දිසා අධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන නඩු තීන්දු, ලේඛනවල පරිවර්තන සිංහල භාෂාවෙන් ලබා දිය යුතුද? නියෝගය ජූලි 15ට කල් යයි….!
Posted on June 20th, 2020

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන,

දිසා අධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන නඩු තීන්දු සහ ලේඛනවල පරිවර්තන සිංහල භාෂාවෙන් ලබා දිය යුතුද? නියෝගය ජූලි 15 ට කල් යයි…!

කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති ගෙවල් කුලී නඩුවක එම නඩුව පවත්වාගෙන යාමට අධිකරණ බලය නොමැති බවට අධිකරණ සංවිධාන පනතේ 39වන වගන්තිය යටතේ මූලික විරෝධතාවයක් ගෙන ඇත.

එකී මූලික විරෝධතාවය සම්බන්ධයෙන් විමසීම ලිඛිත දේශන මගින් සිදුකළ අතර පැමිණිල්ලේ නීතිඥවරයා විසින් ලිඛිත දේශන සමග ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු සහ ඇතැම් ලිපි කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ලිඛිත දේශන සළකා බලා නඩුව පවත්වාගෙන යාමට අධිකරණ බලය නොමැති බවට වූ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් උත්තරය ගොනු කිරීමට දිසා අධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව විත්තිකරු විසින් හරස් පැමිණිල්ලක් සමග උත්තරය ගොනුකර ඇති අතර, පැමිණිල්ල වෙනුවෙන් ලිඛිත දේශන සමග නඩු වාර්තාවට ගොනුකර ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නඩු තීන්දු සහ ලිපි කිහිපයේ පරිවර්තන ‘පූර්ව නඩු විභාගයට’ පෙර සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.3 ව්‍යවස්ථාව සහ දිසා අධිකරණ කාර්ය පටිපාටිමය විධිවිධාන යටතේ ඉල්ලා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.3 ව්‍යවස්ථාව මෙසේය;

අධිකරණයක භාවිත වන භාෂාව නොදන්නා යම්කිසි විනිශ්චයකාරවරයකු ට ජූරි සභිකයකු ට හෝ යම්කිසි පාර්ශ්වයකට හෝ අයදුම්කරුවකුට නැතහොත් ඒ පාර්ශවය හෝ අයදුම්කරු නියෝජනය කිරීමට නීතියෙන් බලය ලබා ඇති යම්කිසි තැනැත්තෙකුට එම අධිකරණයේ සිදුවන කටයුතු වටහා ගැනීමටත් ඒ කටයුතු වලට සහභාගි වීමටත් හැකවන සේ රජය විසින් සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් සපයනු ලබන භාෂණ පරිවර්තන සහ පරිවර්තන ලබා ගැනීමටත් නඩු වාර්තාවකින් නීතිය අනුව ලබා ලබාගැනීමට හිමිකම ඇති කවර වූ කොටසක් නැතහොත් එහි පරිවර්තනයක් එම භාෂාවෙන් ලබා ගැනීමටත් හිමිකම ඇත්තේ ය .

සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට අදාල නියෝගය අප්‍රේල් 02වෙනි දිනට ලබා දීමට නියමිතව තිබූ අතර කෝවිඩ් -19 තත්ත්වය හේතුවෙන් පැවති ඇදිරි නීතිය හේතුවෙන් අප්‍රේල් 02 කැදවීමට තිබූ නඩු ජූනි 15 කැදවනු ලැබූ අතර එකී නියෝගය නැවත ජූලි 15වන දිනයට නියම කරන ලදී.

කොළඹ අංක 03 දිසා අධිකරණයේදී මෙම නීතිමය කරුණ සළකා බලයි.

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress