මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හා බැඳි ඉඩම් පරිහරණ සැලැස්ම –
Posted on June 30th, 2020

මතුගම සෙනෙවිරුවන්

පූර්විකාව –

                ලංකාවේ අතීත ඉඩම් භාවිතය සැමවිටම රජු හා සම්බන්ධ විය. රටේ භාරකරු වශයෙන් සහ පාලකයා වශයෙන් භූපති ලෙසට ඔහු හැඳින් වූ අතර රටේ සංවර්ධනය උදෙසා ඉඩම් යොදා ගැනීම සඳහා ගම් වසම හා බැඳි වැඩ පිළිවෙලක් විය. අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය රජ්‍ය සමය වන විට මෙරට ගම් සීමා කොට විධිමත් ක්‍රමයකට රජ්‍ය පාලනය පරිවර්තනය වූ ආකාරය ඉතිහාසයේ දැක්වෙයි. නමුත් මහාවංශයේ සඳහන් ලිඛිත ඉතිහාස යුගයට ප්‍රථම පැවති ආදී ජනාවාස ගැන සැළකිල්ල දැක්වීමේ දී ගිරිජනපද සංකල්පය මත ඉඩකඩම් පරිහරණය සිදුව තිබෙන බව දැක්විය හැකිය. කෙසේ වෙතත් දසගම් පරිපාලන ඒකකයක් මගින් පාලනය හැසිරවීම නිසා රජු ගේ සංවර්ධන සංකල්ප මත රටෙහි ඉදිරි ගමන සිදු විය. මහා පරාක්‍රමබාහු සමය වන විට රට සහලින් ස්වයංපෝෂිත වූයේ මෙම ශක්තිමත් පරිපාලන ක්‍රමයක් රටතුළ පිහිටා තිබීම නිසාය. සෙංකඩගල මහනුවර අවසාන රජ්‍ය සමය වන  විට මේ රටේ විශාල වශයෙන් විහාරගම් සහ දේවාලගම් ව්‍යාප්තව පැවතිණ . එම ගම්මාන සශ්‍රීක කරවනු වස් සහ එම විහාර දේවාලයන්හි රාජකාරි ඉටුකරලීම පිණිස නිල පංගු ඉඩම් වෙන්ව තිබුණි. ඒ ඇරුණු කොට රජුගේ රදළ පේරුවට වෙන් කළ බණ්ඩාරපංගු නින්දගම්ද පිහිටා තිබුණි. එම ගම්මාන වල සේවා  ඉටු කරලීමට  ගැමියන් හට රාජකාරි නියම කර තිබුණි.එසේම අතීතයේ සිට පැවති පරවේණි ඉඩම් රාශියක් රටපුරා පැතිර පැවතුණි. පොදු හේන් ඉඩම් කැලෑ ජල උල්පත් සහ වෙනත් පොදු ස්ථාන පරිහරණය කරලීමේ තහංචි ද සමාජයේ පැවතිණ. සන්නස් මගින් ඉඩ කඩම් පූජා කරලීමේ දී පවා මෙම පොදු භාවිතය ගැන සැළකිල්ලක් දක්වා තිබේ.

පරාධීන සමයේ ලංකාවේ ඉඩම් භාවිතය –

            කාලිංග මාඝ සහ සත් ද්‍රවිඩ සේනාවන් ගේ ආධිපත්‍ය මගින් වරින් වර රටේ පාලන බලය අත්පත් කරගත්තද මේ රටේ ඉඩම් පරිහරණ රටාවේ විශාල වෙනසක් ඇති නොවීය. එහෙත් උතුරේ යාපන අර්ධ ද්වීපයේ ඉඩම් භාවිතය කෙරෙහි යම් බලපෑමක් සිදුව තිබෙන ආකාරයද නිරීක්ෂණය කළ හැකිය. නමුත් පරංගීන් ගේ පැමිණීමෙන් පසු ඔවුන් රටේ යම් යම් භූමි ප්‍රදේශ අත් පත් කර ගැනීමෙන් මේ රටේ ඉඩම් භාවිතය ගැන පරිවර්තනයක් සිදු විය.ලංකාවේ රාජකාරි ක්‍රමය හා බැඳුණු ලේකම් මිටි ( හී ලේකම් මිටි කත්හාල් ලේකම් මිටි ) ආශ්‍රයෙන් පරංගීන් විසින් ඉඩම් තෝම්බු සකස් කරන ලද්දේය. ඒ පරංගි ආණ්ඩුවට සේවා කරලීම පිණිසය.මෙම තෝම්බු තවත් වැඩි දියුණු කරලීමෙන්  පසු ලන්දේසි ආණ්ඩුව තෝම්බු ලේඛන විධිමත් කර ඇත. වර්ෂ 1766 දී උඩරට රජු නිළමේ වරු සහ ලන්දේසි කොම්පඤ්ඤය සමග එළඹ ගත්  ගිවිසුමකින් (හඟුරන්කෙත ගිවිසුම)  ලංකාවේ ගව්වක පමණ තීරයක් අත් හරිනු ලැබිණ.මේ නිසා එම ඉඩම් තීරුව සඳහා වෙනම නීති සහ ඉඩම් පරිහරණ ක්‍රමයක් ඇති විය. විශේෂයෙන්ම මෙම ප්‍රදේශ වල( යාපන අර්ධ ද්වීපයේ ) සේවය පිණිස ඉන්දියාවේ මලබාරයෙන් ගෙනා වහලුන් සඳහා තේසවලාමෙයි නම් නීතියක් ක්‍රියාත්මක කරලීම ඇරඹිණ. මෙම නීති මලබාරයන් ගේ ස්වදෙශික ඉඩම් නීතිරීති මගින් සකස් කරන ලද්දක් විය.

      ලන්දේසි ආණ්ඩුව කොම්පැණියක් නොහොත් සමාගමක් වූයෙන් ඔවුන්ට ලැබෙන ආදායම මුදලින් ගණන් බැලීමක් කෙරුණී. ඒ නිසා ස්වදේශික ඉඩම් වලින් උපරිම ආදායම විශෙෂයෙන්ම කුරුඳු පුවක් ආදී ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස රාජකාරි ඉඩම් නිකුත් කරනු ලැබීය. එම ක්‍රමය මීට පෙර තිබූ රාජකාරි ක්‍රමයට වෙනස් වූවකි.මේ නිසා සිංහල වැසියන් අතර මුදල් භාවිතය ප්‍රචලිත වූ අතර 1796 දී ඉංග්‍රීසින් විසින් මෙරට මුහුදු බඩ පළාත් අත්පත් කරගත් විට ප්‍රකාශනයක් මගින් ලන්දේසි නීති පවත්වා ගෙන යෑමට එකඟතාවයක් ඇති කරගත්හ. ඉංග්‍රීසීන් ප්‍රථම වරට රාජකීය ආඥා මගින් ගැසට් පත්‍ර නිකුත් කරමින් මෙරටට සංක්‍රමණය වූ මුස්ලිම් ජන වර්ග වෙනුවෙන් ඉඩම් හා විවාහ නීති හඳුන්වා දුන්හ. (1806 මුස්ලිම් විවාහ හා දේපළ නීතිය ) 1815 දී උඩරට රජධානිය ගිවිසුමකින් පවරා දුන් පසුව රටේම නීතිය බවට පත් වූයේ ඉංග්‍රීසි නීතියයි.පෙර රජ දවස තිබූ චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීමට ඉංග්‍රීසි ආණ්ඩුව ගිවිස ගෙන තිබුණද කොල්බෘක් කැමරන් කොමසාරිස් වරු දෙදෙන විසින් සකස් කරන ලද වාර්තාවෙන් නිර්දේශ කරන ලද්දේ රටේ ඉඩම් භාවිතයට පදනම් වූ රාජකාරි ක්‍රම අවසන් කරන ලෙසටයි.

1840 වසරේ නිකුත් කරන ලද අනවසර ඉඩම් ආඥාව නිසා  මේ රටේ රාජකාරි ඉඩම් සම්බන්ධව බරපතල අර්බුදයක් ඇති විය.රාජකාරි සහිත ඉඩම් රාශියක් අයිතිය තහවුරු කර ගැනීමට නොහැකිව රාජසන්තක කරනු ලැබිණ. ඒවායේ රාජකාරිය නොසලකා හැරීමෙන් වාරිමාර්ග නඩත්තුව ඇණ හිටිණ. මේ නිසා වාර්ෂික ගංවතුරාවෙන් අමුණු වැව් රාශියක් කැඩී බිඳී ගිය අතර රටේ ආහාර නිෂ්පාදනය ද බිඳ වැටිණ.

 පාරම්පරික ඉඩම් කොල්ලකෑම පිණිස ගෙනා අණ පනත් –

1/ 1819 අංක 18 කන්ද උඩරට විහාරගම් ලියාපදිංචි කිරිමේ ආඥාව

2/ 1840 අංක 12 අනවසර ඉඩම් ආඥාව

3/ 1856 අංක 10 විහාර දේවාල ආඥාව

4/ 1870 අංක 04  සේවා භුක්ති ආඥාව   

5/ 1889අංක 03 බෞද්ධ විහාර ඉඩම් ආඥාව

6/ 1897අංක 01 මුඩු බිම් ආඥාව

7/ 1931 අංක19 බෞද්ධ විහාර දේවාල ගම් පනත

8/ 1931  ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත

9/ 1935 අංක 19 ඉඩම් ආඥා පනත

10/ 1950 අංක 50 ඉඩම්  පරවශ්‍යතාවය පනත

11/  1958 කුඹුරු පනත

12/ 1968 අංක 30  නින්දගම් ආඥා පනත

13/ 1970 අංක 02 මහවැලි පනත

14/ 1972 අංක 01 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත

15/ 1973 අංක 34 බෞද්ධ විහාර දේවාල ගම් පනත

16/ 1975 අංක 39 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත

17/ 1976 අංක 29 ජනවසම පනත

18/ 1979 අංක 23 මහවැලි අධීකාරි පනත

19/ 1979 අංක 07 රජයේ ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ පනත

20/ 1979 අංක43 ඉඩම් ප්‍රදාන( විශේෂ විධි විධාන පනත)

21/ 1998 ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත

ඉඩම් පනත් නිසා ඇති වූ ගැටළු කීපයක් –

1903 -1998 දක්වා ඉඩම් නිවුල් කිරීමේ ප්‍රතිඵල –

1903 දී ඉඩම් නිරවුල් කිරීම ආරම්භ කොට 1931 පනතකින් බලාත්මක කොට 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත ගෙන ඒ මෙන් පසු තත්ත්වය විග්‍රහ කළ හැක්කේ ඉඩම් මැනීම කට්ටි කිරීම වෙන්දේසි කිරීම ආදී ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙනි. ඉඩම් නිරවුල් කිරීමේ දී පළමුව ගමක් තෝරාගෙන එය වැසීමට ලක් කරති.එහිදී ගම් වැසියන් සතුව සන්නස් තුඩපත් සීට්ටු ආදිය තිබේ දැයි පරීක්ෂා කර බලති.ඒ අනුව ඉඩම් මැනීම කරන අතර අතැම් විට සන්නස් හෝ තුඩපත් පිළිගැනීමට නිරවුල් කිරීමේ නීලධාරීන් අකමැත්ත පළ කරති.එවැනි එක් උදාහරණයක් නම් දඹුල්ල විහාරගමට අයත් නොවූ කුඹුක්කඳන්වල නින්දගමයි.මෙම ගම මැනීමට ලක් කරන ලද්දේ හැටේ දශකයේ දීය. ඒ වන විට 1968 අංක 30 පනතින්  නින්දගම් අහෝසි කර තිබූ බැවින් මේ තුඩපත පිළිගැනීමට ලක් නොවිණ. කුඹුක්කඳන්වල තුඩපතේ විශේෂත්වය නම් එහි ගම් සීමා වෙන් කිරීමේ දී වනය වැව් රක්ෂිත සිද්ධස්ථාන අතහැර ලකුණු කර තිබීමයි. ඉඩම් නිරවුල් කිරීමේ දී මෙම ඓතිහාසික සම්ප්‍රදාය නොසලකා හැර තිබිණ. ඒ වෙනුවට රජයේ ඉඩම් දොළ පාරවල් ආදිය වෙන වෙනම ලකුණු කොට සමස්ත ගම පරිසර පද්ධතියෙන් වියුක්ත කොට තිබීමයි.. අවසානයේ 2014 වන විට ගම ගැසට් කරන විට අක්කර 1848 ක් පමණ වූ පරවේණී  ඉඩම් අතරින් කොටසක් ගැමියාගේ කැමැත්ත මත හෝ නැතිව ඉතා අඩු මුදලකට මිලදී ගත් සමාගම් කීපයක් එක ඉඩම් කටිටියක් වශයෙන් අවසාන ගැසට් නිවේදනයට ඇතුලත් කර තහවුරු කර ඇත. ඉන්පසු පෙර සාම්ප්‍රදායික වනයට අයත්ව තිබූ මහකපුයාය රක්ෂිතයේ තිබූ තපස් ලෙනක සෙල් ලිපියක් ග්‍රයින්ඩර කොට විනාශයටද ලක් කර ඇත.

          දෙවනි උදාහරණය නම් ලේනාවල තුඩපතේ ඇතුලත් පන්නම් පිටිය ගමයි. වලගම්බා රාජ්‍ය සමයේ දී අලුත්වැවේ මුදප්පු ගම්මහේ ගේ වැදි පරම්පරාවට දෙන ලද මේ ඉඩම් වැලමිටියාවේ නෙලුවේ වලව්වේ මුදියන්සේට රිදී හැටකට විකුණන ලද්දේ ලන්දේසි සමයේ දීය. එසේ ලියැවුණු තුඩපතෙන් අත්කර ගත් ඉඩම් සහ තවත් ඉඩම් සමග වැලමිටියාවේ පරම්පරාවේ ලේනාවල මොහොට්ටාල  විසින් භුක්ති විඳ එන අතර  ඔහු 1823 කහල්ල කැරැල්ල ට සාභාගි වීම නිසා රාජසන්තක කොට තිබුණි. ලේනාවල මොහොට්ටාල මුරුසියට පිටිවහල් කළද ඔහුගේ දරුවන් ඉංග්‍රීසි ආණ්ඩුවට පෙත්සම් ඉදිරිපත් කොට මේ ඉඩම් වලින් අක්කර 652 ක් නිදහස් කර ගැනීමට සමත්ව තිබේ.. එහෙත් නව සිය හැටේ දශකයේ දී ඉඩම් නිරවුල් කිරීමේ දී මේ අක්කර 652 තුළින් සන්තකයට වැටුණේ අක්කර 147 කි. ඉතිරිවා රජසන්තක කරනු ලැබිණ. මේ අක්කර 147 ද ලැබුණේ මුල් තීරණයට විරුද්ධව නඩු පැවරීමෙනි.අද වන විට මේ පන්නම්පිටිය ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සකස් කොට විවධ අයිතිකරුවන් සන්තක කොට ගෙන ඇත.

හුරුලු පළාතේ ඉඩම් –

         හුරුලු පළාතේ (අනුරාධපුර දස්ත්‍රික්කය ) කල්පේ කොරළයේ ඉඩම් රාශියක් හුරුලු විදානේට අයත්ය. ඒම ඉඩම් සෑම එකකටම ගම් වැව් පිහිටා තිබේ. කාලිංග මාඝ ආක්‍රමණ වලින් පසු සිංහල ජනතාව අවතැන් වීමෙන් ඒවා කැළයට යට විය. පසුව කීර්ති ශ්‍රී රාජසිංහ කාලයේ දී හුරුලු විදානේට පවරා තිබේ. මේ පැවරීමෙන් ඉඩම් වල සෑහෙන තරමේ  සිංහල ජනගහනයක් නැවත ඇති විය. නමුත් 1815 න් පසු ඉංග්‍රීසි රජයට අවශ්‍ය හරක් මස් සැපයීම පිණිස ඒ ඒ රදළ වරු නිලමේ වරු කටයුතු කිරීම නිසා එම ඉඩම් මඩකලපුවේ මට්ට ජන වර්ග  අතර බෙදා දී තිබේ. එවැනි ගමකි ආනඔලන්දාව. අද වන විට මෙලෙස මුස්ලිම් ගම් 11 ක් හොරෙව්පොතාන ආසනයේ දක්නට තිබේ ඒවා සියල්ලම ඓතිහාසික සිංහල ගම්මාන වශයෙන් හඳුනාගැනීම හැකි වන්නේ සෑම වැවක් කන්දක් අසබඩම තිබෙන පුරා වස්තු නිරීක්ෂණ කරලීමෙනි. මෙම පළාතේ තිබෙන සෑම කඳු පර්වතයකම කටාරම් ලෙන් හෝ ඓතිහිසාකි සිද්ධස්ථාන නටබුන් දක්නට ඇත. සංවර්ධන කටයුතු වලදී මේ කඳු පර්වත කැඩීමට බලපත්‍ර ලබා දීම මහත් ව්‍යසනයකි.එසේම අතැම් ස්ථාන වල තිබෙන පුරාවස්තු ඩෝසර කොට විවිධ වගාවන් කර ගැනීමට මුස්ලිම් ජනතාව උත්සාහ කර ඇත.

දඹුලු විහාර ඉඩම් සන්තකය –

මෙම විහාරයට වලගම්බා රජු විසින් පූජා කරන ලද ඉඩම් ප්‍රමාණය අක්කර 24000 ක් පමණ වේ. නමුත් අවසාන වශයෙන් අක්කර 12630 ක ඉඩම් ප්‍රමාණයක් මේ විහාරගමට අයත් වූයේ 1848 කැරැල්ලේ පසු අවදියේ දී ඉංග්‍රීසි රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.මෙම විහාරගම හරහා කුරුණැගල පොළෙන්නරු මහා මාර්ගය සහ  මාතලේ අනුරාධපුර මාර්ග ඉඳි වීමේ දී පළමුව ඉඩම් කීපයක් රජසන්තක කරන ලද අතර පසුව මේ හතරමංහන්දියේ රෝහල උසාවිය ආදිය තැනවීමට ද ඉඩම් අත්පත් කර ගන්නා ලදහ.මේ සියල්ල කරන ලද්දේ දඹුලු විහාරය ආසන්නයේ තිබූ පාදෙණිය ගමේ පැරණි වැව් ගොඩ කිරීමෙනි.දඹුලු විහාර සතු ඉඩම් වපසරිය තුළ  තිබූ බණ්ඩාරගම් පංගු කීපයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභා පණත යටතේද පවරා ගෙන ඇත.අද වන විට දඹුලු විහාරයට අයත් රාජකාරි නිල පංගු ක්‍රියාත්මක තත්ත්වයේ නොපැවතෙන අතර ඒවා පරිහරණය කරන්නන් මුදල් වාරික ලබා දීම පමණක් සිදු කරයි.දඹුලු විහාරගමට අයත්ව තිබූ නිකවටවන ගම අද සහමුලින්ම මුස්ලිම් ගමකි. එහි පැරණි නිලපංගු හිමිකරුවන් එම ඉඩම් මුස්ලිම් ජනයාට පැවරීමෙන් පසු විශාල මුස්ලිම් ජනගහනයක් ව්‍යාප්තව තිබේ.නමුත් එම මුස්ලිම් ජනයාගෙන් වර්තමානය වන විට විහාරගමට රාජකාරියක් සිදු නොවේ.

දළදා මාළිගයේ ඉඩම් –

            දන්ත ධාතූන් වහන්සේ සෙංකඩගල මහනුවරට වැඩම කොට ඓතිහාසික දළදා මාළීගයේ තැන්පත් කළ විමලධර්ම සූරිය රජු දළදා පූජාවට සහ නොයෙකුත් තේවාවන් සඳහා ඉඩ කඩම් පූජා කරමින් සත්කාර කර තිබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මේ ඉඩම් පරිහරණ රටාවට විශේෂ දෑ රාශියක් එකතු කර තිබේ.ඒ අනුව දළදා මාළිගය සතුව ඉඩම් අක්කර 12000 ක් පමණ දැනට ඉතිරිව ඇතැයි ගණන් බලා තිබේ. ඒවා මහනුවර මාතලේ කෑගල්ල කුරුණෑගල දඹදෙණීය ආදී පළාත් වල විසිරී පවතින ඉඩම්ය. ඉංග්‍රීසින් ගේ අණපනත් නිසා මේ ඉඩම් වලින් කොටසක් රාජ සන්තක වූ අතර ඉඩම් නිරවුල් කිරීමේ ආඥ පනත පැමිණි පසු ඒවායේ සේවා නිලපංගු වල අන්‍ය ජන වර්ග පදිංචි වීම නිසා සේවාවන් හෝ මුදල් ගෙවීම පැහැර හරින තත්ත්වයකට පත්ව ඇත. පේරාදෙණීයේ ඒ දඬුවාවගම රජකාරි නිල පංගු ලේඛනයට ඇතුලත්ය..නමුත් මෙම ඉඩම එම ප්‍රදේශයේ දේශපාලඥයෙකු විසින් අත්පත්  කරගෙන කුඹුරු ඉඩම් ගොඩ කර වාහන සේල් ආයතනයක් පවත්වාගෙන යයි. ඒවාට අලුතින් ඔප්පු තිරප්පු හදා ඇත. එසේම මාතලේ කොහොඹිලිවල මාර්ගයක් තැනවීමට දළදා මාළිගයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත. වන්දි ගෙවීමක් සිදු කර නොමැත. මේ තත්ත්වය කොමසාරිස්( විහාරගම් රෙජිස්ටරය ) පොතෙන් උපුටා දැක්වීමට දළදා මාළිගයේ නීති අංශය කටයුතු කළද උසාවිය විසින් පිළිගනු ලබන්නේ  වත්මන් ඔප්පු තිරප්පු ආදියයි.මේ අන්දමට ආරවුල් සහිත ඉඩම් අක්කර දහදාහක් පමණ පවතින බව මාළිගයේ ලේකම් කාර්යාලය දක්වයි. දළදා පොරහැර අවසානයේ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන සංදේශ වලින් මෙම ගැටළුකාරී තත්ත්වය දිගින් දිගටම දක්වා ඇත ද කිසිම විසදුමක් මේ දක්වා ලබා දී නොමැත. මේ නිසා දළදා මාළිගයේ ඉඩ කඩම් සම්බන්ධ නඩු දිගින් දිගටම ඇදී යන බව පැවසිය යුතුය.

මහා විහාරයේ ඉඩම්.-

        අස්ගිරි මල්වතු මාහා විහාරයන්ට පුද සත්කාර කළ ඉඩම් රාශියක් වෙති.ඒවා විවිධ කාල වකවානු වල රජවරුන් ගේ කැමැත්තට දී ඇත. එම ඉඩම් බෞද්ධ විහාරගම් පනත යටතේ ආවරණය වන නමුදු රජකාරි නිල පංගු අතහැරීම නිසා ඒවා බොහොමයක් අන්සන්තක වී තිබේ. මහනුවර නගරයේ අස්ගිරි විහාරයට යාබද ව තිබෙන මීනක්කම් පල්ලියේ ඉඩම සුදු හුම්පළ විහාරයෙන් රාජකාරියට ලබා ගෙන තිබෙන්නකි. අස්ගිරි විහාරයට තෙල් සැපයීම එහි රාජකාරියයි. නමුත් අද වන විට එම සේවාවන් සිදු නොවන අතර මුදල් ගෙවීමක්ද නොකෙරේ. අස්ගිරි මල්වතු විහාරයන්හි වියදම් සඳහා ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ පැවරූ  ගම්පළ වෙල(අක්කර හැත්තෑවයි) තලම්පිටිය( අක්කර තිස්හයයි ) සහ උගුරැස්සපිටිය( අක්කර තිස්හයයි ) රාජකාරි නිල පංගු වලින් නිදහස්ව අන්සන්තක ව තිබෙන අතර එම ඉඩම් මුස්ලිම් ව්‍යාපාරිකයන් විසින් අත්පත් කර ගෙන තිබේ.අස්ගිරි විහාරේ මහනායක පන්සල අනුනායක පන්සල සුදුහුම්පළ පන්සල බෝවල රත්මලේ පොතුහැර පිටියේ ගෙදර  යන පන්සල් වලට ගෙවන වී බෙර පහේ දීමානාව ද නැවතී තිබේ.මේ ආකාරයට විහාරගම් දේවාලගම් සතු තිබූ ඉඩම් රාශියක් අන්සන්තක වී ඇති අතර සාම්ප්‍රදායික දීමනා නැවතී ඒවායේ නඩු හබ  වල කිසිම අවසානයක් ද දක්නට නැත.

පුරාවස්තු ආඥා පනතේ සඳහන් ඉඩම් –

1949 පුරා වස්තු ආඥා පනතේ බලතල ප්‍රකාරව රජයට අත්පත් කරගන්නා ලද සහ පවරා ගන්නා ලද ඉඩම් පුරාවිද්‍යා රක්ෂිත වශයෙන් හැඳින්වෙයි. මෙම ඉඩම් ඇතැම් ඒවා මැන වෙන් කර නැත. අතැම් ඉඩම් වල පවතින පුරාවස්තු පමණක් ස්මාරක වශයෙන් ගැසට් කර තිබේ. 1766 හඟුරන්කෙත ගිවිසුම නිසා මුහුදු බඩ පළාත් වල ඉඩම් විහාරගම් දේවාලගම් පනත යටතට ගැනෙන්නේ නැත. එම නිසා එම ඉඩම් නිදහසේ වෙන්ද්සි කරලීමට හෝ පැවරීමට ඉංග්‍රීසි ආණ්ඩුවට හැකිවුණී.නැගෙනහිර පළාතේ පොතුවිල් හි පිහිටා තිබෙන මුහුදු මහා විහාරයේ ඉඩම් අක්කර 72 ක් 1951 ගැසට් පත්‍ර යෙන් රජයේ සන්තකය ලෙසට ගැසට් කර ඇත.මෙම සීමාව අතීත පූජා භූමි සීමාව නොවේ. මෙයින් අක්කර 33 ක ඉඩම් වපසරියක කොටස් උපදිසාපතිවරයා විසින් බැහැර කොට පෞද්ගලික ඉඩම් සන්තකයට පත් කර ඇත. අනතුරුව 1965 දී මෙම ඉඩම් කොටස සම්පූර්ණයෙන්ම බැහැර කොට අක්කර 30 ක ප්‍රමාණයක් නැවත පුරාවස්තු ආඥා පනත යටතේ ගැසට් කර තිබේ. මෙම ඉඩම් වපසරියෙන් ද අක්කරවිස්සක් පමණ ජය භූමි ඔප්පු මගින් වැසියන්ට නිදහස් කර තිබේ.(ඉඩම් ඔප්පු 38 ක් මගින් ). නැගෙනහිර පලාතේ පමණක් නොව උතුරු පළාතේ පැරණි සිද්ධස්ථාන පැවති බොහෝ  පැරණි ස්මාරක තිබෙන භූමි භාග සහ පුරාවිද්‍යා රක්ෂිත වලට මේ තත්වය බලපා තිබේ.

නව ඉඩම් පනත් සහ සංශෝධන –

1840 සිට 1998 දක්වා පනවන ලද ඉඩම් පිළීබඳ රජයේ ආඥාවන් මගින් සිංහල ජනතාවගේ පාරම්පරික ඉඩම් භාවිතය පිළිබඳ බරපතල ගැටළු මතුව තිබෙන ආකාරය පිලීබඳ තවත් නිදර්ශන බොහෝය.වෙසෙසින්ම විහාරගම් දේවාලගම් වල පවතින ඉඩම් ගැටළු හඳුනාගෙන ප්‍රතිපත්ති නිර්දේශ ලබා ගැනීම පිණිස 2005 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය කොමිසමක් පත් කළේය. එහි වාර්තාව 2006 වසරේ දෙසැම්බර මාසයේ දී නිකුත් විය.නමුත් එහිදී හඳුනා ගත් ගැටලු වලට විසඳුම් ලැබී නොමැත. හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත්ව කූරගල පුරාවිද්‍යා ස්ථානයේ අනවසර ඉඳි කිරීම් ඉවත් කරලීමට නියෝග පනවන ලද්දේ මෙම කොමිසම් වාර්තාව පදනම් කොට ගෙනයි. එහෙත් එම ආදර්ශය මුහුදු මහා විහාරය දීඝවාපී මහා විහාරය තිරියායි  හිරිගඬු සෑය වැනි ඓතිහාසික තැන් අරභයා ක්‍රියාත්මක ව නැත. එමවාර්තාවෙන් තවදුරටත් මතු කරන  ගැටළු විසඳීමට ලක් කරනවාට වඩා තව තවත් අවුල් කරලන නියෝග රජයෙන් නිකුත් වෙයි. 2018 වසරේ ඉඩම් විශේෂ විධි විධාන පනතක් ගෙන ඒමට රජය කටයුතු කර තිබුණි. එයින් බලාපොරොත්තු වන්නේ ගොවි ජනපද වල ඉඩම් වලට සහ රජයේ පොදු ඉඩම් වලට නිකුත් කරන ලද ස්වර්ණ භූමි සහ ජය භූමි ඉඩම් වල රජයේ කොන්දේසි ඉවත් කර ලීමයි. එසේම ඉඩම් බැංකු පනතක් හඳුන්වාදීමටද යෝජනා කෙරී තිබේ. මෙයින් රජයේ ඉඩම් පිළිබඳ විද්‍යුත් දත්ත එක් ස්ථානයකට ගනු ලබන අතර එම ඉඩම් බැංකුව මගින් ඉඩම් නිදහස් කරලීමට බලය ලබා දෙන බව පැවසේ. එම තීරණය 2017 භෞතික සැලසුම් කෙටුම් පතේ සඳහන්ව තිබේ.

  විදේශිකයන්ට රටෙන් ඉඩම් මිළදී ගැනීමට තිබූ තහංචිද  ඉවත් කර ඇති බැවින් අඩු මිළට අලෙවි වන ඉඩම් සහ ඉඩම් බැංකු සංචිතයේ දැක්වෙන ඉඩම් මිලදී ගැනීමට ඔවුන්ට බාධාවක් නැත. 1998 ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත (බිම් සවිය ) බලතල ප්‍රකාරව සින්නක්කර ඉඩම්  සඳහා නවීන දත්ත ඇතුලත් බිම් සැලැස්මක් නිකුත් කරනු ලැබේ. ඒ ඉඩම් හිමියා භුක්ති විඳින ඉඩම් වපසරියේ ප්‍රමාණය අනුවයි. දඹුල්ල ප්‍රදේශයේ මෙලෙස ඉඩම් මැනීම අවසාන කර ඇති අතර ඒ මගින් බරපතල ගැටළු ඇති කර තිබේ.විශේෂයෙන්ම ගම් වාසීන් ගෙන් ඉඩම් අඩු මිළට ලබා ගෙන එම සම්පූර්ණ භුමියම එක බිම් සැලැස්මකට අතුලත් කරලීම සිදු කර ඇත.එවිට එම ඉඩම් වල අතීත භාවිතය අවලංගු වේ.

       කලුන්දෑව නම් ගම් පියසේ උණ පඳුර යාය නම් පොදු හේන් ඉඩම් සාම්ප්‍රදායිකව වෙන් කර තිබුණේ වැන්දඹුවන් ගේ නඩත්තුව සඳහාය. මෙම ඉඩම්  කැබලි ඉතාම අඩු මිළකට මිළදී ගත් ප්‍රදේශයේ දේශපාලඥයෙක් ඔහුගේ බිරිඳගේ නමට ඇති සමාගමට ලියා ගත් ආකාරය දැක්විය හැකිය. පසුව මේ සමස්ත ඉඩම් කොටස බිම් සවිය මගින් ගම් පිඹුරට එක් කර තිබේ. මේ ආකාරයට ඉඩම් බැංකුවක් ස්ථාපිත කළහොත් රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා සඳහා නියුක්තව සිටින්නන් විහාරගම් භූමියෙන් හෝ දේවාලගම් භූමියෙන් වෙන්ව තම ඉඩම් විකුණා ගැනීමට අවස්ථාව උදාකර ගනී. මෙම තීරණ විහාරගම් දේවාලගම් ඉඩම් වලට පමණක් නොව ජයභූමි සහ ස්වර්ණ භූමි ඉඩම් ඔප්පු ලාභීන්ටද සෘජුවම බලපානු ඇත.

ලංකාවේ ඉඩම් පරිහරණය පිළිබඳ නව සැලැසුම් –

වර්ෂ 1840 සිට 1998 දක්වා වූ කාලය තුළ පණවනු ලැබූ ඉඩම් ආඥාවන් ඒ ඒ අවස්ථාවන්හිදී රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ගත් තීරණයන්ය. වර්ෂ 2000 න් පසු සමස්ත භෞතික සැලසුමකට යෑමට රජය උත්සුක වී ඇත. නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව වශයෙන් තිබී පසුව භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ලෙසට වෙනස් වූ ආයතනය 2007 වසරේ දී රටටම බලපාන නව භෞතික සැලැස්මක් සකස් කළහ. කොළඹ නගරයේ අවිධිමත් නාගරීකරණය විධිමත් කරලීම උදෙසා පළමුවරට 1952 පමණ නිකුත් කරන ලද සැලසුම් මෙසේ 2007 වසරේ දී සමස්ත රටටම බලපාන ලෙසට සකස් කර තිබේ. 2007 සැලැස්ම  මගින් ප්‍රධාන යෝජනා කීපයක් ඉදිරිපත් කරතිබුණි. 2030 වන විට ඇතිවේ යැයි උපකල්පනය කරන ජනගහන රටාව අනුව මේ භෞතික සැලසුම මගින් සංකල්පීය ජනාවාස රටාවක් සහ නාගරික කලාප පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කර තිබේ. කොළඹ සිට කළුතර දක්වා අධි නගර කලාපයක් ත්‍රිකුණාමල සිට දඹුල්ල දක්වා අධිනගර කලාපයක් මඩකලපු සහ පොතු විල් අධිනගර කලාපයක් හම්බන්තොට මූලික කර ගත්  ආර්ථීක කලාපයක් සහ යාපනය මූලික කරගත් ආර්ථික කලාපයක්  සකස් කරලීම මෙම සැලැස්මේ අරමුණ විය.මෙම සැලසුම් සකස් කරලීමේ ද යට දක්වන ලද ඓතිහාසික ඉඩම් පරිහරණයන් හෝ යටත් විජිතකරණය නිසා ඇති වූ ගැටළු හඳුනා ගැනීමට  උත්සාහ ගෙන නොමැත.වනගහනය නොහොත් රක්ෂිත වනාන්තර සංවර්ධනය වන ප්‍රදේශ වලින්  වෙන් කිරීම ට උත්සාහ කරලීම මෙහි විශේෂ ලක්ෂණය වෙයි. එය යටත් විජිත යුගයේ සිට පවත්වා ගෙන පැමිණි අධිරාජ්‍ය වාදී ක්‍රමවේදයක් වෙයි.නමුත් අතීතයේ දී සිදු වූයේ සමස්ත වනගහනය සහ ස්වභාවික පරිසරය තුළ නව සංවර්ධන කාර්යයන් සොබා දහමේ කොටසක් ලෙසට ස්ථාපිත කරලීමයි. කුඩා වැව් සහ මහ වැව් එයට හොඳම උදාහරණයයි.

            මෙහි දෙවනි අදියර වූයේ 2017 දී නිකුත් කරල ලද භෞතික සැලැස්මයි. මෙම සැලැස්ම යටතේ 2007 සැලැස්ම  අභිබවා යමින් ආර්ථික කොරිඩෝ හතරක් යෝජනා කර තිබූ අතර 2007 සැලැස්මේ සඳහන් අධිවේග මාර්ග සැලැස්ම තව දුරටත් පුළුල් කරමින් සාකච්ඡාවට බඳුන් කරතිබේ.අධිනගර එකිනෙක යා කරමින් තැනෙන අධිවේග මාර්ග විදිලි දුම්රිය මාර්ග නිසා සංවර්ධිත පෙදෙස් වල ස්වභාවික සම්පත් මෙන්ම ඓතිහාසික ස්ථානයන්ද විනාශයට පත් වන බව නිසැකය.කොළඹ සිට ත්‍රිකුණාමලයට තැනීමට යෝජිත ආර්ථික කොරිඩෝව නිසා උතුරු දකුණ වෙන් කරන බෙදුම්වාදී රේඛාවක් ද නිර්මාණය වේ. පසුගිය රජය සමයේ දී අරලියගහ මන්දිරයේ ස්ථාපිත කරනලද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නම් අයතනය හරහා ලැබෙන්න නියමිත වූ ඩොලර් මිලියන 480 මුදල ප්‍රදානය ඉහතකී සැලසුම් දෙක පාදක කොට ගෙන ලබා දෙන්නට නියමිතව තිබුණි. මෙම භෞතික සැලැස්මේ මූලික කෙටුම්පත දැන ගැනීමට ලැබීමෙන් පසු එහි තිබෙන අයෝග්‍යතාවය දක්වා ලීමට මාහට අවස්ථාවක් දෙන ලෙසට භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජගත් මුණසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළෙමි. නමුත් එම අවස්ථාව මට නොලැබිණ. මහජන අදහස් නොවිමසා ජනපතිවරයාගේ මූලිකත්වයෙන් රැස්වෙන භෞතික සැලසුම් සභාවද මේ වෙනුවෙන් රැස් නොකර සෘජුවම හිටපු අගමැතිවරයාගේ මූලිකත්වයෙන් මුළු දෙන ආර්ථික සභාවට ඉදිරිපත් කොට මෙම සැලසුම සම්මත කරගෙන ඇති බව දැන ගන්නට තිබේ.

          ඇමරිකාව විසින් පසුගිය රජය වෙත බලහත්කාරයෙන් පටවන ලද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ආර්ථික කොරිඩෝ යෝජනාව සහ එයට අදාල ගිවිසුමට පාදක ව තිබෙන්නේද ප්‍රධාන වශයෙන් ඉඩම් නිදහස් කර විවෘත වෙළෙඳ පලේ අලෙවි වීමට සැලැස්වීමයි.මෙම යෝජනා 1998 පමණ කාලයේ සිට ඇමරිකාව විසින් රජය වෙත බලහත්කාරයෙන් පටවන ලද යෝජනා වෙති.එමගින් නැවතත් අතීත මුඩු බිම් පනත් වලින් සිදු වූ වින්නැහියම සිදු වීමට ඉඩකඩ තිබේ.රටේ සංකීර්ණ ගැටළුවක් බවට පත්ව තිබෙන ඉඩම් භාවිතය පිළිබඳ නිවරදි තීරණයකට නොඑළඹී නව ඉඩම් සංශෝධන වලට යෑම  රටේ ස්වාධීනත්වයට බරපතල ලෙස බලපානු ඇත. එසේම මේ ගිවිසුමෙන් ප්‍රවාහනය නවීකරණය කරලීමටද මුදල් ලබා ගැනීමක් සිදු වෙයි. අධිවේගී මාර්ග රටේ සංවර්ධනයට අවශ්‍ය වුවද රටේ ඉඩම් ඒ හා බැඳි පරිසරය ගැන සැළකිල්ලක් නොදක්වා රටේ සංවේදී ඉඩම් ප්‍රවාහන මාර්ග වලට අපහරණය කිරීම නොකළ යුත්තකි.එසේම රටේ මාර්ග පද්ධතිය නවීකරණය කර ගැනීමට මෙරට සිටින උගතුන් ගේ සේවය ගත හැක්කකි.එමෙන්ම රටේ බදු මුදල් ගෙවන ජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් භාවිත කළහොත් එය නිවරදව කළ හැකිය.අවසාන වශයෙන් කිව යුත්තේ රටට අවශ්‍ය වනුයේ භෞතික සැලැස්මකට වඩා සමස්ත සංවර්ධන සැලැස්මක් බවයි.

භෞතික සංවර්ධනය ද සමස්ත සංවර්ධනය ද –

        භෞතික සංවර්ධනය අප ළඟා කරගත යුත්තේ සමස්ත සංවර්ධන සැලැස්මකට අනුකූලවයි.එසේම  අපගේ ඉතිහාසය විසින් අපට ලබා දෙන සංවර්ධන ප්‍රවේශයන් සමගද සමපාත විය යුතුයි.ලංකාවේ මධ්‍යම කඳුකරය මේ රටේ හදවත බව බොහෝ දෙනෙකු අවබෝධ කර ගෙන නැත.සියළු ප්‍රධාන ගංගා ආරම්භ වන්නේ මධ්‍යම කඳුකරයේ දිය උල්පත් අශ්‍රයෙනි.එහෙයින් සමස්ත සංවර්ධනයෙදී මූලිකවම මේ රටේ ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛ තැනක් දිය යුතුය.මධ්‍යම කඳුකරයේ දියඋල්පත අශ්‍රයෙන් දිය නහර පණ ගැන්වී පොළව අභ්‍යන්තරයේ ගලා බසිමින් රජරට නිම්න භූමි වලදී මතු වන ආකාරයද අපට නිරීක්ෂණය කළ හැකියි. මේවා එක් පැත්තකින් සිසිල් දිය උල්පත් වශයෙන් ද අනෙක් පැත්තෙන් උණු දිය උල්පත් වශයෙන් ද දක්නට තිබේ.මේ උල්පත් ඇතැම් විට අපගේ ඇසට නොපෙනෙන ආකාරයෙන් මතු වී කුඩා වැව් පෝෂණය කරන බවද දැක ගත හැකිය. රජරට පවතින වැව් 30000 ක තරමේ සම්පත් ප්‍රභවයක් මේ ආසියාකරයේ තවත් දක්නට නැතිය. එම නිසා පැරණි රජ වරු කුඩා වැව් පණ ගන්වමින් වාරි පද්ධති නිර්මාණය කළහ. මේ වාරි පද්ධති සඳහා අතිරේක ජලය නිදහස් කරලීමට මහා වැව්ද මහා වැව් වලට ජලය ගෙන යෑම පිණිස යෝධ ඇළවල්ද නිර්මාණය කළහ.මහවැලි ගග ප්‍රධාන කොට ගත් ජල මූලාශ්‍ර වලින් හරවා ගත් ජලය උතුරේ ඉරණමඩු වැව දක්වාද ගෙන ගිය ආකාරය අතීත අත්දැකීම් වලින් පසක් වෙන බව කිව යුතුය.එසේම උතුරේ යාපන අර්ධ ද්වීපය සහ මන්නාරම් කලාපයේ ජලය හිඟ වීම නිසා ශුෂ්ක දේශගුණයත් නිසා යෝධ වැව පණ ගන්වමින් කළ වාරි විශ්මය අදටත් එසේමය.මේ තත්ත්වය මත ශක්තිමත් වූ රජරට ශිෂ්ඨාචාරය නිසා මාන්තොට  වරාය මහා වරායක්ව වැජඹුණි.. රට තුළ නිපදවන සියලු දේ මෙන්ම රටට ගෙනෙන බොහෝ දේ මෙම තැනින් හුවමාරු වූයේ මෙහි තිබූ ශක්තිමත් ආර්ථික ජාලය  පිටිවහල් කර ගෙනය.ඇතැම් වේලාවට මේ තොටමුණු වලින් ගොඩ බහින විදේශිකයන් ගම්වැදී රට වැසියන්ට කරදර පමූණවන කල්හි. ඔවුන් අල්ලා රටින් පිට කළ යුතු බවට ආඥාවල්ද පෙර සෙල් ලිපි වල ලියැවී තිබුණී.

සමස්ත සංවර්ධන නොසලකා භෞතික සංවර්ධනය මත යැපීමෙන් සිදුවන විපාක –

1/  වනගහනය තුනී වීමෙන් සොබා දහම හා බැඳි ජල මූලාශ්‍ර තෙත් බිම් අහිමි වීම.

2/ ගොඩනැගිලි ඉඳි කිරීම් වේගවත්ව වර්ධනය වීමෙන් ග්‍රමීය ළිං සහ කඳුරු මෙන්ම තුලිත පරිසරය අහිමි වීම.

3/ ග්‍රාමීය ආර්ථික දියුණුව මත වර්ධනය වන කුඩා නගර සංකල්පය බැහැර කිරීමෙන් සහ අධිනගර සංකල්පයට යෑමෙන් විශාල ප්‍රදේශයක භූමි සම්පත් එකවර විනාශයට පත් වීම.

4/ ඓතිහාසික උරුම භූමි වලට ඇති වන තර්ජනය.

5/ ඉඳි කිරීම් සඳහා අවශ්‍ය වන කලුගල් සඳහා කඳු පර්වත කැඩීමෙන් ජල මූලාශ්‍ර හිඳී යෑම. පුරාවිද්‍යා ස්ථාන විනාශව යෑම.

6/ඉඳි කිරීම් සඳහා අවශ්‍ය වැලි ගංගා වලින් විහාල වශයෙන් ගොඩ දැමීම නිසා ගංගා දියට කරදිය මුසු වීම සහ ගංමෝය පෝෂණය නොවීම. (නිදසුන් – කළුතර මෝය )

7/ සිංහල වෙදකමට යොදා ගනු ලබන දේශීය ඖෂධ ශාක සහ එදිනෙදා ආහාරයට ගත හැකි ඉබේ වැවෙන ගස් වැල් ඩෝසර යොදා ඉවක්  බවක් නොමැතිව විනාශ කොට තිබේ.ඒ ඒ පරිසරයන්ට අදාල මෙම ජෛව විවිධත්වය සහමුලින්ම වඳ වී යෑමේ තර්ජනය මෙම භෞතික සංවර්ධනය මගින් උදා කර ඇත.

සමස්ත සංවර්ධනය නොහොත් තිරසර සංවර්ධන ප්‍රවේශයකට අවශ්‍ය යෝජනා –

1/ නව ඉඩම් කොමිසමක් පත් කොට යටත් විජිතකරණය සහ නව යටත් විජිතකරණයෙන් පාරම්පරික ඉඩම් වලට ඇති වූ බලපෑම විමර්ශනය කොට වාර්තාවක් සැකසීම.

2/ මෙම වාර්තාව පදනම් කොට පැරණී ඉඩම් අණ පනත් අහෝසි කොට රටට ගැලපෙන නව ඉඩම් පනතක් සම්මත කර ගැනීම.

3/ ලංකාවේ ජල මූලාශ්‍ර සහ වන සම්පත් සංරක්ෂණයට අවශ්‍ය සමස්ත සංවර්ධන සැලැස්මක් ස්ථාපනය කරලීම.මේ සංවර්ධන සැලැස්මේ  මූලික අරමුණක් විය  යුත්තේ ගොවිතැන් කිරීමට අවශ්‍ය වාරි පද්ධති යලි ගොඩ නැගීමයි..

4/ ආර්ථික සැලසුම් යෝජනා සකස් කරලීමට විදෙස් මුදල් භාවිත නොකිරීම.

5/ අධීනගර වෙනුවට ග්‍රාමීය ආර්ථිකය මත පදනම් වූ කුඩා නගර පරිසර හිතකාමීව සංවර්ධනය කරලීම.

6/ සමස්ත සංවර්ධන සැලැස්ම සඳහා සෘජු මහජන අදහස් ලබා ගැනීමට පහසුකම් සැලසීම.

7/ ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශයන්ට සරිලන මානව සම්පත දියුණු කරලීම මෙන්ම එයට සාපේක්ෂ අධ්‍යාපනයක් ලබා දීම.

8/ රටේ ස්වාධීනත්වයට  හානිකර මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අහෝසි කිරීම.රටේ තීරණ ගන්නා ව්‍යුහයන් වෙත සමීප වීමට විදේශිකයන්ට මින් ඉදිරියට අවස්ථාව නොදීම.

………………………………………………..

පරිසරවේදී ,පුරාවිද්‍යා ගවේශක

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress