MCC ගිවිසුම පිළිබඳ සමාලෝචනය කළ කමිටුවෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)
Posted on June 28th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

MCC ගිවිසුම් පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් සතුටුදායක නොවන බැවින් ශ්‍රී ලංකාව MCC ගිවිසුම පිළිබඳව සලකා බැලිමට පෙර එම අත්දැකිම් වලින් ලැබිය හැකි පාඩම් මනාව වටහාගත යුතු බව අදාළ ගිවිසුම පිළිබඳ සමාලෝචනය කළ කමිටුව සඳහන් කරනවා.

කමිටු වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ‍ MCC හි මුඛ්‍ය පරමාර්ථයේ සඳහන් අරමුණු සාක්ෂාත් කරගැනීමට MCC ආධාර ලද බහුතරයක් රටවලට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

අමෙරිකාව් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමඟ පසුගිය රජය සමයේ අත්සන් කිරීමට යෝජිතව තිබූ එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සමාලෝචන වාර්තාවේ සදහන් ඇතැම් කරුණු පිළිබඳව හිරු ප්‍රවාත්ති තුලින් අප ඊයේ දිනයේ කරුණු වාර්තා කලා.

MCC යෝජනාවලිය ක්‍රියාත්මක වුවහොත් සෝෆා සහ ඇක්සා වැනි ගිවිසුම්වලට ඇතුළත්ව ශ්‍රී ලංකාව අමෙරිකානු යුද උපාය මාර්ගවල කොටස්කරුවෙකු බවට පත්වීමට ඉඩ ඇති බව කමිටුව විශේෂයෙන් සඳහන් කර තිබුණා.

අදාළ වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ එවක මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා 2018 වසරේ ඔක්තෝබර් මස 1දින සිට 5දින තෙක් අමෙරිකාවේ පැවැති සාකච්ජා සම්මුති රැස්විමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස පෙනි සිට ඇති අතර ඒ වන විට ව්‍යාපෘතියේ සියලු තින්දු තීරණ ගෙන අවසන් ව තිබු බවට ඔහු සඳහන් කල බවයි.

එමෙන්ම කමිටු වාර්තාවේ දැක්වෙන්නේ MCC හි මුඛ්‍ය පරමාර්ථයේ සඳහන් අරමුණු සාක්ෂාත් කරගැනීමට MCC ආධාර ලද බහුතරයක් රටවලට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

MCC ගිවිසුම ඔස්සේ දිළිඳුකම පිටුදැකීම නොව එයින් සිදුවන්නේ අමෙරිකානු සමාගම්වලට දුප්පත් රටවල් කොල්ලකෑමට පාර කැපීමක් බව කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය එමා මවුඩ්ස්ලි කමිටුවට අදහස් දක්වා තිබෙනවා.

කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පිලිප් මැක්මිචෙල්  උපුටා දක්වන කමිටු වාර්තාවේ සඳහන් වන්නේ MCC ගිවිසුම මගින් පළමුව ආණ්ඩුව මඟින් ඉඩම් නීති වෙනස් කරවා ගනිමින් ඉඩම් ඩැහැ ගැනීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කරගන්නා බවයි.

කැනඩාවේ ක්වීන්ස් සරසවියේ මහාචාර්ය සුසාන් සෝඩර්බර්ග් ට අනුව MCC ගිවිසුම යනු නව පන්නයේ අමෙරිකානු අධිරාජ්‍යවාදයක්.

නේපාලය MCC සංයුක්තයක් අත්සන් කළද එය පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කිරීමට නේපාලය මෙතෙක් අසමත් වී ඇත්තේ අමෙරිකාවේ ඉන්දු පැසිෆික් යුද මූල උපාය තුළ ඇතිවිය හැකි භූ දේශපාලනික අවධානමට MCC ක්‍රියාන්විතය දායක වීමට ඇති ඉඩ කඩ පිළිබඳ නේපාල පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තුළ උද්ගත වී ඇති මතගැටුම් හේතුවෙන්.

පිලිපීන ජනාධිපතිවරයා  මෑතකදී කළ ප්‍රකාශ තුළින් ගම්‍ය වන්නේ 2016දී අත්සන් කර ඇති දෙවැනි MCC ගිවිසුම පිළිබඳ පිලිපීනය තුළ ප්‍රසාදයක් නොමැති බවයි.

මේ කමිටු වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ MCC ගිවිසුම පිළිබඳ මෙතෙක් පවත්නා ජාත්‍යන්තර අත්දැකීම් සතුටුදායක හෝ සුභදායී නොවන බවයි.

එබැවින් ශ්‍රී ලංකාව විසින් MCC ගිවිසුම සළකා බැලීමට පෙර මෙම අත්දැකීම්වලින් ලැබිය හැකි පාඩම් මනාව උකහාගත යුතු බව වාර්තාවේ සඳහන්.

ප්‍රතිපාදන සහිතව MCC ගිවිසුම ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරගනු ලැබුවහොත්  එම ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත්වෙන බැවින් ඒ තුළින් රටතුළ උද්ගත විය හැකි සමාජ, සංස්කෘතික, දේශපාලනමය බලපෑම් සහ නීතිමය ව්‍යාකූලත්වය නොසලකා හැරිය නොහැකි බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

MCC ප්‍රධාන යෝජනාවලිය අත්සන් කළහොත් ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපයේ අමෙරිකානු භූ දේශපාලනික සිතියමට නිතැතින්ම ඇතුලත් වන බවත් භූ දේශපාලනික වට පිටාව සහ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම ජාත්‍යන්තර බල අරගලයකදී අදාළ තරඟකරුවන්ට වැදගත් වියහැකි බවත් යුද කඳවුරු ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම යන කාරණා ශ්‍රී ලංකාව විසින් නොසළකා හැරිය යුතු නොවන බවට වාර්තාවේ දැක්වෙනවා.

මෙම කරුණු එකින් එක වෙන් වෙන්ව සැලකූ විට අවධානමක් නොපෙනුනද මෙම කරුණු සියල්ල එක්ව ගත් කළ ඒවායේ ජාතික ආරක්ෂාවට හා දේශයේ ස්වෛරීත්වයට පවා තර්ජන එල්ල විය හැකි බවයි කමිටුව පෙන්වා දෙන්නේ.

මේ අතර, යෝජිත එම්.සී.සී. ගිවිසුමට අදාළ කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දී නොමැති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

ඔවුන්ගේ ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කරන්නේ ගිවිසුම ගැන අවසන් තීරණයක් ලැබෙන තෙක් ප්‍රදානයන් ලබාදීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි.

කෙසේ වෙතත්, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි නිලධාරීන්  පිරිසක් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයක් පිළිබඳව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ 2018 වසරේ ජුනි 13 වැනි දින පළ කළ ලිපියක දැක්වෙන්නේ කොළඹ දී එම්.සී.සී. ගිවිසුමට අදාළව ඩොලර් මිලියන 7.4ක මුදලක් 2017 වසරේ ජුලි මාසයේ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කර ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress