විස්සේ හරි වැරැද්ද
Posted on September 6th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

 19 වැනි සංශෝධනය” කියන නමින් හඳුන්වපු ව්‍යවස්ථා මංකොල්ලයට කාරණා දෙකක් පදනම් කරගෙන අපි තරයේ ම විරුද්ධ වුනා. මූලිකව ම, ඒ වැඩේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, නීති විරෝධි වැඩක්. ඒ කාරණය විස්තරාත්මක විදිහට අපි පැහැදිළි කරලා තියෙනවා.

දෙවනුවට අපි අවධාරණය කළේ මේ ව්‍යවස්ථා මංකොල්ලය හින්දා ඇති වෙච්ච දේශපාලන අස්ථාවර බව. 2018 ඔක්තෝබර් මාසයේ ඉඳලා 2019 අවුරුද්දේ ජනාධිපතිවරණය පවත්තන කල් රට මුළුමනින් ම අකර්මන්‍ය වුනා. ආරක්‍ෂක මණ්ඩලය රැස්වුනේ නෑ. අයවැයක් සම්මත කරගත්තේ නෑ. මහ බෝමබ පිපුරුම් මාලාවකින් විශාල පිරිසක් මිය ගියා. සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටුණා. සමාජ – ආර්ථික හැම පැත්තකින් ම රට එක තැන පල්වෙන්න පටන් ගත්තා.

මේ සමස්ත බිඳ වැටීමට මුළුමනින් ම හේතු වුනේ විධායකය සහ ව්‍යවස්ථාදායකය කියන අංශ දෙක ම දුර්වල වීම. 19 වැනි සංශෝධනය” කියන මංකොල්ලය හින්දා ජනාධිපති ධූරය අඩපණ කරලා තිබුණා. බහුතරය අහිමි වෙච්ච හින්දා ව්‍යවස්ථාදායකයත් අකර්මන්‍ය වුනා. ජනාධිපති ධුරයත් දුර්වල කරලා, පාර්ලිමේන්තුවත් අස්ථාවර වුනා ම රට පාලනය කරන්න පුළුවන් ද? මේ ගැන හොඳින් හිතලා බලන්න.

2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පස්සේ තවත් අර්බුදයක් ඉස්සරහට ආවා. එදා ඉඳලා අද වෙන කල් රටට ආරක්‍ෂක ඇමැතිවරයෙක් නැති වෙලා. මේ විදිහට ඉස්සරහට යන්න රටකට බෑ. ඉතින් 19 වැනි සංශෝධනය” කියන මංකොල්ලය පිටු දකින මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්.

පාර්ලිමේන්තුව උත්තරිතර තැනක් කියන එකත් ජනාධිපති ධූරය රාක්‍ෂයෙක් විදිහටත් හඳුන්වන එකත් එක ම පිරිසක් විසින් පුන පුනා කියවන කතන්දරයක් විතරයි. ඒ ආයතන ඇති කරලා තියෙන්නේ අපිට ඕන වැඩ ඒවා ලවා කරවාගන්න. ඒත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායකයත් ව්‍යවස්ථාදායකයත් අනවශ්‍ය විදිහට එකට සම්බන්ධ කරලා තියෙන හින්දා ඇති වෙච්ච මහ අවුල් ගොඩකින් අපේ රට පීඩාවට පත් වෙලා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් ඇමැතිවරු පත් කරන ක්‍රමයක් ක්‍රියාත්මක වෙද්දි ව්‍යවස්ථාදායකට යන්නේ නීති සම්පාදනයේ හැකියාවක් තියෙන අය විතරක් නෙවෙයි. ප්‍රාදේශීයව මිනිස්සුන්ට නායකත්වයක් දෙන්න පුළුවන්, හොඳ විධායක හැකියාවක් තියෙන අයත් පාර්ලිමේන්තුවට යනවා. උදාහරණයක් විදිහට පාලිත තෙවරප්පෙරුම මහත්තයා ගැන හිතලා බලන්න. එතුමා ප්‍රාදේශීය මට්ටමෙන් සෑහෙන වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන් නායකයෙක්. ව්‍යවස්ථා සම්පාදක හැකියාවක් එතුමාට තියෙනවා කියලා හිතන්න අමාරුයි. ඒත් පවතින ක්‍රමය ඇතුළේ ඒ වගේ අයත් ව්‍යවස්ථාදායකයට තේරී පත් වෙනවා..

යම් දවසක අලුත් ව්‍යවස්ථාවක් හදා ගන්න කල් මේ තියෙන අවුල් මැද්දේ ඉස්සරහට යන්න අපිට සිද්ද වෙනවා. එහෙම හදන අලුත් ව්‍යවස්ථාවකින් විධායක බලය සහ ව්‍යවස්ථාදායක බලය මුළුමනින්ම වෙන් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ජනාධිපතිරණයට සමාන්තරව ඇමැතිවරු පත් කරගන්න ක්‍රමයකුත්, ප්‍රාදේශීය සභා තව තවත් ශක්තිමත් කරන ක්‍රමයකුත් හඳුන්වලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ වෙනුවෙන් හදන ව්‍යවස්ථාවකින් ජනතාවගේ විධායක බලය” නියෝජනය වෙන්න ඕන ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය සේවය සහ ප්‍රාදේශීය සභා කියන ආකාරයෙන් කියලා තමයි මට නම් හිතන්නේ. ඒත් එච්චර ලොකු වෙනසක් අපේ රටේ වෙයි කියලා හිතන්න අමාරුයි.

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දිහා බලද්දි මේ කියපු කරුණු අමතක කරන්න බෑ. 19 වැනි සංශෝධනය” කියන ලියැවිල්ලෙන් ඇති කරපු ව්‍යවස්ථා පිළිකාව මේ 20 වැනි සංශෝධනය හරහා නැති කරන්න පුළුවන්. ඒ හරහා රටට යම් ආකාරයක ස්ථාවරභාවයක් ලබා දෙන්නත් පුළුවන්. ඒ හින්දා මොන අඩුපාඩු සහ වැරැදි තිබුනත් මේ ව්‍යවස්ථා සංශෝධනය කෙරෙන්න ඕන දෙයක් කියලා මම හිතනවා.

මේ ලිපිය ලියන්නේ ඒ ස්ථාවරයේ රැඳිලා, මේ යෝජනාවේ තියෙන අඩුපාඩු කීපයක් පෙන්නලා දෙන අදහසින්.

ව්‍යවස්ථාදායක සභාව” කියලා ආයතනයක් විධායකය මැද්දට රිංගෙව්වේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7, 8 සහ 9 පරිච්ඡේද වෙන් කරලා තියෙන්නේ විධායකය වෙනුවෙන්. ඒත් 2001 අවුරුද්දේ චන්ද්‍රිකා නෝනා බය කරලා කලබලේට සම්මත කරගත්ත 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක – ව්‍යවස්ථාදායක අච්චාරුව තවත් අවුල් කළා. ඒ වෙලාවේ ඇති කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව” විධායක ආයතනයක් විදිහට ව්‍යවස්ථාවේ 7 සහ 8 පරිච්ඡේද දෙක අතරට රිංගෙව්වා. මේක මහා අවුලක්.

රාජ්‍ය ආයතනයකට විධායක බලයක් ලැබෙන්නේ ජනතාවගේ විධායක බලය” යම් කාලයක් සඳහා පවරාදීමෙන්. ජනතාවගේ විධායක බලය” ක්‍රියාත්මක කරවන්න ජනතාව විසිත් ජනාධිපතිවරයාව තෝරා පත් කරගන්නවා. ඒ විදිහට ජනතාව විසින් තමන්ට පවරපු විධායක බලය අභිනියෝජනය කරලා ජනාධිපතිවරයා විසින් ඇමැතිවරු පත් කරනවා. ජනතාව විසින් පාර්ලිමේන්තුවට විධායක බලයක් පවරන්නේ නෑ. ඉතින් බලයේ උපත පිළිබඳ ඒ මූලික කාරණය සළකන්නේ නැතුව විධායක ආයතනයක් විදිහට ව්‍යවස්ථාදායක සභාව” පිහිටුවීම විශාල වැරැද්දක්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ගෙන් සහ කිසිම ජනතා නියෝජනයක් නැති පිරිසකුගෙන් සමන්විත වෙන මේ ව්‍යවස්ථාදායක සභාව” දැන් ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගේ විධායක බලය” සීමා කරන ආයතනයක් විදිහට. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ බාධා අයින් කරනවා. ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව” කියලා ආයතනයක් හඳුන්වලා දෙනවා.

ඒත් තවදුරටත් මේ පාර්ලිමේන්තු සභාව” විධායක ආයතනයක් විදිහට ම පවත්වා ගෙන යෑම 20 වැනි සංශෝධනයේ තියෙන විශාල වැරැද්දක්. මේක ස්ථාපිත කරන්න ඕන ව්‍යවස්ථාදායකයට අයිති ආයතනයක් විදිහට. ඒකට අදාළ විධිවිධාන ඇතුළත් පරිච්ඡේදය පනවන්න ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි සහ 12 වැනි පරිච්ඡේද අතරට. ඒත් මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒ කාරණය ගැන සැළකිලිමත් වෙලා නෑ.

අපේ රටට අවශ්‍ය අමාත්‍යංශ මොනවා ද කියලා නිශ්චිතව අඳුරගන්න බැරිකමක් තියෙනවා නම් තමයි ඒකට අදාළ විධිවිධාන විවෘත විදිහට පනවන්න වෙන්නේ. ඒත් එහෙම බැරිකමක් මේ රටේ උගතුන්ට සහ අදාළ බලධාරීන්ට තියෙනවා කියලා හිතන්න අමාරුයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දි වියත්මග” කියලා නම් කරපු සංවිධානයක් මුල් කරගෙන ජනතාව ඉස්සරහට ගිය හින්දා ඒ වියත්තු ලව්වා ම ගෝඨාභය මහත්තයාට මේ වැඩේ කරවා ගන්න පුළුවන්. ඉතින් අපේ රටේ විධායකය මෙහෙයවන්න පත් කරන්න ඕන ඇමැතිවරු ගණන පිළිබඳ උපරිමය අයින් කළත් අපිට අවශ්‍ය අමාත්‍යංශ මොනවා ද කියලා නම් කරපු උපලේඛනයක් ව්‍යවස්ථාවට එකතු කරන්න බැරිකමක් නෑ. ඒත් මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ වැඩේ කරලා නෑ.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ 19 වැනි සංශෝධනය” කියලා නම් කරපු කොල්ලයෙන් ස්වාධීන” කොමිසන් සභා හඳුන්වලා දුන්නේ විධායක බලයට සීමා පනවන අදහසකින්. විධායක බලය උරුම කරගත්ත නැති ආයතනවලින් එහෙම කරන එක වැරැදියි. ඒ ගැන මේ ලිපියෙන් කරුණු කිව්වා.

එහෙම වුනත් මැතිවරණ කොමිසන් සභාවේ කාර්යය ඊට වඩා වෙනස් එකක්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවෙන් සහ 4 (ඉ) අනු ව්‍යවස්ථාවෙන් පනවලා තියෙන විදිහට ජනතාවගේ ඡන්ද බලය” ක්‍රියාත්මක වෙන්න ඕන ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයට, ජනතාවගේ විධායක බලයට සහ ජනතාවගේ අධිකරණ බලයට සෘජුව ම අනුගත නොවෙන විදිහකට. ඒ හින්දා සුවිශේෂිත ස්වාධීනත්වයක් උරුම කරගත්ත ආයතනයක් විදිහට මැතිවරණ කොමිසන් සභාව පිහිටුවන්න ඕන.

මේ දක්වා ක්‍රියාත්මක වෙන මැතිවරණ කොමිසන් සභාව ඉතාමත් අත්තනෝමතික විදිහට වැඩ කරපු බව රහසක් නෙවෙයි. ඉතින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන්න තිබුණේ මේ අත්තනෝමතික බව නැති කරන ක්‍රමයක් හඳුන්වලා දෙන එක. මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික පිරිස හතක් හෝ නවයක් හෝ දක්වා වැඩි කරලා මේ වැඩේ ලේසියෙන් ම කරන්න තිබුණා. ඒත් මේ අවශ්‍යතාව ඉටු කරන්න 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසමත් වෙලා තියෙනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය” කියන මංකොල්ලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) සහ 62 (2) අනු ව්‍යවස්ථා විකෘති කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) අනු ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන්. 83 (ආ) අනු ව්‍යවස්ථාවේ විධිවිධානවල හැටියට 30 (2) සහ 62 (2) අනු ව්‍යවස්ථා වෙනස් කරනවා නම් ඒ සඳහා ජනමත විචාරණයක අනුමැතිය ඕන කරනවා. ඒ හින්දා 19 මගඩියෙන් කරපු ඒ වෙනස් කිරීම තවදුරටත් ව්‍යවස්ථාව ඇතුළේ තියාගන්න බෑ. ඒත් මේ වංචනික ක්‍රියාව නිවැරැදි කිරීමක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා වෙලා නෑ.

මේ විදිහෙ අඩුපාඩු හින්දා, 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් මහජන අපේක්‍ෂා අවශ්‍ය තරමින් ඉෂ්ට වෙනවා කියන්න අමාරුයි. 19 වැනි සංශෝධන පිළිකාවෙන් ඇති කරපු හානිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමේ අංගසම්පූර්ණ යෝජනාවලියක් බෞද්ධ ආරක්‍ෂක සභාව විසින් ඉදිරිපත් කළා. පසුගිය ජනවාරි මාසයේ දී ඉදිරිපත් කරපු ඒ යෝජනාවලිය සළකා බැලීමක් මේ සංශෝධන ක්‍රියාවලියේ දී සිද්ද වෙලා නෑ. ජාතික බලවේගවල උදව්වෙන් බලයට ආපු ආණ්ඩුවක් විසින් ඒ යෝජනා මාලාව නොසළකා හැරීම ඉතාමත් කණගාටුවට කාරණයක්.

ඒ යෝජනා මාලාව නොසළකා හැරියත් අදාළ නිවැරැදි කිරීම් නිසි විදිහට කරලා තියෙනවා නම් සතුටු වෙන්න පුළුවන්. ඒත් මේ ලිපියෙන් පැහැදිළි කරපු විදිහට මේ 20 වැනි සංශෝධනය පරිපූර්ණ කටයුත්තක් නෙවෙයි. මේ වැරැද්ද නිසා අනාගතයේ දී ඉස්මතුවෙන්න පුළුවන් අනතුරු සුළුපටු නෑ කියන එකත් අපි තේරුම් ගන්න ඕන.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

One Response to “විස්සේ හරි වැරැද්ද”

  1. dhane Says:

    Dual Citizenship holders should have limitations. Dual Citizenship holder must be born in Sri Lanka [Same as in USA to become a President Candidate] and should be a in Election Register person. Otherwise there will be many foreigners who married to Sri Lankans becoming MP of Chinese, Europeans, Indians etc in parliament. In Sri Lankan history similar mistakes happened specially in Kandy kingdom period. Due to various reasons our kings “import” princesses from south India. With those princesses their relations also migrated and they became powerful than to control the king more Adikarams. Seethawaka King Ranasinghe had chief adviser or PM imported from South India who ruined Buddhism & the King. I know several individuals who married Europeans their spouse & kinds are having dual citizenship but hardly visit Sri Lanka. Also should not appoint as High Commissioners or Ambassadors representing SL who are not born in Sri Lanka & not in Election registry.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress