අ.පො.ස උ/පෙල විභාගයට දින නියම නොකොට ජනාධිපති සාකච්ඡා හා සමීක්ෂණ කරමින් කල් මැරීම සම්බන්ධවයි.
Posted on July 3rd, 2020

ලංකා ගුරු සේවා සංගමය ජනමාධ්‍ය නිවේදනයයි

2020. 07. 03

ගරු අධ්‍යාපන අමාත්‍ය,
ඩලස් අලහප්පෙරුම මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

ඇමතිතුමනි,

අ.පො.ස උ/පෙල විභාගයට දින නියම නොකොට ජනාධිපති සාකච්ඡා හා සමීක්ෂණ කරමින් කල් මැරීම සම්බන්ධවයි.


මෙවර අ.පො.ස උ/පෙල විභාගයට අගෝස්තු මස පෙනි සිටීමට නියමිතව සිටි සිසු දරුවන්ට කොරෝනා වසංගතය හා පසුගිය වසරේ සිදු වු පාස්කු ප‍්‍රහාරය නිසා අහිමි වු මාස 05ක පමණ අධ්‍යයන කාලසීමාව නැවත සැලසුම් කර ගැනීම සඳහා වන සාධාරණ කාලයක් ලබා දී විභාගයට දින නියම කරන ලෙස අවස්ථා ගණනාවකදී අප සංගමය ඉල්ලීම් කර ඇතත් ඒ සම්බන්ධව සාකච්ඡාවකට නොකැඳවීම හෝ කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පල කර සිටිමු.

ඔබගේ උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව අවස්ථා කීපයකදී කල් දැමු මෙම විභාගය පාසල් ආරම්භ කිරීමෙන් පසු ගුරුවරුන්, විදුහල්පතිවරුන්ගෙන් හා දෙමව්පියන් සමඟ සාකච්ඡා කර කඩිනමින් තීරණයක් දැනුම් දෙන බව පැවසුව ද එය තවත් සතියකින් කල් දමා ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කර ඇත. මෙම තත්වය, පටු දේශපාලන වාසි වෙනුවෙන් යොදා ගනිමින් පසු ගිය මැතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ පාර්ශවය වෙනුවෙන් මැදිහත් වු උපකාරක පන්ති ගුරුවරුන් කීප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙම ගැටලූ පිලිබඳව සිදු කල සාකච්ඡාවට අධ්‍යාපන ලේකම් මෙන්ම විභාග කොමසාරිස්වරයා ඇතුලූ රාජ්‍ය නිලධාරීන් කැඳවමින් ඔවුන්ගේ වෘත්තිය ගරුත්වය කෙලෙසීම පිලිබඳවද අප සංගමය විරෝධය පල කරමු.

තවද ඔබ ඇතුලූ අධ්‍යාපන අමාත්‍යංශය මෙම අවස්ථා යොදා ගනිමින් මාධ්‍ය සංදර්ශන මෙන්ම පදනම් විරහිත සමීක්ෂණ පවත්වමින් කල් මැරීම මෙවර විභාගයට පෙනී සිටින ලක්‍ෂ 4 කට ආසන්න වන සිසු දරුවන්ට වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිදු කරමින් සිටිනුයේ බලවත් අසාධාරණයක් බවද අවධාරණය කරමු.

එමෙන්ම කොරෝනා වසංගතය හමුවේ පාසල් හා උපකාරක පන්ති සම්පුරණයෙන් වසා දැමීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යංශයේ නිවේදන හා චක‍්‍රලේඛ වලට අනුව අන්තර්ජාල පහසුකම් යටතේ සිදු කල අධ්‍යයන කටයුතු ඉතා අඩු සීමාවක සිදු වු නමුත් සාතිශය බහුතරයක් සිසුන් හා ගුරුවරුන් අදාල ක‍්‍රියාවලියකට අනුගත නොවු බව ඔබ හොඳින් දන්නා කරුණකි.

එහෙයින් තව දුරටත් පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් මෙම සිසු දරුවන්ව පීඩාවට පත් නොකොට ඔවුන්ගේ අතපසු වු අධ්‍යයන කටයුතු සැලසුම් කර ගැනීමට සාධාරණ අවස්ථාවක් හා ලබා දෙමින් අදාල විභාගයට කඩිනමින් දින නියම කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය නැවතත් බල කර සිටිමු.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය.

පිටපත්
01.
ලේකම්අධ්‍යාපන අමාත්‍යංශය
02.
විභාග කොමසාරිස්විභාග දෙපාර්තමේන්තුව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress