යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය
Posted on July 5th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL,B.,Ph,D.

කට කැඩිච්ච කතා

සජිත් ප්‍රේමදාස මහතා විසින් චන්ද රැස්වීම් වල කරණ ප්‍රකාශ යූටියුබ් වලින් බලන විට මට සිතෙන්නේ ඔහු මෙච්චරටම මෝඩ කුමක් නිසාද යන්නය. යමෙක් එකම වරද නැවත නැවත කරන්නේ ඇයි? මේ දවස් වල දේශපාලකයින් විසින් කරණ කතා අතුරින් රටට ඉතාම වැදගත් කාරණා දෙකක් ලෙස මා සළකන ජරමර දෙකක් නම් 13-ඒ මර උඟුල හා මිලෙනියම් ට්‍රෝජන් අශ්වයාදය. මෙහිදි සජිත් විසින් ලඟදී යාපනයට ගොස් කල 13-ඒ සම්බන්‌ධ ප්‍රකාශය මට සිහිකරන්නේ 1955 දී යාපනයට ගොස් සර් ජෝන් කලාය කියන <කට කැඩිච්ච- (බෑඩ් මවුතින්?) ප්‍රකාශයය. රට ජාතිය ගැන කිසි තැකීමක් නැතිව 2020 දී සජිත් කරන්නේ තමන් විසින් තමන්ගේ දේශපාලන සිය දිවි නසා ගැනීම බව ඔහුට නොතේරීම, එක අතකින් රටේ වාසනාවය. ඊට හේතුව ඔහුත්, සුමන්තිරන්ලාත්, රනිල් වික්‍රමසිංහත් ඉන්නේ එකම පරණ යහපාලන බෝට්ටුවේම බව ඉන් රටට එලිදරව් වීමය.

ඒකීය ශ්‍රී ලංකාවේ තමිල් අරෂු යන වංචාවේ අවසානය

මීට පෙර <සිංහල චන්දයෙන් දෙමළ ඊළමක් ලබා ගැනීම> (ලංකාවෙබ්, 2019/11/30) යන ලිපියෙන් පෙන්‌වා දුන් අන්දමට, යාපනේ දෙමළ ශිෂ්‍ය ඉල්ලීම් 13 ක් වශයෙන් සුමන්තිරන්/සම්බන්‌ධන් පිරිස ජනාධිපති අපේක්‍ෂකයින් දෙන්නාට ඉදිරිපත් කල ඔල්මාද යෝජනා ගොඨාභය විසින් මුළුමණින්ම ප්‍රතික්‍ෂේප කල අතර, සජිත් කලේ එය ප්‍රතික්‍ෂේප කරණු වෙනුවට , එය 2018 යහපාලන ව්‍යවස්ථා අටමඟුල හා පටලවා සිංහලයාත්, දෙමළාත් දෙකොටසම රැවටීමට සැදීමය. මෙම ඉල්ලීම් 13 ප්‍රතික්‍ෂේපකල ගෝඨාභයට උතුරේ සෑහෙන දෙමළ චන්ද සංඛ්‍යාවක් ලැබුණේය. දෙමළ ඊළම සඳහා, තමන් ඒකීය රටක ශ්‍රී ලාංකිකයින් යයි කියන ටී.එ‌න්.ඒ කාරයින් හා අනිත් එවැනි අය අද මුහුණ පා සිටින්නේ බලවත් පණ රැක ගැණීමේ සටනකය.

1970 දශකයේ ඇල්ෆ්රඩ් දුරෙයියප්පා කාලයේ මෙන් නොව දැන් සෑහෙන පෙඩරල් විරෝධී බලවේග උතුරේ මතුවී ඇත. ආවා කල්ලියේ යැයි හංවඩු ගැසීමට හැදූ අරුන් සිද්‌ධාර්ත් ගෝඨාභයට පක්‍ෂව චන්දය ඉල්ලයි. කරුණා අම්මාන්ද එසේමය. ක්‍රිකට් ක්‍රීඩක මුරලි ඔහුගේ මල්ලී ඉදිරිපත් කර ගෝඨාභයට සහාය දෙයි. මේ හැමටම වඩා වැදගත් භූමිකාව වන්නේ කර්‌නල් රත්නප්‍රිය බන්‌ධු වවුනියාවෙන් චන්දය ඉල්ලීමය. යුද හමුදාවට සාමාන්‍ය දෙමළ ජනයාගේ ඇති කැමැත්ත හා හීන කුලයේ යයි දෙමළ ජනයා පාගාගෙන සිටි කොළඹ පදිංචි දෙමළ වෙල්ලාල (හා ක්‍රිස්තියානි) පිරිසට විරුද්‌ධව මේ ජනයා අවදිවීම සුමන්තිරන්-විග්නේශ්වරන්-සම්බන්‌ධන් යුගයේ අවසානය ඉඟිකරයි. දෙමළ හින්දු-සිංහල බෞද්‌ධ එකතුව සඳහා හාමුදුරුවරුද මැදිහත්‌වී සිටී.

මාසෙට විසිදාහ දෙන්නේ නිධන් කඩලාද?

මාසෙට විසිදාහ ගානේ පවුල් වලට බෙදනවා, රෑට මුරට යනවා, මම ආර්ථික විද්‍යාව දන්නවා වැනි කතා සපයන්නේ විහිළුය. එහෙත් 13-ඒ ගැන ඔහුගේ කියමන් ඔහුගේ මෝඩ හිසට දමන්නේ කවුද? 13-ඒ ප්ලස් පියා ලෙස සමහරු සළකන දයාන් ජයතිලකද? වරින් වර නොයෙක් සූත්‍ර ගේන දයාන් දැන්, 13-ඒ ප්ලස්, ඇමෙරිකන් මිලේනියම් මයිනස් සමඟ බද්‌ධ කරයි!<ග්‍රාම රජ්‍ය හා නගර රාජ්‍ය සංකල්පයට අමතරව, ඒකීය ශ්‍රී ලංකාව තුල බලය බෙදුණ 13 සංශොධනයට මං කැමතියි> යනුවෙන් සජිත් යාපනේදී කියන්නේ (ජූලි 2, රෑ 9:55 හිරු නිව්ස්), මේවා අඹද, පේරද, වසද, කියාවත් නොදැනය. 13-ඒ යනු ලංකාවට ඇටවූ මර උඟුලක් බව මෙතරම් ප්‍රත්‍යක්‍ෂව තිබියදීත්, මෙවැනි ජාති ද්‍රෝහී, දේශ ද්‍රෝහී කතා කියන්නට සොක්‍රටීස් කෙනෙක් වගේ ඔහුගේ <ශ්‍රී මුඛය> ඇරෙන්නේ කෙසේද? මේ වචන, සංකල්ප ඔහු දොඩවන්නේ ඒවායේ සංකීර්‍ණබව තියා ඒවායේ තේරුමවත් හරිහැටි නොදැනය යන්න මගේ නිගමනයය.

පලාත් සභා මිණී වළෙන් ගොඩ ගැනීම

රටට කොඩිවිනයක්‌වූ රනිල්-චන්ද්‍රිකා-සිරිසේන ප්‍රමුඛ යහපාලන මරාලය කල නොයෙක් දුෂ්ඨ ක්‍රියා අතර, හුදෙක් චන්දවලට ඇති භය නිසාම, නොසිතා රටට සිදුකල යහපත් දෙයක් නම් පලාත් සභා නමැති පණ අදිමින් සිටි සුදු අලියා පණ පිටින්ම වලලා දැමීමය. මෙය රටට ලැබුණ වෙස් වලාගත් භාග්‍යයක් නොවේද? මෙතෙක් මේ හොර පලාත් සභා නැතිව රට ගෙනයාමෙන් ඔප්පු වන්නේ මෙය දේශපාලකයින්ගේ රන් ආකරයක්ව තිබූ බව නොවේද? මේ මරුවා ගොඩට ගෙනැවිත් යලි ඔක්‍ෂිජන් දීමට බලන, කලින් මේ යුද්‌ධය නම් කවදාවත් දිණන්න බෑ කියූ කළු සුද්දන් පිරිස, දැන් නැවත වරක් හොරගල් අහුලමින් සිටී. උදාහරණයක් වශයෙන්, ජනාධිපති සිරිසේනගේ රුසියන් තානාපතිව සිටි දයාන් ජයතිලක, ඔහුගේ ලංකා ගාර්ඩියන් වෙබ් පත්‍රයේ මෝඩිට අල්ලසක් වශයෙන් 13-ඒ ඔහුට පුදා, ඇමෙරිකා බිග් බ්‍රදර් ගෙන් බේරෙන ලෙස ජනාධිපති ගෝඨාභයට දිරච්ච ලණුවක් යෝජනා කලේය. ඔහු මීට කලින් ජීනීවාහිදී ඉඩම් හා පොලිස් බලතල පොරොන්‌දුවී (13-ඒ ප්ලස්) මහින්ද ජනාධිපති විසින් ආපසු කැඳවූයේය (පෙබරවාරි 20, 2020). මොකක් හෝ හේතුවක් නිසා රනිල්ට නම් දයාන්ව අල්ලන්නේම නැත. එහෙත් වර්‌ධරාජා පෙරුමාල්ගේ ඇමතිව සිට ඔහුත් සමඟ ඉන්දියාවට පලාගිය දයාන්, පසුව ආර් ප්‍රේමදාසගෙන් සමාව ලබාගෙන ඔහුගේ දක්‍ෂකම ගැන ස්ත්‍රෝත්‍ර ගයන වන්දි භට්ටයෙක්ව සිටියේය.

1987 දී කළු සුද්දන් පිරිසක් හැරුණු විට මුළු රටම මේ පලාත් සභා මර උගුලට විරුද්‌ධව නැගී සිටියේය. මිය ගිය පිරිසද විශාලය. එහෙත් අද වන විට මේ මර උගුලට විරුද්‌ධව රටේ බොහෝ පක්‍ෂ දේශපාලකයින් ඉන්නේ මීයන් මෙන් නිහඬවය. නොදන්නා කමට හෝ පෙඩරල් පාරේ යන ඇත්තෝ පරණ නිල්, කොල පක්‍ෂ දෙකේම සඟවී සිටීනැත්තචශයෙන් බලන විට අත ගැසූ හැමදේම අනාගත් ජේ.ආර්., ඒ අවස්ථාවේදී ජේ. ආර් ගේ වයසට අනුව බලන විට, රජිව් ගාන්‌ධි නම් කොලු ගැටයාට හා ඩිෂිට්ට දණ නොගැසුවා නම් ඉන්දියාව උතුර-නැඟෙනහිර අල්ලාගෙන ඊළම් පාර කපාදී යනු නිසැකය (ඊට විරුද්‌ධවූ එකම යූ.ඇන්.පී මන්ත්‍රී වූයේ අනාගාරික ධර්‌මපාලතුමාගේ ඥාති හෝමාගම ගාමිණී ජයසූරිය මහතාය; රජිව්ට හමුදා ආචාර පෙලපාලියේදී, 1987 ජූලි 30 දා, රයිෆල් බඳෙන් ගැහුවේ විජේමුනි විජිත රෝහණ ද සිල්වා නම් නාවික භටයාය). ඒ බව තේරුම් ගෙන ඉන් ගැලවීමට පසු කාලීන දේශපාලකයින් ක්‍රියා නොකිරීම ලංකාවේ කරුමය විය.

13-ඒ පාර සඳහා මුල්ම පස්පිඩැල්ල කපා දුන්නේ අගමැති බණ්ඩාරණායක විසින් 1958 දීය. ඒ ඔහු උතුරු-නැඟෙනහිර රට සභා පිහිටුවා ඒවාට ඉඩම් බලතල හා මිනිසුන් ඉඩම්වල පදිංචිකිරීමේ බලයද දීමට චෙල්වනායගම් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමෙනි. ඊට ‌විරුද්‌ධව පෙලපාලි ගිය ජේ.ආර් හා ඩඩ්ලි 1968 දී, බණ්ඩාරණායක එකඟ වූවාටත් වඩා බලතල මේ රට සභාවලට දීමට එකග විය. ඒ අනුව, ඒ ප්‍රදේශවල වසන සිංහලයෙකුටවත්, ඉඩම් ලැබෙන්නේ රටේ ඉන්නා ඉඩම් ඉල්ලන සියළුම දෙමළ ජාතිකයින්ට ඉඩම් බෙදාදී ඉතුරුවුනොත්‌ය! මෙම මෝඩ ගමන තිස් අවුරුදු යුද්‌ධයකින් පසුවත් අවසාන නොවූයේ, දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීමට සිංහල දේශපාලකයින්ට ඕනෑකමක් නොවූ නිසාය. එය ගොඨාභය ජනාධිපතිවීමත් සමඟ වෙනස්වෙමින් පවතින බව වෙන කැවුරු නැතත්, සම්බන්‌ධන්ලා තේරුම් ගෙන ඇති බව නැඟෙනහිර පුරාවස්තු බලකාය ගැන ඔහු ජනාධිපතිට යැවූ පරාදයට අකුලාගත්තා වැනි පෙත්සමේ පේලි අතරින් දිස්වේ. දෙමළ බෞද්‌ධයා නම් කතාවක් හරහා දෙමළ නිජබිම් මිථ්‍යාවට ඔක්‍ෂිජන් දීමට ඔහු තතනයි.

මෙවන් පසු බිමකදී සජිත් යාපනේ ගොස් කල ප්‍රකාශය, ඔහුගේ පියා ප්‍රභාකරන්ට ආයුධ දීම, රනිල් විසින් 2002 දී කල සාම විරාම ගිවිසුම් පාවා දීම, මිලේනියම් සිටි ද්‍රෝහී ක්‍රියාව, චන්ද්‍රිකා විසින් පැකේජ් ඩීල් හරහා රට බෙදාදීම, චන්ද්‍රිකා හා ප්‍රේමදාස ප්‍රහාකරන්ට උතුරු පලාත බදු දීමට කල යෝජනා මෙන්ම ගොන් වැඩකි. ඔහුගේ ප්‍රකාශය හයේ පන්තියේ ලමයෙකුවත් නොකල යුතු දෙයකි. ඊට හේතුව සුප්‍රිම් උසාවිය විසින් 13-ඒ අනුව ලංකාව ඒකීය නොව පෙඩරල් කියා දැනටමත් තීන්‌දුවක් දී ඇති නිසාය. මෙවැනි මෝඩයෙක් රටේ අගමැති වේවිද? මෙය චන්ද දායකයින්ට පෙන්වා දීම කාගේ යුතුකමද?

මා විසින් කලක සිටම මේ 13-ඒ මර උඟුල ගැන ලිපි රාශියක්ම සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ලියා ඇත. මේ නිසා මට මේ ගැන තවදුරටත් ලියන්නට අප්‍රියය. ඒ නිසා, ඊළම හා වතුර යුද්‌ධ යනුවෙන් 2017 මැයි 15 දා ලංකාවෙබ් වෙබ් අඩවියේ පළවූ ලිපියකට ලින්ක් එක මෙහි පහතින් දක්වමි. එය කවුරුන් හෝ සජිත්ට හෝ ආර්‌යාවට යවන්නේ නම් කෘතඥවෙමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress