ජනතාවට බලපාන ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් සෙවීමට පර්යේෂණ සිදුකළ යුතුයි. – රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල
Posted on September 16th, 2020

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය අංශය

ජනතාවට බලපාන ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් සෙවීමට විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ යුතු බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමතිනී සීතා  අරඹේපොල මහත්මිය පැවසුවා ය. අමාත්‍යවරිය මේ බව පැවසූවේ පසුගිය දින මාළඹේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. මෙම නිරීක්ෂණ චාරිකාවේ දී එම ආයතනය තුළ සිදු කෙරෙන පර්යේෂණ කටයුතු හා  නව පර්යේෂණ දැනුම තුළින් නිර්මාණය කරන ලද අගය එකතු කළ නිෂ්පාදන අමාත්‍යතුමියගේ විශේෂ අවධානයට යොමු වූ අතර, පර්යේෂණ සංකීර්ණයේ ස්ථාපනය කෙරෙන චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාර ව්‍යාපෘතිය යටතේ, නිර්මාණය වන ශාකසාර ඹෟෂධ නිෂ්පාදන පර්යේණාගාරයේ අවසන් අදියරේ  ඉදිකිරීම් ආරම්භය ද අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.

අපේ පර්යේෂණ ආයතන වල විද්‍යාඥයින් මහත් පරිශ්‍රමයකින් විද්‍යාත්මක පර්යේෂණ කරනවා. එම පර්යේෂණ හරහා ගොඩනැගෙන දැනුම පොදු ජනතාවගේ ජීවන තත්වය ඔසවා තැබීමට කොතරම් බලපානවා ද, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලබා දෙන දායකත්වය කොතරම් ද  යන්න විමසා බැලිය යුතුයි. මෙම පර්යේෂණ වල ඉලක්කය  විය යුත්තේ ජනතාවගේ ගැටළු වලට තිරසාර විසඳුම් ලබා දීමයි.”

   මේ සඳහා අමාත්‍යාංශය යටතේ ඇති සියලු පර්යේෂණ ආයතන හොඳ සම්බන්ධීකරණයක් අනන්‍යොන්‍ය අවබෝධයක් සහිතව එකට වැඩ කිරීම ඉතා වැදගත්. ඒ තුළින් පොදු ගැටළුවට පර්යේෂණ මගින් විසඳුම් සෙවීමට පහසු වෙනවා. අමාත්‍යාංශය යටතේ ඇති සියලු පර්යේෂණ ආයතන එක් මේසයකට කැඳවා සාකච්ඡා කිරීමට මම වැඩපිළිවෙළක් සකස් කරනවා. ආයතන අතර දැනුම හුවමාරු කිරීම ඉතා වැදගත්. ඇතැම් විට එකම ආකාරයේ පර්යේෂණ විවිධ ආයතන තුළ සිදු කෙරෙනවා. එක් ආයතනයක් තුළ යම් මට්ටමකට අවසන් කර ඇති ආකාරයේම  පර්යේෂණයක්, තවත් ආයතනයක් මුල සිට ආරම්භ කරනවා. එය කාලය සහ මුදල්  අපතේ යෑමක් බැවින්, යම් පර්යේෂණයක් එක් ආයතනයක් නැවතූ සන්ධිස්ථානයක සිට තවත් ආයතනයකට ආරම්භ කළ හැකි නම් එය ඵලදායී බවයි මගේ හැඟීම.” යනුවෙන් ප්‍රකාශ කළාය.

 පර්යේෂණ හරහා සොයා ගන්නා නව දැනුම තුළින් නිෂ්පාදනයක් බිහි කරන්නේ නම් ඒවා වාණිජකරණය කිරීමෙන් ජනතාව අතරට ගෙනයාමත්,  තාක්ෂණ පැවරුමක්  කරන්නේ  නම් ව්‍යවසායකයන් කිහිප දෙනෙකුට පැවරීමෙන් කර්මාන්ත ජාලයක් බිහි කිරීම වැදගත් බැවින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

ශ්‍රී ලංකාව ඉතා වටිනා ඖෂධීය ශාක වලින් අනූන රටක් බැවින් එම වටිනා දේශීය ඖෂධීය ශාක වලට අධි තාක්ෂණය හරහා අගය එකතු කළ ශාකසාර පෙති, කරල්, සිරප් සහ විවිධ වූ  ඖෂධීය සංයෝග ඉදිරියේ දී මෙම පර්යේණාගාරය තුළ නිෂ්පාදනය කිරීමට නියමිත බවත් මෙම පර්යේෂණාගාරය වෙනුවෙන් චීන රජය මගින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදල් ප්‍රතිපාදන හිමි වී තිබෙන බවත් කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති, ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා ප්‍රකාශ කළේ ය.

ප්‍රබෝද් උඩුගම

ගරු නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමියගේ

මාධ්‍ය ලේකම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress