20 මගින් 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට යාමේදී රජයට වැරදි නීති උපදෙස් ලබා දීමෙන් 2015 සහ 2020 නීතිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලට ගරු කර නැද්ද?
Posted on September 6th, 2020

නීතිඥ  අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 33.2.(ඈ) අනුව්‍යවස්ථාව අනුව 2018 නොවැම්බර් මස 09 වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවාහැරි අවස්ථාවේ  ශ්‍රේෂ්ඨාධිකරණය 2018.12.13 දින තීන්දු (Judgement) කරන ලද්දේ 70.1 ව්‍යවස්ථව අනුව වසර 4 1/2 ක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවීමට නොහැකි බවයි.

ජනාධිපතිවරයා වසර 4 1/2  කට පෙර පාර්ලිමේන්තුව විසුරුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19ය මගින් 70.1 ව්‍යවස්ථාව සංශෝධනය වී ඇති බවත් වෙනත් ව්‍යවස්ථා එනම් 33.2.(ඈ) අනුව්‍යවස්ථාව අභිබවා 70.1 අනුව්‍යවස්ථාව බලවත් බවත් තහවුරු වූ අතර, ඒ අනුව පැහැදිලිවම 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 දෙනාගේ තීරණය අනුව ජනමතවිචාරණයක් නොපවත්වාම 2015 දී, 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන ඇත.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනා ලබාදුන් ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් 2015 දී 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම වසර 4 1/2 දක්වා සීමාකර ඇත. 

(80.3 ව්‍යවස්ථාව අනුව අවස්ථාවෝචිතව ජනාධිපතිවරයා 2015 දී 19යට සහතිකය යොදා නැති හෙයින් 19ය මේ දක්වා නීතියක් නොවන බව, ලියුම්කරුගේ අදහස වුවත් මේ වනවිට එය නීතියක් ලෙස සළකා රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පවා ඉදිරිපත් කර ඇත)

2015 නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි ප්‍රධානීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු නොකර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය වන අකාරයට එවකට පාර්ලිමේන්තුවට, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට,  රජයට සහ කථානායකවරයාට උපදෙස් දීම නිසා මේ තත්ත්වය ඇති වී තිබේ.

කෙසේ වෙතත් 2018 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් සනාථ වන්නේ 70.1 ව්‍යවස්ථාව වසර 4 1/2 ක් දක්වා සංශෝධනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ද පිළිගෙන ඇති බව වන අතර රජය විසින්ද එය පිළිගෙන විසිවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර වසර 4 1/2 සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.

එය වඩාත් හොදින් තහවුරු වන්නේ යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 14 වන වගන්තිය මගින් 70.1 ව්‍යවස්ථාව  සංශෝධනය කර වසර 4 1/2 නැවත වසර දක්වා සංශෝධනය කිරීමට  යෝජනා කිරීමෙනි.

දැන් පැන නගින ගැටලුව වන්නේ, 2002 දී 19යට ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07 දෙනාගේ ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් සහ ජනමතවිචාරණයක් නොපවත්වා 2020 ඉදිරිපත් කරන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ කෙසේද? යන්නයි. ( අඩු කරන්නේ කෙසේද? යන්නයි)

2015 දී ජනමතවිචාරණයක් නොපවත්වා 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සහාය දීමෙන් මෙන්ම 2020 දී ද නැවත ජනමතවිචාරණයක් නොපවත්වා 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සහාය දීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීමෙන් බැහැරව ක්‍රියා කිරීමකි.

මේ ආකාරයට දිගින් දිගටම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගියහොත් නීතියේ පාලනය යන්න විහිලුවක් වනවා මෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ නොතකන පාලනයට ජනතාවට යටත්වීමටද සිදුවේ.

2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් ජනමතවිචාරණයක් නොපවත්වා

70.1 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2020 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයට සහාය දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකාරයට කර ඇති බලවත් අභියෝගයකි. එය පැහැදිලිවම නීතිපති දෙපාර්තමේන්තුවේ අදාල නීතිඥවරුන්ගේ වෘත්තීය විෂමාචාරයකි. 

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අදාල නීතිඥවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ 2002 දී 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිබද අවධානය යොමු නොකර, රජයට නිවැරදි උපදෙස් ලබාදීමෙන් බැහැරවයාමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ අනතුර/ වරද සිදුකරගෙන ඇත. 

එමෙන්ම 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති (නීතිඥවරයන් සදහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබද) රීතිවලට අනුගතව 3, 15, 18, 18(අ), 51, 62 රීතිවලින් දක්වා ඇති වෘත්තීයට අදාල විනය සහ ආචාර රීතිවලින් බැහැරව යමින් රජයට නිසි උපදෙස් ලබා දීමටද ඔවුන් ක්‍රියා කර නැති අතර විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07 දෙනෙකු 2002 දී ලබා දී ඇති ඒකමතික තීරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව හෝ රජය දැනුවත් කර නැති අතර මෙය බලවත් වෘත්තීය විෂමාචාරයකි.

නීතියේ පාලනය යනු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට ගරු කිරීමද ඇතුලත් වේ.

ඒ අනුව 70.1 ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට යාමේදී ජනාධිපතිවරයාට සහ රජයට වැරදි නීති උපදෙස් ලබා දීමෙන් 2015 සහ 2020 නීතිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණ අධිකාරයට සහ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලට ගරු කර නැත්තේ 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07 දෙනෙකු ලබා දී ඇති ඒකමතික තීරණය පිළිබද අවධානය යොමු නොකර උපදෙස් ලබා දීමෙනි.

විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට පත්වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07 දෙනෙකු හෝ ඊට වැඩි විනිශ්චය පීඨයක් ඉදිරියේ මේ නීතිමය තත්ත්වය අභියෝගයට පත්වීමට ඉඩ ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීරණය ( Determination of The Twentieth Amendment to the Constitution) ලංකාවේ නීතියේ පාලනයේ කැඩපත වනු ඇත.

arunaunawatuna@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress