සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකු පිළිබඳ ගරු අගමැතිතුමාගේ අවධානය යොමු වෙයි
Posted on August 22nd, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය

ජාතික පුවත්පතක පළ වූ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් 46 දෙනෙකු මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර තුළ සිටීමට සිදුව ඇති පුවතක්, සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.

මෙම පුවත පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, දරුවන්ට නිදහස ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස,  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දී තිබේ.

ගැබිනියන් වශයෙන් සිටින අතරතුරදී හා අලුත උපන් දරුවන් සිටින අතරතුරදී බන්ධනාගාර ගත වූ මව්වරුන්ගේ, අවුරුදු පහට අඩු වයසේ පසුවන මෙම දරුවන් 46 දෙනා අධිකරණ නියෝග මත මේ වන විට මව්වරුන් භාරයේ රඳවා තබා ඇත.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව මෙම දරුවන් පිළිබඳව ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන්  අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් කරුණු විමසා සිටියේය.

එහිදී ගරු අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සියලු තොරතුරු රැස් කරමින් පවතින බවයි. එම දරුවන්ට නිදහස ලබාදීමට අදාළ නෛතිකමය පසුබිම හා  ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ඉදිරියේදී  කඩිනමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව දැනුම්වත් කරන බව ද ඇය ප්‍රකාශකර සිටියාය.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගෙන් ද  විමසීමක් කළේය. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් මේ වන විටත් කඩිනමින් තොරතුරු රැස් කරමින් පවතින අතර, එම මව්වරුන්ගෙන් බහුතරයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අය බවයි. ඊට අදාළ තොරතුරු සම්බන්ධයෙන් කඩිනමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට  ලබා දෙන බව ද  තුෂාර උපුල්දෙනිය මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress