දිවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවායයි කොරහේ කිඹුලන් දකිමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව 19යට පැවැත්විය යුතු ජනමතවිචාරණය වළක්වන්නේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන 19ය ආරක්ෂා කරන අය කවුද?
Posted on August 24th, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

වර්ෂ 2002 දීත් 18වන සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බව තවමත් රටේ කිහිප දෙනෙක් දන්නේ නැත.

2002 සැප්තැම්බර් මස 18වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ 2002 අගෝස්තු මස 12වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් පිටුව පහත දක්වා ඇත.(ඇමිණුම 01)

ඉහත දැක්වෙන්නේ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නමින් වූ දීර්ඝ නාමයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පළමු 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයයි.

එකී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගන්ති 6කින් පමණක් යුක්ත වූ අතර, ඉන් යෝජනා කර තිබුණේ 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රීති, සභාවේ සාමාජිකයන්ට ගෙවිය යුතු චේතන, සභාවට එරෙහිව නඩු පැවරිය නොහැකි බව ඇතුලු කාරණා වේ.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 18වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුව විසින් පියවර නොගැනීම නිසා එකී 18 එතනින්ම අවසන් විය.

නැවත 18ක් පර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ වර්ෂ 2010 දී වන අතර එකී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගත් පාර්ලිමේන්තුව එය පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුලුව 2/3ක බහුතර ඡන්දයෙන් සම්මතකර විධිමත් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත්තේය. එකී 18ට නීතියක් බවට කථානායකවරයා සහතිකය යොදන ලද්දේ 2010 සැප්තැම්බර් 09 වැනි දිනය.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පනත් කෙටුම්පත් දෙක.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියව සිටියදි, 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ පළ කර ඇත.

එහි මුල් පිටුව පහත දක්වා ඇත. (ඇමිණුම 02)

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19ය මගින් ඉතා වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කර තිබූ අතර, ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට තිබු බලය/ අයිතිය අහිමි කිරීමයි.

එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එකී විභාගය අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනා ඒකමතිකව තීරණය කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම සීමාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවට සම්බන්ධ හෙයින් එකී 19 නීතියක් වීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලුව 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය ලබා දිය යුතු බවයි. 

කිසිවෙකුට හෝ ඒ සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19යට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය කියවීමෙන් එකී සැකය දුරුකරගත හැකිය.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හේතුවෙන් එතනින්ම අවසන් විය.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 18 සහ 19 තව දුරටත් ඉදිරියට ගොස් නීතියක් බවට පත් නොවූ නිසා වර්ෂ 2010 වන විට රටේ තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 17ක් පමණි.

ඒ අනුව 2010 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නම් කරන ලද්දේ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමිනි. ඒ 2002 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 18වන සංශෝධනය නීතියක් වීමට ඉදිරි පියවර නොගත් හෙයිනි.

2010 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයට අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලුව 2/3 ඡන්දයෙන් සම්මත කර කථානායකවරයාගේ සහතිකය යොදා ක්‍රියාත්මක කරනු ලැබීය.

ඉන් පසු නැවත වර්ෂ 2015 දී ද නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

අග‍්‍රාමාත්‍ය සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින්, ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, ද්විත්ව පුරවැසියන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම වැළක්වීම, ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුවේ කාල සීමාව අඩු කිරීම, ජනතාවගේ ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කිරීම (85.2 ව්‍යවස්ථාව ඉවත් කිරීම) ඇතුලු විධිවිධාන 17ක කාරණා නීතියක් කිරීමට උත්සාහ කර තිබුණි.

එහි මුල් පිටුව පහත දක්වා ඇත.(ඇමිණුම 03)

දෙවන වරටත් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු තිදෙනෙකු විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කළ අතර 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාල විධිවිධානය හැර අනෙක් විධිවිධාන 16 සම්බන්ධව තීරණය එම විනිසුරුවරු තිදෙනා විසින් පාර්ලිමේන්තුවට දන්වා යවා ඇත.

2002 දී පාර්ලිමේන්තුයට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කෙරෙහි අවධානය යොමු නොකර 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර දෙවන වර සහ තුනවන වර  කියවා පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය පමණක් ලබා ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව යටතේ සිය සහතිකය යෙදීමට එවකට සිටි කථානායකවරයා පියවර ගෙන ඇත. 

මෙය 2002 දී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 70 ව්‍යවස්ථාව සංශෝධනයට උත්සාහ කළ අවස්ථවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් විනිසුරු 7දෙනාගේ ඒකමතික තීරණය උල්ලංඝනය කිරීමක් වන අතර එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය, සහ 85.1 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුගමනය කිරීමෙන් බැහැර වීමට සහ ජනමතවිචාරණයක් නොපවත්වා 70 ව්‍යවස්ථාව වැරදි ලෙස සංශෝධනය කිරීමට 2015 පාර්ලිමේන්තුව ක‍්‍රියා කිරීම බලවත් දෝෂයක් වන අතර එය 2002 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අපහාස කිරීමක්ද වෙයි.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19යේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීම අනිවාර්යයෙන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 දෙනා ඒකමතිකව තීරණය කර තිබියදී, එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට ගරු නොකර, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසවන ආකාරයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කළ හැකි නඩු නිමිත්තක් ඇතිකරමින් 2015 දී පාර්ලිමේන්තුව විසින් 70 ව්‍යවස්ථාව සංශෝධනය වූ ලෙස ක්‍රියා කරවීම සහ එමගින් මුලු රටම නීතිවිරෝධී ක්‍රියාවලියකට ඇද දැමීම වහා නිවැරදි කරනවා වෙනුවට දිවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවායයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරගෙන යන සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන 19ය ආරක්ෂා කිරීම කිසිසේත් සුදුසු නොවේ.

වත්මන් ජනාධිපතිවරයාද 2002 සහ 2015 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 19 සම්බන්ධයෙන් සහ ඒවා අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණ පිළිබද අවධානය යොමු කර 9වන පාර්ලිමේන්තුවේ කතානායකවරයාට දැනුම් දිය යුත්තේ 19යට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව නිවැරදි සටහන යොදා 2015 දී සිදුකළ වැරැද්ද නිවැරදි කරන ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.1 ව්‍යවස්ථාවේ පියවර එනම් 19යට ජනමතවිචාරණයක් පැවැත්වීමට අදාල පියවර තමන්ට ගැනීමට  අවශ්‍ය කටයුතු කර දී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු කරන ලෙසයි. 

එසේ නොකර 19ය සංශෝධනය කිරීමට ගියහොත් එයට සම්බන්ධව සියලු දෙනාටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාව යටතේ 2002 දී 19යට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක් වීමට සිදුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාව මෙසේය. ( ඇමිණුම 04)

දිවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තු එනවායයි කොරහේ කිඹුලන් දකිමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරගෙන යන සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන 19ය ආරක්ෂා නොකර, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු කර 19ය සම්බන්ධයෙන් ජනමතවිචාරණයක් පවත්වා නීතියේ පාලනය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත් කටයුතු කිරීම නීතිමය අවශ්‍යතාවයකි.

arunaunawatuna@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress