මෙවර කාන්තා නියෝජනය වැඩි කිරීම කාන්තාවන්ගේ වගකීමක් – කැෆේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය කියයි.
Posted on July 14th, 2020

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

දේශපාලනයේ කාන්තා නියෝජනය තහවුරු කිරීම සෑම කාන්තාවකගේම වගකීමක් බව කැෆේ සංවිධානය  කියයි. එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය මේ බව සඳහන් කළේ  මැතිවරණ ක්‍රියාවලියේ දී කාන්තාව සතු වගකීම පිළිබඳ පැවති පුහුණු වැඩමුලුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ මෙවර අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී  සියලුම දේශපාලන පක්ෂ කාන්තා නියෝජනය සඳහා සැලකිය යුතු අවස්තාවක් වෙන්කර නැති බවයි. මේ නිසා මෙවර මැතිවරණය සඳහා තරඟ අපේක්ෂකයින් 7458 දෙනෙකු අතරින් කාන්තා නියෝජිතයින් සිටින්නේ 819 දෙනෙකු පමණක් බව ඇය ප්‍රකාශ කළා ය . මේ අනුව සියලු දේශපාලන පක්ෂ නායකයින් කාන්තාව පිළිබද දක්වා ඇති සැලකිල්ල මැනවින් පැහැදිලි වන බව ඇය පෙන්වා දුන්නාය .

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම  තීරක බලය පිරිමි පාර්ශවය වෙත පමණක් පවරාගෙන සිටින බව සදහන් කරන ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ මේ නිසාම වත්මන් දේශපාලන කරළිය තුළ කාන්තාවට සුදුසු තැන නොලැබී ඇති බවයි. මෙවර මැතිවරණය සඳහා නාම යෝජනා සැකසීමේදී සියලු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් විවෘත ඉල්ලීමක් කළ බව පෙන්වා දෙන ආරියවංශ මහත්මිය කියා සිටියේ අවසන් අපේක්ෂක ලැයිස්තු නිරීක්ෂණය කිරීමේදී එම ඉල්ලීම් සඳහා සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති බව පැහැදිලි වන බවයි.

මේ නිසා මෙවර ඉදිරිපත් කර ඇති අපේක්ෂිකාවන්  819 දෙනාගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමේ වගකීම මෙරට ඡන්දදායකයින්ගේන් බහුතරය වන කාන්තාවන්ගේ වගකීම බව ඇය මෙහිදී අවධාරණය කළේය. කාන්තා නියෝජනයට සැලකිය යුතු ඉඩක් අපේක්ෂක ලැයිස්තු වලින් ලබාදී නැතත්, අවස්ථාව ලබාදී ඇති කාන්තාවන් වත් පාර්ලිමේන්තුවට පත් කිරීම කෙරෙහි ඡන්ද බලය හිමි කාන්තාවන් අවධානය යොමු කළ යුතු බව ඇය කියා සිටියාය.

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress