දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය සීතා අරඹේපොල අමාත්‍යතුමියගේ නිරීක්ෂණයට.
Posted on August 24th, 2020

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන,පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය

Covid 19 වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය ( Chest Compressor Machine)  අද දින නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් නිරීක්ෂණය කළා ය.  මෙම යන්ත්‍රය නිර්මාණය කළ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යෙයෙක් වන ඩිල්ශාන් අබේවර්ධන මහතා විසින් මෙම යන්ත්‍රය අමාත්‍යතුමියගේ නිරීක්ෂණයට යොමු කරන ලදි.

Covid 19 වෛරස් ආසාදනය වේගයෙන් පැතිරී ගිය පසුගිය කාලසීමාව තුළ දී, එය පාලනය කිරීම, පර්යේෂණ කටයුතු, ප්‍රතිකාර කටයුතු ආදිය සඳහා නව නිර්මාණ 780 ක් පමණ මෙරට දී නිර්මාණය විය. ඒ අතරෙන් එකක් වූ මෙම MCPR යන්ත්‍රය සඳහා මීට මාස කිහිපයකට ඉහතදී    පේටනට් බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව ඩිල්ශාන් අබේවර්ධන මහතා විසින්  එය  සීතා අරඹේපොල මහත්මියගේ අවධානයට යොමු කළේය. එහි දී අරඹේපොල මහත්මිය විසින් එම යන්ත්‍රයේ වැඩි දියුණු විය යුතු විශේෂ අංග කිහිපයක් පිළිබඳව පෙන්වා දුන්නාය. ඒ අනුව ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය  (NMRA) ‍සහ කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මඩුල්ලකගේ ද,  සහයෝගයෙන් එම යන්ත්‍රය වැඩි දියුණු කර මේ වන විට ටොස් ලංකා ආයතනය සමග එක්ව වාණිජකරණය කිරීමේ කටයුතු ද සම්පාදනය කර තිබේ. අද දින අමාත්‍යතුමිය විසින් නිරීෂණය කළේ එම වැඩිදියුණු කළ MCPR යන්ත්‍රය වන අතර මේ වන විට මෙරට නව නිපැයුම් විෂය බාර  අමාත්‍යතුමිය ලෙස එය  නිරීක්ණය කිරීම විශේෂත්වයකි.

මෙවැනි යන්ත්‍රයක් විදේශයන්ගෙන් ආනයනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 48 ක් පමණ වැය වන බවත්, මෙරට දී මෙම දේශීය යන්ත්‍රය රුපියල්  ලක්ෂ 2.5 කට නිර්මාණය කළ හැකි බව පවසන ඩිල්ශාන් අබේවර්ධන මහතා, මෙවැනි නිරවද්‍යතාවක් සහිත වාණිජකරණ මට්ටමේ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ලබාදුන් දිරිගැනවීම සහ පන්නරය තමාට වැදගත් පිටුවහලක් වූ බව ද පැවසීය.

මෙම යන්ත්‍රය නිර්මාණය කිරීම පිළිබඳව ප්‍රසංශාව සහ සුබ පැතුම් එක් කළ අමාත්‍යවරිය වත්මන් රජය යටතේ ඉදිරියේ දී මෙවැනි නිර්මාණයන් සඳහා අවශ්‍ය සහයෝගය සහ මගපෙන්වීම නොඅඩුව ලබා දෙන බව ප්‍රකාශ කළා ය.

ප්‍රබෝත් උඩුගම

ගරු නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන,

පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමියගේ

මාධ්‍ය ලේකම්.

One Response to “දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය සීතා අරඹේපොල අමාත්‍යතුමියගේ නිරීක්ෂණයට.”

  1. Lionel Says:

    මාධ්‍ය ලේකම්ලා නම් දැන්ම වැඩ පටන් අරගෙන වගෙයි!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress