19ය නීතියක් නම් 19 ය ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතුද?
Posted on August 25th, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බවත්, ඉන් එකක් 2002 දී සහ අනෙක 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බව සමහරක් නොදන්නවා වුණාට බොහෝ දෙනා දනිති.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියව සිටියදී 2002 දී ය.

2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් එකී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ පළ කර ඇත.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19ය මගින් ඉතා වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කර තිබූ අතර, ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට තිබු බලය / අයිතිය අහිමි කිරීමයි.

එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එකී විභාගය අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනා ඒකමතිකව තීරණය කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම සීමාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවට සම්බන්ධ හෙයින් එකී 19 නීතියක් වීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලුව 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය ලබා දිය යුතු බවයි. 

කිසිවෙකුට හෝ ඒ සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19යට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය කියවීමෙන් එකී සැකය නිරාකරණය කරගත හැකිය.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ තිබූ ජනමතවිචාරණයක අවශ්‍යතාවය හේතුවෙන් එතනින්ම අවසන් විය.

ඉන් පසු නැවත වර්ෂ 2015 දී ද නැවත 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණ අතර, අග‍්‍රාමාත්‍ය සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එයයි.

2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින්, ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, ද්විත්ව පුරවැසියන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම වැළක්වීම, ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුවේ කාල සීමාව අඩු කිරීම, ජනතාවගේ ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කිරීම (85.2 ව්‍යවස්ථාව ඉවත් කිරීම) ඇතුලු විධිවිධාන 17ක කාරණා නීතියක් කිරීමට උත්සාහ කර තිබුණි.

දෙවන වරටත් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු තිදෙනෙකු විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කළ අතර 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාල විධිවිධානය හැර අනෙක් විධිවිධාන 16 සම්බන්ධව තීරණය එම විනිසුරුවරු තිදෙනා විසින් පාර්ලිමේන්තුවට දන්වා යවා ඇත.

2002 දී පාර්ලිමේන්තුයට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කෙරෙහි 

අවධානය යොමු නොකර 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර දෙවන වර සහ තුන්වන වර  කියවා පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය පමණක් ලබා ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව යටතේ සිය සහතිකය යෙදීමට එවකට සිටි කථානායකවරයා පියවර ගෙන ඇත. 

මෙය 2002 දී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 70 ව්‍යවස්ථාව සංශෝධනයට උත්සාහ කළ අවස්ථවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් විනිසුරු 7දෙනාගේ ඒකමතික තීරණය උල්ලංඝනය කිරීමක් වන අතර එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය, සහ 85.1 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුගමනය කිරීමෙන් බැහැර වීමට සහ ජනමතවිචාරණයක් නොපවත්වා 70 ව්‍යවස්ථාව වැරදි ලෙස සංශෝධනය කිරීමට 2015 පාර්ලිමේන්තුව ක‍්‍රියා කිරීම බලවත් දෝෂයක් වන අතර එය 2002 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අපහාසයක් කිරීමක්ද වන බව මෙම ලියුම්කරු සහ තවත් අය ජනාධිපතිවරයාටත්, නීතිපතිවරයාටත්, අධිකරණ ඇමතිවරයාටත් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ඇතැම් නීති විශාරදයන් කියා සිටින්නේ මේ වනවිට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයා සහතිකය යොදා ඇති හෙයින් එය නීතියක් වී තිබෙන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා කිහිපයකදීම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අදාල කර ගනිමින් නඩු තීන්දු (Judgement) ලබා දී ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමන් ඉදිරියට එන ඉල්ලීම්වල විවිධත්වය අනුව විනිශ්චයන් 4ක් ලබා දේ. වරෙක නඩු තීන්දු (Judgement) ලබා දේ, වරෙක තීරණ (Determination) ලබා දේ, වරෙක මතය ( Openion) ලබා දේ, වරෙක රීති (Rule) නිකුත් කරයි. 

[මෙහිදී සළකා බැලිය යුත්තේ නඩු තීන්දු (Judgement) සහ තීරණ (Determination) වේ.]

මෙම ලියුම්කරු 19ය නීතියක් වී නැති බවට වන ස්ථාවරයේ සිටින අතර 19ය නීතියක් ලෙස සිතන අයට මෙම ලිපිය මගින් මතුකරන ප්‍රශ්නය යොමු කරමි.

එනම්, 19ය නීතියක් නම් 19 ය ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතුද?

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19යේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීම අනිවාර්යයෙන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 දෙනා ඒකමතිකව තීරණය කර තිබියදී, එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව 2015 දී 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර තිබිය යුතු බව 19ය නීතියක් ලෙස සළකන අයටද පිළිගැනීමට සිදුවේ. මන්ද 2015 දී ඉදිරිපත් කළ 19 මගින් 70 ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති අතර එසේ කළ යුත්තේ 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් විනිසුරුවරු 7දෙනාගේ තීරණයට අනුවය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19 නීතියක් කරගෙන ඇත්නම් එයට සම්බන්ධව අයගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණ තිරණ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ ජනමතවිචාරණයක් පවත්වා ජනතාව අනුමැතිය දීමෙන් පමණි.

ජනමතවිචාරණයක් නොපවත්වා 70වන ව්‍යවස්ථාව සංශෝධනය කර තිබුණද, මේ වනවිට එය නීතියක් නම් එය ඉවත් කිරීමේදීද ශ්‍රේෂ්ඨාධිකරණ කියූ ජනමතවිචාරණයක අවශ්‍යතාවය පැන නගී. 

(නීති පැනවීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව කියා නීතිය වැරදි මාර්ගයෙන් පනවාගෙන ඇතිවිට එය ඉවත් කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව කිව හැකිද?)

70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ කියා ඇති විට වැරදි මාර්ගයෙන් එකී සංශෝධනය කරගෙන ඇතිවිට සහ එකී සංශෝධනය නීතියක් ලෙස සළකා ප්‍රතිබන්ධනය වී ඇති විට, නැවත 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනනතවිචාරණයක් අවශ්‍ය නැති බව කිව හැකිද? 

මේ වනවිට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සම්බන්ධව කුමන්ත්‍රණකරුවන් සියලු දෙනා සමාජයේ නිරාවරණ වීම ආරම්භ වී ඇත.

අපි බලා සිටිමු.

arunaunawatuna@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress