කොරෝනා දෙවැනි රැල්ල මඟහරින්න විදෙස්ගත අයගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවන්න
Posted on June 27th, 2020

උපුටා ගැන්ම  මව්බිම දැන්

කොරෝනා (කොවිඩ් – 19) වසංගතය නිසා මුළු ලොවම කැලඹී ගියේ පෙර නොවූ විරූ ලෙසිනි. ලෝක යුද්ධ දෙකක අත්දැකීම් සපිරි මුළු ලොවම අනිසි මරණ බියකින් සසල වූ හැටි හරි පුදුම සහගතය. චීනයේ වූහාන් නගරයෙන් මුල්ම කොරෝනා රෝගියා හමු වූ තැන සිට වයිරසය ලොව පුරා පැතිර යමින් වයිරසය පුද්ගලයන් 9,393,862කට මේ වන විට බෝවී ගොස් ඇත. ලොව පුරා මියගිය ගණන 480,587කි. වයිරසය වැලඳී සුවව නිවෙස් වෙත ගිය පිරිස 5,079,050කි. 

ශ්‍රී  ලංකාවේ 2001දෙනකුට මේ වයිරසය වැලඳී ඇත. සුව වූ ගණන 1562කි. මියගිය ගණන එකොළොස් දෙනකුට සීමා කිරීමේ කීර්තිය රජයටත්, ජනාධිපතිවරයාටත්, සෞඛ්‍ය බලධාරීන්ටත්, ආරක්ෂක අංශ ඇතුළු සියලු ජනතාවට හිමිවිය යුතුය. 

මෙම වයිරසය වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට බෝ නොවූයේ නම් කොරෝනා වයිරසය වැලඳුණ ශ්‍රී  ලාංකික පිරිස විශාල ලෙස පහළ අගයක පවතින බව කිවයුතු නැත.

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 898 දෙනෙක් මේ වයිරසයට ගොදුරු විය. ඔවුන්ගෙන් 790 දෙනකු මේ වන විට සුවය ලබා සිටිති. රෝහල්වල සිටින්නේ නාවික සෙබළුන් 108 දෙනකු පමණි. ඉකුත් දින පහක කාලයේ සිට නාවික හමුදා පොකුරෙන් අලුතින් එකදු රෝගියෙක් හෝ හමු නොවීමද සතුටට හා සැනසුමට කාරණයකි.

මේ වන විට කොරෝනා වයිරසය නිසි ලෙස පාලනය කළ රටවල් අතර ශ්‍රී  ලංකාව ප්‍රමුඛ තැනකට පත්ව සිටී.

ප්‍රශ්නය එය නොවේ. මේ වන විට විදෙස් ගතව සිට මෙරටට එන ශ්‍රී  ලාංකිකයන් අතුරින් කොරෝනා රෝගීන් රටට එකතුවීමට පටන්ගෙන තිබීමය. විදෙස්ගත ශ්‍රී  ලාංකිකයන් ගණන ලක්ෂ දහසයකට වැඩිය. ඔවුන්ගෙන් හතළිස් දහසක් පමණ පිරිසක් මෙරටට යළි ඒමට අවශ්‍ය බව ප්‍රකාශ කළේ කොරෝනා වයිරසය චීනයේ වූහාන් නගරයෙන් මතු වී පැතිර යන මුල් සති කිහිපයේ සිටය.

මේ වන විට විදේශ රටවල්වල සිටි ශ්‍රී  ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් මෙරටට ගෙන්වා ගෙන ඇත. එසේ ගෙන්වා ගත් ශ්‍රී  ලාංකිකයන්ගෙන් හත්සිය අනූවකට මෙම වයිරසය ආසාදනය වී තිබීම බරපතළ තත්ත්වයකි. මේ අතර මෙරටට පැමිණි විදේශිකයන් තිහකටද වයිරසය ආසාදනය වී තිබේ. 

කොරෝනා වයිරසය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධව ලොව සතර දෙසින් පැසසුම් ලැබුණේ හේතු ඇතුවය. මෙවැනි මාරාන්තික වයිරසයක් නිසි ලෙස කළමනාකරණය නොකළේ නම් අපට අත්වන ඉරණම පිළිබඳ සිතාගත නොහැකි තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබිණි.

දැන් අලුත්ම ප්‍රශ්නය වී ඇත්තේ විදේශ රටවල සිට යළි මෙරටට ගෙන්වා ගන්නා ශ්‍රී  ලාංකිකයන් අතර සිටින අය අතර මෙම වයිරස ආසාදිත වූවන් හමුවීමය. ආගමික නායකයන්, විද්වතුන්, වෛද්‍යවරු, සිවිල් සමාජ ක්‍රියාකාරින් මෙන්ම දේශපාලනඥයන්ද මේ තත්ත්වය පිළිබඳ වඩාත් අවධානය යොමුකර ඇත්තේ වයිරසය යළි සමාජගත වීමට ඇති ඉඩකඩ පිළිබඳ සැක මතු කරමිනි.

ඇත්තටම විදේශ රටවල සිට එන අයගෙන් යළි මෙම මාරාන්තික කොරෝනා වයිරසය අපේ සමාජය තුළ පැතිර ගියහොත් කුමක් කරන්නද? මුල සිටම රට යළි අවුල් විය නොහැකිද? චීනයේ වූහාන් නගරයේ වයිරසය ආසාදිත වූ අයකු හමුවන විටත් ඒ ආසාදිතයා වයිරස පොකුරු පිටින් බෝකර දමා තිබිණි. ශ්‍රී  ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා රෝගී කත චීන කාන්තාවකි. රටේ වාසනාවට ඇය වසංගත රෝගී පොකුරක් හදා තිබුණේ නැත. පසුව හමුවූ පළමු ශ්‍රී  ලාංකික කොරෝනා රෝගියා ටුවරිස් ගයිඩ්ය. ඔහු යම් පමණකට පොකුරක් හදා තිබිණි. ඉන් පසුව රට පුරා වයිරසය පැතිර ගිය හැටි හොයන්නට ලෙහෙසි නොවූයේ ඇතැමුන්ගේ නොමනා හැසිරීම් මැදය. අන්තිමට ජාඇළ තුඩැල්ල ප්‍රදේශයේ මත්කුඩුවලට ඇබ්බැහි වූවන් කිහිප දෙනකු හරහා වැලිසර නාවික හමුදා කඳවුරට මෙම වයිරසය බෝකර හැරියේ රටම අඳුරකට හෙළමිනි. රට පුරා පාසල්, පන්සල්වල ‍ෙදාර වැසිණි. ලොකු කුඩා කොයි කවුරුත් නිවාස අඩස්සියට පත්විය. ආහාර පාන පිළිබඳ ප්‍රශ්න නැඟිණි. රටේ පාලකයන්ගේ සැලසුම් සහගත වැඩසටහන් නොවන්නට බඩගින්නේ මියැදෙන මිනිසුන් පිරි පරිසරයක් නිර්මාණය වන්නට ඉඩ තිබිණි. රැකියා සහ ආදායම් අහිමි වූවන්ට රුපියල් 5000ක දීමනා ලැබිණි. මාස දෙකක් පුරා ඒ දීමනාව ලබාදීම අගේ කළයුතු හා වැදගත් තීරණයකි.

එහෙත් දැන් ප්‍රශ්නය වී ඇත්තේ විදෙස්ගත ශ්‍රී  ලාංකික පිරිස ගෙන්වා ගැනීමය. මේ අය අපේම ඥාති හිතමිත්‍රාදීන් බව සැබවි. ඔවුන් යළි මෙරටට ගෙන්වා ගැනීම පාලකයන්ගේ වගකීමක් යැයි කීමද පිළිගත යුතු දෙයකි.

එහෙත් දැන් රට සාමාන්‍යකරණයට ලක් කරමින් තිබෙන මොහොතකි. කොරෝනා මාරයා පරාජයට පත් කළ ශ්‍රී  ලාංකික අප සැනසුම් සුසුමක් ගන්නට පටන් ගත්තා පමණකි. කර්මාන්තශාලාවල වැඩ යළි අරඹමින් තිබෙන මොහොතක, මිනිසුන් එදිනෙදා වැඩ කටයුතු අරඹමින් බලාපොරොත්තු සහගතව සිටින මොහොතක යළි වයිරසය සමාජයට ගලා ගියහොත් සියල්ල සුන් වී යනු නිසැකය.

එනිසා විදේශ රටවල සිට යළි මෙරටට ඒමට සිටින අය ගෙන්වා ගැනීම පිළිබඳ යළි යළිත් කල්පනා කර බැලීම වගකිව යුත්තන්ගේ වගකීමකි. මේ වන විට එය සමාජ කතිකාවක් බවට පෙරළී ගොසිනි. හෙට අනිද්දා වන විට පාසල් ආරම්භ කිරීම රජයේ ඉලක්කය. රටේ අනාගත පරපුර ඇඟිලි ගණිමින් බලා සිටින්නේ පාසල් යළි ආරම්භ වන තෙක්ය. මාස ගණනක් තිස්සේ නිවෙසට වී සිටි දූ පුතුන්ගේ හෙට දවස තීන්දු වන නිමේෂයද මෙයය. එහෙන් මහ මැතිවරණයය.

මේ අල්ලපනැල්ලේ මෙරටින් අතුගා දැමූ කොරෝනා වයිරසය විදේශ රටවල සිට එන අයගෙන් යළි සමාජයට ගියහොත් සිදුවන්නේ රෑ වැටුණු වළේ දවාලේ වැටීමකි. එනිසා විදෙස්ගත ශ්‍රී  ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමට ගත් තීරණය යළි සලකා බැලීම අතිශය වැදගත්ය. 

එනිසා විදේශ රටවලට ගොස් යළි පෙරළා ඒමට බලා සිටින අපේ ඥාති හිතමිත්‍රාදීන් මවුබිම පිළිබඳ වගකීමෙන් කල්පනා කළ යුතුය. මේ රට අපේය. අප ඉපදුණ රටය. මුතුන් මිත්තන් ජීවත් වූ බිමය. අපේ අනාගත පරපුර ජීවත් වන බිමය. එනිසා ශ්‍රී  ලාංකික අප මුලින්ම කල්පනා කළ යුත්තේ රට ගැනය. රටේ දූ පුතුන්ගේ හෙට ගැනය. එනිසා විදේශගත ශ්‍රී  ලාංකිකයන්ට වයිරස  අවදානම සමඟ යළි මෙරටට විත් රට විපතට හෙළනවාද නැද්ද යන්න ඔවුන්ම තීරණය කළ යුතු බව අපගේ වැටහීමය.

එතෙර පිරිස් ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවීම මේ වෙලාවේ අතිශයින් වැදගත්

මිතුරු මිතුරෝ මත්ද්‍රව්‍ය නිවාරණ සංසදයේ අධ්‍යක්ෂ කුප්පියාවත්තේ බෝධානන්ද හිමි

කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලකට තිබෙන ඉඩකඩ ඇහිරී ඇති බවත් එතෙර සිට පිරිස් මෙහි ගෙන්වීම තාවකාලිව අත්හිටුවීම මේ වෙලාවේ අතිශයින් වැදගත්.

මෙහි පැමිණෙන සියලු දෙනා සම්බන්ධ වගකීම් අදාළ රටවල දූත මණ්ඩල කාර්යාල අධීක්ෂණය යටතේ එම රටවල පිළිගත් සෞඛ්‍ය පරීක්ෂණ තුළින් සහතික වූවොත් පමණක් සිදුවිය යුතුයි.

එම රටවලදීම සියලු නිරෝධායනයන් හා පී.සී.ආර්. පරීක්ෂණ කර වයිරසය ආසාදිත වී නොමැති බවට ස්ථීර සහතිකයක් නොමැතිව සීමා විරහිතව ඔවුන් මෙරටට රැගෙන ආවොත් අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකියි. 

මෙහි පැමිණෙන අත්‍යවශ්‍යම අයට වුවද එවැනි ක්‍රමවේදයකට අනුගතව මෙහි පැමිණීම අනිවාර්යය කළයුතුයි.

සියල්ල සිදුවිය යුත්තේ මෙරට සෞඛ්‍ය අංශවලට මුහුණ දිය හැකි නම් පමණයි. නිරෝධායනය සඳහා වුවද මෙවැනි පිරිස් පැමිණීමේදී කළයුතු නව සැලසුම් කල්පනා කළයුතු බැවින් ඒ පිළිබඳ සිතීමටද කාලය වැය කළ යුතුයි.

විදේශගතව සිටින අපේ ශ්‍රී  ලාංකිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හා ජීවිතාරක්ෂාව සම්බන්ධ එම රටවල තානාපති කාර්යාල යළි දැනුවත් කර ඔවුන්ගේ ආරක්ෂාව තවත් සුරක්ෂිත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.” 

‍ෙදාරගුළු ඇරීම කළ යුත්තේ සීරු මාරුවට

ඇල්ලේ ගුණවංශ හිමි

විදෙස්ගත ශ්‍රී  ලාංකිකයන් යළි මෙරටට ඒමට පෙර අපේ රටේ තත්ත්වය ගැන කල්පනා කළ යුතුයි. යළිත් මේ රට කොරෝනා වසංගතයට ගොදුරු නොකිරීම මේ කාගේත් වගකීම. ඒනිසා මේ මොහොතේ යළි මෙරටට ඒමට සිටින ශ්‍රී  ලාංකිකයන් ඒ ගැන කල්පනා කිරීම ඉතා වැදගත්. මේ මොහොතේ අපි කළ කැපකිරීම විදේශවල සිටින අයත් කළ යුතුයි. 

විදෙස්ගතව සිටින අපේ ශ්‍රී  ලාංකිකයන් පිළිබඳ සොයා බැලිය යුතුයි. ඒ අය මෙරටට ගෙන ඒම කළ යුත්තේ ඉතා පරිස්සමින්. මෙහි එන්න උත්සාහ කරන ඇතැම් අය එන්නේ වසංගත තර්ජනයම නිසා නොවෙයි. අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණය, ඒ අයට කෑම බීම, ගමන් පහසුකම් හා බෙහෙත් හේත් ලබාදීම සුළුපටු නෑ. එනිසා අපේ රටට ඇත්තටම ආදරේ නම් මේ අය ඒ ගැන කල්පනා කළ යුතුයි. පැතිරයාම වළක්වා තිබෙන මොහොතක රටේ ‍ෙදාරගුළු ඇරීම කළ යුත්තේ සීරුමාරුවට. නැත්නම් අප කළ කැපකිරීම් සියල්ල විනාශ වී යළි රට අනතුරට පත්විය හැකියි.”

විදෙස්ගත අයට ඔවුන් සිටින රටවලම රැකවරණය සලසා ගත හැකියි

අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා

මේ මොහොතේ තම උපන් මවුබිමට කවුරු හරි එන්න හිතනවා නම් එය වගකීමෙන් කළ යුත්තක්. නොමැති නම් මේ විදෙස්ගත අයට ඔවුන් රැඳී සිටින රටවලම රැකවරණය සලසාගත හැකියි. පහසුකම් සපිරි රටවල සිටින අයට ඒ පහසුකම් යටතේ මේ වසංගතයෙන් ආරක්ෂා විය හැකියි.

රටක් ලෙස අපි මේ වසංගතයෙන් රට මුදාගෙන තිබෙනවා. එනිසා යළිත් රට ප්‍රපාතයකට ඇද නොදමා මෙරට ජනතාව පමණක් නොව විදෙස්ගත ශ්‍රී  ලාංකිකයනුත් වගකීමෙන් කටයුතු කළ යුතුයි.”  

කොවිඩ් අනතුර තුරන් කරන තුරු විදෙස්ගත ශ්‍රී  ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව නැවැත්විය යුතුයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජේ‍යෂ්ඨ මහාචාර්ය

සම්පත් අමරතුංග

ඇත්තටම ලෝකයේ දියුණු නොදියුණු සියලු රටවල් දිහා බලපුවාහම ශ්‍රී  ලංකාව තමයි මේ කොවිඩ් තර්ජනය ඉහළම මට්ටමින් කළමනාකරණය කළ රටවල් අතරින් එකක්. කොවිඩ් තර්ජනය මෙරටට දැනෙන්නට පටන් ගත් මොහොතේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය නිවැරදිව කළමනාකරණය කිරීමට අවශ්‍ය සියලු තීන්දු තීරණ නියම වේලාවේදී ගැනීම තමයි මේ ජයග්‍රහණයට හේතු වුණේ.

ලෝකයේ බොහෝ රටවල් ඒ තීරණයට එනවිට ප්‍රමාද වැඩියි. අන්න ඒ නිසා තමයි ඔවුන්ට හරි ආකාරව කළමනාකරණය කරන්නට බැරිවුණේ. එහෙත් අපේ ජනාධිපතිවරයා මෙරටේ සෞඛ්‍ය අංශ, හමුදා, බුද්ධි අංශ, ඒ වගේම මේ පිළිබඳව විශේෂඥතාවක් දක්වන විද්වතුන් එකට ක්‍රියාත්මක කිරීමේ සාර්ථක මෙහෙයුමක් ආරම්භ කළා. ඒ මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට මේ වනවිට අපේ සමාජයෙන් අප්‍රේල් 30 වැනිදා සිට කිසිදු රෝගියකු වාර්තා වී නෑ.

නාවික හමුදා පොකුර මේ වනවිට නිවී යෑමේ උපරිමයට ළඟා වෙමින් තිබෙනවා. මේ සාර්ථක මෙහෙයුමේ ප්‍රතිඵලයක් විදිහට උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. වෛද්‍ය විද්‍යාලවල අවසන් වසර විභාග ජුනි 15 වැනිදා ඇරැඹුණා. අනිත් සරසවිවල විභාග ජුනි 22දා ඇරැඹුණා. 

කොවිඩ් නිසා කඩා වැටුණු ආර්ථිකය අමාරුවෙන් හෝ හිස ඔසවමින් පවතිනවා. රට සාමාන්‍යකරණය වීමේ සියලු මෙහෙයුම් අවදිවෙමින් පවතිද්දී රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව බලගැන්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒ වගේම රටේ අය – වැය තීන්දු කිරීමට ලැබෙන අවස්ථාව කොවිඩ් අනතුර නිසා කල්ගියා.

මේ සියලු බාධක ජයගත හැකි මාර්ගය පැහැදිලිව විවරව තිබියදී රටට කොවිඩ් අනතුර යළි එන්නට පුළුවන් එකම අනතුරුදායක ස්ථානය හැටියට කිව හැක්කේ එතෙර සිටින ශ්‍රී  ලාංකිකයන් මෙරටට වරින් වර ගෙන්වීමේ ක්‍රියාමාර්ගය අකමැත්තෙන් හෝ තාවකාලිකව අත්හිටුවන්නේ නම් මේ අවස්ථාවේ එය ඉතා ප්‍රඥාගෝචර තීරණයක් වනවා.

ඒ සියලු දෙනා අපේම සහෝදර සහෝදරියන් වුණත් යළිත් කොරෝනා දෙවැනි රැල්ලකට ඉඩකඩ විවර වුවහොත් මුළු රටම බලවත් අනතුරක ගිලෙන්නට හොඳටම ඉඩ තිබෙනවා. එසේ වුවහොත් රටේ ආර්ථිකය දරුවන්ගේ අනාගතය, සාමාන්‍ය ජන ජීවිතය බිඳවැටීම හරහා නැවත වතාවක් රට අස්ථාවර වීමට ඉඩ තිබෙනවා. 

එබැවින් දූරදර්ශීව කල්පනා කර බලා රටේ වගකිවයුත්තන් මුළුමනින්ම කොවිඩ් අනතුර රටින් තුරන් කරන තුරු විදෙස් ගත ශ්‍රී  ලාංකිකයන් හා විදේශිකයන් හා සංචාරකයන් මෙරටට ගෙන ඒම තාවකාලිකව අත්හිටුවන්නේ නම් එය දූරදර්ශී තීරණයක් වන බව මගේ අදහසයි.”

කොවිඩ් දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි නිසා විදෙස් රටවල සිටින අය ගෙන්වීම තාවලිකව ප්‍රමාද කරන්න

ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි

පළවැනියෙන්ම කියන්න ඕනේ කොවිඩ් – 19 වයිරසය අප සාර්ථකව පාලනය කළ රටක්. අපේ සම්පත් අඩුවුණත් අපි එම භයානක රෝගය පාලනය කළා.

ජනාධිපතිවරයා අවශ්‍ය වෙලාවට නියමිත පියවරයන් අරගත්තා. 

විශේෂයෙන්ම කියන්න ඕනේ නාවික හමුදාවෙන් වාර්තා වුණු රෝගී පොකුර ඉතා භයංකර සිද්ධියක්. එහෙත් අපේ සෞඛ්‍ය අංශ ඒ තත්ත්වයත් පාලනය කළා. විශේෂයෙන්ම අනිල් ජාසිංහ මහත්මයා පිළිබඳව මම ගෞරවයෙන් මතක් කරනවා.

ඉතින් මම ඉතා සද්භාවයෙන් කියන්නේ මේ සහෝදර සහෝදරියන් ගෙන්වීම තාවකාලිකව නැවැත්වීමෙන් අපේ රට කොවිඩ් – 19 දෙවැනි රැල්ලකට යෑම නවත්වන්න කියලායි. ඒ සහෝදර සහෝදරියන්ට මම කියන්නේ අපේ රට හොඳටම ආරක්ෂා වුණායින් පසු ඔබට ඔබේ මවු රටට පැමිණෙන්නට පුළුවන්.

ඉතින් මම රජයට කරන්න කැමැතියි යෝජනාවක්. පිට රටවල ඉන්න අපේ සහෝදර සහෝදරියන්ගේ ආරක්ෂාව අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා තානාපති කාර්යාලය හරහා තහවුරු කරන්න. ඔවුන්ට සහතිකයක් ලබාදෙන්න.

අපි ඒ සහෝදර සහෝදරියන් බලාගත යුතුයි. පහසුකම් සැලසිය යුතුයි. ඊට තානාපති කාර්යාල යොදාගෙන ඒ කටයුතු සම්පාදනය කළ හැකියි.

ඒ නිසා මේ විදේශවල සිටින සහෘදයින් ගෙන්වීම ටික කාලයකට ප්‍රමාද කරන්න. 

මොකද කොවිඩ් දෙවැනි රැල්ලක් ඇතිවුණොත් අපේ ආර්ථිකය විනාශ වෙලාම යයි. එය ඉතා භයංකරයි.

මම මේක කියන්නේ රටටත් අපේ පුරවැසියන්ටත් තිබෙන ගෞරවය නිසයි. මම මෙය සද්භාවයෙන් කියන්නේ පිටරටවල සිටින සහෘදවරුනි, අපේ රට මේ වසංගතයෙන් ආරක්ෂා කර ගන්න. නැතිනම් ඔබලාට මවුරටක් ඉතිරි වෙන එකක් නැහැ.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress