදා විපක්ෂය නියෝජනය කරමින් සයිටම් ගැටළුවේදී අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව සිදුකල ප‍්‍රකාශ අද කණපිට හරවමින් ආණ්ඩුව තම රෙදි මහ දවල් උනා දැමූ තවත් එක් අවස්ථාවක් ලෙස පෙන්වා දීම නිවැරදි ය.

04. තවද අපොස උසස් පෙළ, අපොස සාමාන්‍ය පෙළ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය යන ජාතික මට්ටමින් පැවැත්වෙන විභාග වල උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා රජයේ ගුරුවරුන් කැඳවීමේදී විභාග දෙපාර්තමේන්තුව රජයේ ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඉගැන්වීමේ පළපුරුද්ද මෙන්ම ඇගයීම් සඳහා වන පළපුරුද්ද විධිමත්ව සොයා බැලීමක් සිදු කරන අතර ඒ සඳහා සුදුසුකම් ලත් විශාල ගුරුවරුන් පිරිසක් අදාළ අවස්ථාව අහිමිව සිටින බවද විභාග කොමසාරිස්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය හොඳින් දන්නා කරුණකි.

05. එවන් පසුබිමක කිසිදු පදනමකින් තොරව පෞද්ගලික පාසල් ගුරුවරුන් ජාතික ඇගයීම් සඳහා සහභාගි කර ගැනීම සැබෑ අවශ්‍යතාවයක් මත නොව අධ්‍යාපන පෞද්ගලීකරණයට ගනුලැබූ තවත් ඉදිරි පියවරක් මිස අන් යමක් නොවන බව ද ඉතා පැහැදිලි කරුණකි.

එහෙයින් මෙම තීරණය වහා හකුලා ගන්නා ලෙසත් එසේ නොවන්නේ නම් අප පෙර සඳහන් කළ පරිදි සියලූ ගුරු සංගම් ඒකාබද්ධව වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට මොහොතකට හෝ පසුබට නොවන බව ලංකා ගුරු සේවා සංගමය නැවතත් අවධාරණය කරනු කැමැත්තෙමු.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress