අභ්‍යාසලාභී උපාධිධාරී පත්වීම් කප්පාදුව නතර කිරීමට ගත් තීරණය අගයමු. යළි කප්පාදුවක් නොකිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.
Posted on August 20th, 2020

උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය. National Center for Graduate. (NCG)

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ජනාධිපතිතුමනි,

අභ්‍යාසලාභී උපාධිධාරී පත්වීම් කප්පාදුව නතර කිරීමට ගත් තීරණය අගයමු. යළි කප්පාදුවක් නොකිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.


2020 මාර්තු 02 සිට ලබා දුන් සංවර්ධන නිලධාරී අභ්‍යාසලාභී පත්වීම් 13 000කට ආසන්න ප‍්‍රමාණයක් 2020.08.16 දින අවලංගු කිරීමත් සමඟ ගැටළුකාරී තත්වයක් උද්ගත විය. අප මධ්‍යස්ථානය කප්පාදුව පිළිබඳව සවිස්තරාත්මක සංදේශයක් 2020. 08. 18 දින ගරු ඔබතුමා ඇතුළු ආණ්ඩුවේ ප‍්‍රධානීන් වෙත යොමු කළ අතර එම සියලූ ඉල්ලීම් සලකා බලා ඊට විසඳුමක් ලෙස 2020. 08. 19 දින අමාත්‍ය මණ්ඩලයේ දී යළි උපාධිධාරීන් 10 000ක් සඳහා අවස්ථාව ලබා දීමට ගත් තීරණය පළමුව අපි අගය කරමු.

එමෙන්ම නව තීරණයත් සමඟ 2020. 02. 20 වන දිනට අයදුම්පත් යොමු කළ රැකියා විරහිත උපාධිධාරීන්ට අලූත් කප්පාදුවකට මුහුණ දීමට ඉඩ නොතබන මෙන් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය ආණ්ඩුවෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු.

2020 පෙබරවාරි 07 දින ප‍්‍රසිද්ධ මාධ්‍ය මගින් අයදුම්පත් කැඳවීමට අදාළව ප‍්‍රසිද්ධ කළ කරුණු අතර ‘‘සුදුසුකම් යටතේ – විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප‍්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමාවක් 2019. 12. 31 දිනට සම්පූර්ණ කර තිබීම.’’ (උපුටා ගැනීම – දිනමිණ/ලංකාදීප 2020.02.07).

2020 මාර්තු නිකුත් කළ අභ්‍යාසලාභී පත්වීම් නාමලේඛන 2020. 08. 16 දින අවලංගු කිරීමත් සමඟ නම් ඉවත් වූ උපාධිධාරීන්ට යළි පත්වීම් ලබා දීම සඳහා 2020.08.19 වන දින ගරු ඔබතුමා විසින් ඉදිරිපත් කර ඇති PS/NC/OMC/35/2020 හා 20/1187/301/002 අංක සහිත අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව අනුව ‘‘පිළිගත් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් 2019. 01. 01 දිනට පෙර සම්පූර්ණ කරන ලද යන්න’’ සඳහන් කර ඇත.

ඉහතින් උපුටා දක්වා ඇති අවස්ථා දෙකකදී සඳහන් 2019. 12. 31 දිනට පෙර හා 2019. 01. 01 දිනට පෙර යන දින වකවානු හරහා යළි උපාධිධාරීන් ප‍්‍රමාණයක් කප්පාදු නොකිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම අවස්ථා කීපයක දී රජය විසින් නිකුත් කළ සංඛ්‍යාත්මක තොරතුරු වලද යම් දෝශයක් පවතින බව කරුණු අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වේ.

2020 මාර්තු 01 වන විට නිකුත් කළ දත්ත අනුව
යොමු වූ අයදුම්පත් ප‍්‍රමාණය – 76 000
සුදුසුකම් ලැබූ ප‍්‍රමාණය – 56 000
මාර්තු 02 ට පත්වීම් ලබාදුන් ප‍්‍රමාණය – 45 582
ඉතිරිය – 10 418

2020 අගෝස්තු 16 දින නිකුත් කර ඇති වාර්තාව අනුව
තෝරාගත් ප‍්‍රමාණය – 49 050
පොරොත්තු ප‍්‍රමාණය – 987
ප‍්‍රතික්ෂේපිත – 40 092

2020 මාර්තු මස නිකුත් කළ සංඛ්‍යා දත්ත අනුව රැකියා විරහිත උපාධිධාරීන් 10 418 ක් ඉතිරිව සිටි අතර ආණ්ඩුව 2020. 08. 19 දින ගත් නව තීරණයට අනුව 10 000ක් එක් වූ පසු 2019.12.31 දිනට රැකියා විරහිතව සිටි 56 000 ක් වූ උපාධිධාරීන් සඳහා 2020 සැප්තැම්බර් 02 වන දිනට අභ්‍යාසලාභී උපාධිධාරී පත්වීම් හිමි විය යුතුව ඇත.

ගරු ජනාධිපති තුමනි, අභ්‍යාසලාභී මුල් පත්වීම් අවලංගු කිරීමත් සමඟ ගැටළු වලට මුහුණ දුන් ඉන් ඉවත් කළ පිරිස, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමත පෞද්ගලික විශ්ව විද්‍යාල හා විදෙස් උපාධිධාරී ලාංකීය උපාධිධාරීන් පිරිස හා ඌන සේවා උපාධිධාරීන්, මීට පෙර බඳවාගැනීම් වලදී විවිධ හේතූන් මත අසාධාරණයට ලක්ව ඇති උපාධිධාරීන් යන සියලූ පාර්ශව වලට රැකියා අවස්ථාව හිමිවන පරිදි කිසිදු කප්පාදුවකින් තොරව මෙම වැඩ පිළිවෙල අවසන් කරන මෙන් අප මධ්‍යස්ථානය ඉතා  ඕනෑකමින් හා වගකීමෙන් ඉල්ලා සිටිමු.

ඉදිරියේ දී යම් හෙයකින් රැකියා අවස්ථා හිමි නොවී උපාධිධාරීන් අසාධාරණයකට ලක් වුවහොත් එම උපාධිධාරීන්ගේ අයිතීන් වෙනුවෙන් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය තවදුරටත් ක‍්‍රියා කරන බවද කාරුණිකව දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු

මහේෂ් විමුක්ති  
කැඳවුම්කරු
(රැකියා විරහිත උපාධිධාරී සංගමය)

මහේෂ් අඹේපිටිය
කැඳවුම්කරු
(බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකමුතුව)

සමන්ත ජයකොඩි
කැඳවුම්කරු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress