“පාංශු” සිනමා සිත්තම : සංහිඳියාවේ සභ්‍යත්වය ලෙස
Posted on September 6th, 2020

බන්දුල චන්ද්‍රසේකර

විසාකේස චන්ද්‍රෙස්කරම්ගේ  පාංශු” මෙරට සිදු වු දේශපාලන සංසිද්ධියක් විෂය කරගත්  සිනමා නිර්මාණයකි. 1988⁄89  දේශප්‍රේමී”  නැගිටීම, කුරිරු රාජ්‍ය මර්දනය හා පුද්ගල අතුරුදහන්වීම් සහ දේශපාලන ඝාතන එහි පසුබිම් කතාව වේ.

අතුරුදහන් වූ කැරලිකරුවෙකුගේ මවකගේ (බබා නෝනා) දෘෂ්ඨියෙන් දිග හැරෙන කතා තේමාව සහ සිද්ධි සමූහය, එම කැරලිකාර පසුබිමට වඩා ඉන් වසර 6 ට පසු එළ‍ඹි පශ්චාත් කැරලිකාර කාලපරිච්ඡේදය පාදක කොට ගනී.  එනම්, කැරැල්ලේ වින්දිතයන් සහ චෝදනාකරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ගේ සමාජ පසුබිම සහ දුක් දෝමනස්සයන් සිනමා රූපී පැහැයෙන් එහි අඩංගුය. යුක්තිය සඳහා වූ අරගලය මෙන්ම යළි ජීවිතය ජීවත්කිරීමේ අති මානුෂීය කතා පුවතද  පාංශු” හි තේමාවට ඇතුළත් ය.  

නිශ්චිත දේශපාලන පසුබිමක සිදු වු මෙම සිද්ධි දාමයෙන් අනතුරුව,  ඊට විවිධ ලෙස ප්‍රතිචාර දක්වන රාජ්‍යය: ආරක්ෂක අංශ, යුක්තිය පසිඳලීමේ ආයතන පමණක් නොව ආගමික සංස්ථාව, දේශපාලන පක්ෂ ඇතුළු පුළුල් සමාජ සත්තාව ම මෙම සිනමා සිත්තමේ සිතුවම් අතර වේ. එම සිතුවම්, හුදෙක් රූපමය නොවී එහි දේශපාලන සහ තත්කාලීන මාතවාදී  අර්ථයෙන් ම සිතුවම් ව තිබීම, නිර්මාණකරුවාගේ පුළුල් දෘෂ්ඨිය කියා පෑමකි ! 

දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ සන්නන්ධ නැගිටීම්, 88/89 යුගයට පමණක් සීමා නොවිණ. උතුර- දකුණ, ජාති- කුල- ආගම් භේදයකින් තොරව තරුණ ලේ හැලුණු ඛේදනීය ඉතිහාසයක් අපේ රටට ඇත. එය මේ දිවයිනට පමණක් සීමා නොවුණු ඉතිහාසයකි. මේ කුමන අරගලයක්, කවර දේශපාලන අපේක්ෂාවක් මුල් කරගෙන, කොතැන ඇති වුව ද එහි ප්‍රචණ්ඩත්වය ගැබ්ව ඇත්නම්, එය මානුෂීය වටිනාකම්වල සීමාවෙන් ඔබ්බට යෑම වැලැක්විය නො හැක්කකි. රාජ්‍යය යනු මතවාදය මෙන්ම මර්දනීය යන්ත්‍රයක් බැව් ඉතිහාසය අනේක වාරයක් ඔප්පු කර හමාරය. එහි පාලකයා කවරෙක් ද, මතවාදය කුමක් ද යන්න තවදුරටත් වැදගත් කරුණු කාරණා නොවේ. එසේ නොවන පරමාදර්ශ ලෝක ඉතිහාසයේ නොමැත.

ලෝකේ සෑම අරගලයක්ම, කැරලිකරුවන්ගේ ජයග්‍රහයන්ගෙන් කෙළවර වූ වීර කාව්‍යයන් නොවේ. බොහෝ අරගල, පරාජිතයන්ගේ මෙන්ම වින්දිතයන්ගේ  නැතහොත්  ඔවුන්ගේ සමීපතම ලේ ඥාතීන්ගේ, සහෘදයන්ගේ තවත් අවිහිංසක අරගලයක ඇරඹුමකි. ඒ, මානව නිදහස හා යුක්තිය උදෙසා වු වීශ්වීය අයිතිය පිළිබඳ ඇති සාපේක්ෂ මැදිහත්වීම් නිසාය. නැතහොත්, දියුණු මානව ශිෂ්ඨාචාරයක් හා සහ්‍යත්වයක් සඳහා වූ උසස් වටිනාකම්, අප විසින් නැවත නැවතත් රැකගනිමින් ප්‍රතිශ්ඨාපනය කිරීම දියුණු මිනිස් අරගලයක් වී ඇති නිසාය. කළ යුතු නිසාය. අති දුෂ්කර ගම්මානයක ජීවත්වන බාබා නෝනාට ද එය සාධාරණය. මානව අයිතිය පිළිබඳ විශ්ව ප්‍රකාශය නො කියූ වුව ද,  තම පුතු කෙරෙහි වු අනුපමේය දාරක ස්නේහයෙන් යුතුව වුව ද, බාබා නෝනා සිදු කරන්නේ  එම දේශපාලන අරගලය යි. මානව නිදහසේ සදාතනික සටනයි!

එහෙත් ඇයි? මේ අහිංසක රෙදි අපුල්ලන මෑණියෝ තම දරුවා පැහැරගෙන ගොස් අතුරුදහන් කළ (ඝාතනය කළ) ආරක්ෂක නිළධාරියා උසාවියේ දී පැහැරගැනීමේ    චෝදනාවෙන් මුදවා හැරීමට අනුබලයක් වන්නේ? තම වෛරයට සහ පිළිකුලට බදුන් වූ ඝාතකයාගේ ගැබ්ගත් යොවුන් බිරිඳට අවසානයේ දී පැන් පොදක් දී ඇගේ කන්නලව්ව ඇසීමට තරම් හිත් දෙන්නේ? තම පුතුගේ වෙඩි පහරින් මිය ගිය විරුද්ධ මැතිවරණ අපේක්ෂිකාවගේ නව යොවුන් දියණියට මල්වර දිනයේ තම කුල උරුමයෙන් ගෙන ආ වතාවත් සිදුකර ශුභාශිංසන පතන්නේ ? මේ සියල්ලට පිළිතුර, ඇගේ අරගලය පාවා දීම ද? මානව හිමිකම් නීතිඥයකු මෙන්ම සාහිත්‍යකරුවෙකු වූ විසාකේස චන්ද්‍රසේකරම්, තම වෘත්තීය ජීවිතය ද එහි සදාතනික වටිනාකම් ද සිනමාකරුවෙකු ලෙස පාංශු” හි බාබා නෝනාගේ චරිතයෙන් පාවා දී ඇත් ද?  මගේ පිළිතුර නම් නැත. නැත යන්න ය.

තම අතුරුදහන් වු පුතා වෙනුවෙන් යුක්තිය සොයන බාබා නෝනා, ඇගේ වෛරීය සිත සංහිඳියාව කෙරෙහි පහදවා ගන්නේ, නිමක් නොමැතිව තම පුතු සොයන ගමනේ රෝහලක දකිනා, බෞද්ධ චරිතාපදානයේ කියවෙන සංකල්පීය සතර පෙර නිමිති” නිසාවෙනි. ඈ කුමන මානසිකත්වයෙන් පසු වුවද, කුල පීඩනයෙන් පමණක් නොව ද්‍රරිදතාවයෙන් පීඩා වින්ද ද රටේ පොදුජන සංස්කෘතික විඥාඥයෙන් මීදීමට ඇයට  නොහැකි වන්නේ ය. ජීවිතය පිළිබඳ ගැඹුරු යථාවාබෝධය, බෞද්ධාගමික දර්ශණය, ඈගේ ඇට මිදුලු තෙක් කිඳා බැස ඇති නිසාය. එය විසාකේස ට අනුව නම්, ඇයගේ වැඩවසම් මනස ඇයට ම වද දීමකි. (ඔහු අගෝස්තු 23 අනිද්දා පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව). නමුත් එවන් ඌණීත අර්ථ දැක්වීමකට ගොනු කිරීමට හැකි යැයි මම නොසිතමි. එවන් සීමා නොවුණු ඉසව්වක් දේශපාලන අර්ථයෙන් ම මෙහි නොවේ ද?

ප්‍රචණ්ඩත්වයෙන් පිරි යුද්ධයක හෝ කැරැල්ලක වින්දිතයන් සහ චෝදනාකරුවන් යනු අපට අභිමුඛවන පුද්ගලයෝම නොවෙති. මන්ද, එය සෘජු පුද්ගල ගැටුමකට එහා ගිය මතවාදී ගැටුමකි. සංස්ථාපිත යාන්ත්‍රික ගැටුමකි. එහි ඝාතනයට ලක්වූවන් මෙන්ම ඝාතකයෝද උන් නොවුන් ගේ පුද්ගලික ගණු දෙණුවක් බේරා ගැනීමට ගැටුණා යැයි කිව හැකි ද? ඔහුනොවුන් මෙහෙය වූ බාහිර හෝ අදිසි බලවේගයක් වීද?  ඒ නිසාම, රාජ්‍යය ජනතාව ජීවත් කරන සේ ම තවත් විටෙක එම ජනතාවම මරා දමනු ලබන්නේ ඒ අර්ථයෙන් ම ය. පාලකයෙක් බලයෙන් පහකොට තවත් පාලකයෙක් බලයේ පිහිටුවද, නඩත්තු කරන්නේ රාජ්‍යයම යන අර්ථයම ය.  ගැටුම් පාර්ශවයන්ගේ අමිහිරි බේදණීය අතීතය යළි යළිත් පාපොච්චාරණය කරගනිමින් හෝ වැළලී ගිය මානව නිදහස, යුක්තිය යළි ප්‍රතිශ්ඨාපනය කිරීම යුක්ති යුක්තය. එහෙත්, සංහිඳියාවට මග විවර වනුයේ අනෙකා කෙරෙහි තමා ඇති කරගන්නා ජීවිතාබෝධය මතය. පාංශු” සිනමාව ඒ ගැඹුරු දර්ශණය අප ඉදිරියේ තබා ඇත. විසාකේස චන්ද්‍රසේකරම් ඒ අර්ථයෙන් විශිෂ්ඨ සිනමා නිර්මාණකරුවෙකි.

අතිශය කුරිරු අභ්‍යන්තර බේදුම්වාදී ත්‍රස්තවාදී ගැටුමකින් පසුවත් අප ඒ සියළු වින්දිතයන් කෙරෙහි සාධරණ යුක්තියක් ලබාදී නොමැත්තේ, පාංශු” සිනමා සිත්තමෙන් සිතුවම්වන සහ්‍යත්වය, අපගේ දේශපාලන ශබ්ද කෝෂයට සහ ක්‍රියාකාරිත්වයට මුසු කරගැනීමට අපගේ දේශපාලඥයන් තවමත් අපොහෝසත් වී ඇති නිසාය.

බන්දුල චන්ද්‍රසේකර

banchasekara@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress