මැතිවරණ දිනය ගැසට් කිරීමේ බලය තිබු ස්වාධින මැතිවරණ කොමිසමට; මැතිවරණයට පෙර, සෞඛ්‍ය මාර්ගෝපදේස ගැසට් කිරීමේ බලයක් උරුමව නැද්ද?
Posted on July 15th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ

අපට ඇත්තේ යහපාලනය විසින් බලගැන්වූ මැතිවරණ කොමිසමකි. මේ කොමිසමට කිසිවෙක් නොසිතන ආකාරයේ බලතල රාශියක් පවරා ඇත. එබැවින් මැතිවරණ කොමසාරිස් තුමා බොහෝවිට කටයුතු කරන්නේ විධායක බලතල ඇති මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙසය. එය සැබෑ ස්වාධින මැතිවරණ කොමසාරිස්වරයෙකුට නම් ඉතා හොඳ තත්වයකි. ඇත්ත වශයෙන්ම ඔහු, ඔහුට අවැසි ආකාරයට සියල්ලම සිදුකරමින් සිටි. එසේ කිරීමට ඔහුට බලතල ඇත. තවද රජය ඔහුගේ කිසිදු කටයුත්තකට බලපෑම් නොකරමින් නිහඬව බලා සිටි. රජයට ඊට එහා දෙයක් කිරීමට 19 වෙනි ව්‍යාවස්ථා සංශෝධනයෙන් ඉඩක් ලබාදී නොමැත. රටේ ජනතාවට මැතිවරණයක් ලබාදීම දැන් රජයට කල නොහැක. එය සිදුකල හැක්කේ මැතිවරණ කොමිසමට පමණි.

මිට පෙර වතාවකදීද මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව ජනතාවට පාර්ලිමේන්තුවක් තෝරා ගැනීමට මැතිවරණයක් දීමට සැරසුන වේලාවේද එම මහා මැතිවරණය අධිකරණය විසින් වලකාලන ලදී. ඒ 19 වෙනි ව්‍යාවස්ථා සංශෝධනයට අනුව එසේ කිරීමට මහින්ද රාජපක්ෂයන්ට බලතල නැති බැවින් යයි පැවසිනි.

දැන් එවැනි බාධාවක් නැත. නමුත් මැතිවරණ කොමසාරිස්තුමා හැම විටකම මැතිවරණය පස්සට ඇදීම සිදුකරන බව ඉතා පැහැදිලිය.දැන් ඔහුගේ අරමුණට පිහිටට ඇත්තේ කොරෝනා වසංගතයයි. දැන් අපිට පෙනෙන්නේ කොරෝනා වසංගතය ඇතිතාක් කල් මේ මැතවරණ කොමිසමට මෙහි මහා මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැති බවයි. පසුගිය දිනවල රටපුරාම අත්හදා බැලීම් සංදර්ශන පවත්වමින් මැතිවරණයට සුදානම් වූ මැතිවරණ කොමසාරිස්තුමා, මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේස ගැසට් කරණ ලෙස කාටදෝ බලකරමින් ප්‍රකාශ නිකුත් කරමින් සිටි.

මෙරට සාමාන්‍ය ජනතාව වන අප සිතාගෙන හිටියේ “සෞඛ්‍ය මාර්ගෝපදේස” ගැසට් කිරීමට නියෝග කිරීමේ බලයක් ස්වාධින මැතිවරණ කොමසාරිස්තුමාට ඇතැය් යන මතයේය. ස්වාධින මැතිවරණ කොමිසම පිහිටුවීමට පෙර, මැතිවරණ නියෝග කඩකරනවා නම් වෙඩි තියන්න නියෝග කරනවා යයි කිවූ මැතිවරණ කොමසාරිස්තුමා, ස්වාධින මැතිවරණ කොමිසමේ සභාපතිවුවාට පසුව මැතිවරණ දිනය ගැසට් කිරීමේ බලය තියෙන්නත්; සෞඛ්‍ය මාර්ගෝපදේස ගැසට් කිරීමට බලය නොතිබෙන්නත් හේතුව කුමක්දැයි අපට නොදැනේ. ඇත්තටම එවැනි බලයක් නැති තත්වයට මැතිවරණ කොමසාරිස්තුමා වැටී ඇත්නම් එතුමා සිදුකල යුත්තේ තැන තැන ඒ සම්බන්ධව කියවමින් සිටීම නොව, එය ලිඛිතව අදාළ බලධාරීන්ට යොමු කිරීමයි. එවිට මැතිවරණ කොමසාරිස්තුමාගේ ඉල්ලීමට පිළිතුරු ලැබෙනු ඇත. එය සදාචාර සම්පන්න ක්‍රියා  පිලිවෙතයි. ඒ සඳහා එතුමාට බුද්ධිය පහල වේවා! යයි අපි පතමු. මැතිවරණය කල් දැමීමට අර අදින සියලුම පාර්ශවන්ගේ බලය විනාශ කොට ස්වාධින මැතිවරණ කොමිසමට නිදහස් මැතිවරණයක් පැවැත්වීමට හැකිවේවා!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress