අතාවුල්ලා, සම්ප්‍රදායික සුෆී මුස්ලිම් ජනයා, සහ තව්හිද් ජමාත් අන්තවාදය
Posted on August 17th, 2020

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සහ අධිකරණ කැබිනට් ඇමති ධුරයක් පිරිනැමීම සමාජයේ යම් කැළඹීමකට හේතු වී ඇත. එහෙත් ජාතික කොන්ග්‍රසයේ නායක ALM අතාවුල්ලා මන්ත්‍රීතුමා වෙනම තරඟ කර ජයගත් අතර ඔහුගේ පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හෝ ඔහුට අඩුම තරමින් රාජ්‍ය අමාත්‍ය ධුරයක් හෝ ලබා නොදීම ගැන අඩු තරමින් කතාබහක් හෝ ඇති වී නැත.

ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා අගමැති මහින්ද රාජපක්ෂ සමග සමීප සබඳතා පවත්වන්නෙකි. ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වඩාත් සමීපව ඇසුරු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව රහසක් නොවේ.

අතාවුල්ලා මහතා නැගෙනහිර මුස්ලිම් නායකයෙකු වන අතර ජනපදනමක් ඇති නායකයෙකි. සබ්රි මහතා උගතෙකු වන අතර කොළඹ – කළුතර ප්‍රදේශවල ඉපදී හැදී වැඩුනු අයෙකි. සබ්රි මහතා පොදුවේ මුස්ලිම් ජනතාවට ආමන්ත්‍රණය කරමින් ආණ්ඩුවට සහයෝගය ඉල්ලා සිටි අයෙකි. ඔහුගේ ආමන්ත්‍රණය දැනුනේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට නොව උගත් මුස්ලිම් ප්‍රජාවටයි.

අතාවුල්ලා මහතාගේ ආමන්ත්‍රණය අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවට වන අතර හතලිස් දාහකට ආසන්න මුස්ලිම් ජනතාවක් ඔහු සමග සිටගත් බව පැහැදිලි විය.

සබ්රි මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවුවත් අතවුල්ලාට වෙනම තරඟ ජයගැනීමේ අභියෝගයක් තිබිණි. සබ්‍රිට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දී අතවුල්ලාට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ අඩු තරමේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදිය යුතුව තිබිණි.

එහෙත් එය ඉටු කිරීමට තරම් මේ ආණ්ඩුව දූරදර්ශී වී නැත.

අතාවුල්ලා මුස්ලිම් ජනතාව අතර එතරම් ජනප්‍රිය නායකයෙක් නොවේ. ඒ ජාතික සහජීවනය ඔහුගේ මූලික තේමාවක් වන හෙයිනි.සුෆීවාදී සාම්ප්‍රදායික මුස්ලිම් බැතිමතෙකු වන ඔහුගේ පක්ෂයට වඩා වඩා තව්හීද් ජමාත් අනුගාමිකයෙකු වන රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂය නැගෙනහිරින් ඡන්ද ලබාගත්තේය.

ආණ්ඩුවේ වැඩි සැලකීමක් අතාවුල්ලාට නොලැබෙන බව නැගෙනහිර මුස්ලිම් ජනයා වටහාගතහොත් ඉදිරි මැතිවරණවලදී ඔවුන් අතාවුල්ලාගෙන් ඉවත් වීමේ අවධානමක් ඇත. එය මෙරට සිංහල මුස්ලිම් සහජීවනයට එතරම් හිතදායක නොවේ.මා එසේ පවසන්නේ ඇයි ?

සබ්රි සහ අතාවුල්ලා අතර බොහෝ අයගේ අවධානය යොමු නොවුණු තවත් වෙනසක් ඇති බව දැනගන්නට තිබේ. අතාවුල්ලා සුෆිවාදයට නැඹුරු සාම්ප්‍රදායික මුස්ලිම්වරයෙකි. අනෙක් අතට සබ්රි මහතා සුෆීවාදය හෝ සාම්ප්‍රදායික මුස්ලිම් බැතිමතෙකු නොවන බවද දැනගන්නට තිබේ.

ඔහු තව්හීද් ජමාතයට අයත් වන්නෙක් ද? මෙරට මුස්‌ලිම් සමාජයේ සම්ප්‍රදායික මුස්ලිම් සහ තව්හීද් වැනි වහබ්වාදී නව ප්‍රවණතා දක්නට ලැබෙයි. කන්තූරී දෙන, බයිත් සහ මවුලුත් ගායනා කරන, ෂියාරම්වලට ගරුකරන, මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සමරන,කත්තම් දෙන මුස්ලිම් බැතිමතුන් පිරිසක් සහ ඒවාට එරෙහි ව කටයුතු කරන පිරිසක් සිටින බව දිලිත් ජයවීර මහතාද ඇතුළු මෙරට බොහෝ දෙනෙකු නොදනිති.

සිංහලයන් මෙන්ම ගලේ බණ්ඩාර දෙවියන්ට සහ කිවුලේගෙදර අප්පුහාමි දෙවියන්ට ගරු කරන්නේ මෙරට සිටින සාම්ප්‍රදායික මුස්ලිම් බැතිමතුන් මිස වහබ්වාදීන් නොවෙති.

බේරුවල සිංහල මුස්ලිම් ගැටුමට සතියකට පමණ පෙර ඇතිවූ මුස්ලිම්-මුස්ලිම් ගැටුම සහ කාතන්කුඩියේදී සහරාන් කල්ලිය සහ ඊට එරෙහි මුස්ලිම් පිරිස අතර ගැටුම මේ දෙපිරිස අතර ගැටුම් බව මෙරට කී දෙනෙක් දනිත් ද?

මෙරට සෑම ප්‍රදේශයකම මේ මුස්ලිම් මුස්ලිම් ගැටුම දක්නට ලැබේ.මේ දෙපිරිස අතරින් මේ ආණ්ඩුවේ සහයෝගය හිමිවිය යුත්තේ සහරාන්ලා නියෝජනය කරන වහබ්වාදීන්ට ද?

එසේ නොවේනම් ජාතික සහජීවනයට කැපවුණු සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ටද යන්න ගැන ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට අවබෝධයක් නැති බව පෙනේ.

එමෙන්ම ජනපදනමක් ඇති අයටද නැත්නම් ජනපදනමක් නැති අයටද යන්න ගැනද ඔවුන්ට අවබෝධයක් ඇති බවක් නොපෙනේ.

පසුගිය ආණ්ඩුවේ ද ඇමතිකම් සහ වෙනත් වරදාන සියල්ලක් ම පාහේ ලැබුනේ වහබ්වාදීන්ට බව නොරහසකි.

යහපාලනය කොතරම් හොඳින් ක්රියාත්ම වූවාද යත් සහාරන්ට එරෙහිව කාතන්කුඩි පොලීසියට කෙරුණු පැමිණිලි විභාග කර ඔහුව අත්අඩංගුවට ගැනීමට ශ්‍රීලංකා පොලීසිය අපොහොසත් විය.

සහරාන් ට එරෙහිව මේ පැමිණිලි කර ඇත්තේ සිංහලයන් විසින් නොව ඒ ප්‍රදේශයේම සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ය යන්න මෙරට සමාජය තේරුම් නොගන්නේ ඇයිද යන්න ගැටලුවකි.

මට දැනෙනා හැටියට ඕනෑවට වඩා සිංහල,දෙමළ හෝ මුස්ලිම් උගතුන් කෙරෙහි විශ්වාසය තැබීමට යෑම නිසා මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කෙලවා ගැනීමට ඇත.

සමාජයෙන් දිගින් දිගටම මේ විරෝධය මතුවුවහොත් සබ්රි මහතා වුවද මේ තනතුරේ වැඩි කලක් නොසිටුණු ඇතැයි සිතමි.

සුමේධ වීරවර්ධන.- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress