තුන්සින්හලේ නැවතත් පිහිටුවීම
Posted on September 20th, 2020

සී. ඇම්. මද්දුම බණ්ඩාර  සම්මානිත මහාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 පළාත් සභා ක‍්‍රමය ගැන වර්තමානයේ පවතින නිහඬ සමාජ අසන්තුෂ්ටිය තුළින් උත්පාදනය වන නව චින්තනයක් ක‍්‍රමයෙන් මෝදුවෙමින් පවතින අයුරු දැකීම සාමාන්‍ය පුරවැසියන්ගේ අමන්දානන්දයට හේතු වේ. මේ සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර, අග‍්‍රාමාත්‍යතුමන් විසින්ද, පසුව පළාත් සභා ඇමැතිවරයා විසින් ද, කරන ලද ජනමාධ්‍ය ප‍්‍රකාශ වලින් පැවසුන චින්තනය, (ලංකාදීප සැප්තැම්බර් 10 වන දින) මේ රටේ අනාගතය කෙරෙහි බෙහෙවින් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුව ඇත. විශේෂයෙන්, එතුමන් රටේ අනාගතය ගැන දරන ප‍්‍රායෝගික චින්තනය බෙහෙවින් අගය කළ යුතු වේ.

 ශ‍්‍රී ලංකාවේ දැනට පවතින පළාත් 9 මීට වසර 130ට පෙර (1889) අවසන් වරට ව්‍යවස්ථාපිත වූ, යටත්විජිත අරමුණු සපුරාලීම සඳහා ඉදි වූ, පාලන යාන්ත‍්‍රණයක් බව අපි පසුගිය දශක 03 තුළ විවිධ අවස්ථාවල පුනපුනා කියා සිටියෙමු. ඒ වෙනුවට අපේ මාතෘ භූමියට සහ ස්වභාවික සම්පත් පදනමට අනුකූල වූ, රටේ චිරස්ථිතිය බවට හා අනාගත සංවර්ධනයට මං පාදාන්නා වූත්, අද රටට ගැළපෙන පාලන ව්‍යුහයක්, නිර්මාණය විය යුතු බවට අපි අවධාරණය කළ සිටියෙමු. ඒ අනුව දැන් තිබෙන පළාත් සංඛ්‍යාව වෙනුවට ඊට වඩා තුන් ගුණයකින් අඩු අතීතයේ සිට අප උරුම කරගෙන ආ රුහුණු, මායා, පිහිටි නම් වූ පාලන බල ප‍්‍රදේශ තුන පාදක කර ගත් ප‍්‍රාදේශීය රටාවක් නිර්මාණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලය දැන් එළෙඹ ඇතැයි අගමැතිතුමා පවසන අදහස ඉතා කාලෝචිත වේ.

 * සාමුහික ජනමතය

 edifea2මීට පෙර විපක්ෂ නායකව සිටි ආර්. සම්බන්ධන් මහතා ද, අගමැතිතුමා දරන මතයට සමාන්තර අදහසක් පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කරන ලදී (2015 ජනවාරි). එතුමා කියා ඇත්තේ ලංකාව වැනි පුංචි රටකට පළාත් තුනේ සිට පහ දක්වා ප‍්‍රමාණයක් හොඳටම සෑහෙන බවයි. එහෙත් පළාත් මායිම් බෙදීම වෙනත් විදිහකට කිරීමේ යටි අදහසක් එතුමා තුළ තිබෙන්නට ඇත. කෙසේ වූව ද, ලංකාව වැනි කුඩා රටකට පළාත් තුන හතරක් හොඳටම සෑහෙන බවට එකඟතාවක් ප‍්‍රධාන ජන කාණ්ඩායම් අතර පවතින බව මෙයින් ගම්‍ය වේ. තවද, පසුගිය රජය කාලයේ පැවතුණ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ජනමත විමසීමේ සභාව (නීතිඥ ලාල් විජේනායක කමිටුව) මඟින් ද, ශ‍්‍රී ලංකාව සෑම පළාතකටම මුහුදු වෙරළ තීරයක් පිහිටන සේ ගංගා ද්‍රෝණි අනුව පළාත් පහකට පමණ සීමා කිරීම යෝග්‍ය බව නිර්දේශ කොට ඇත. මෙම වර්ධනය වෙමින් පවතින සාමුහික ජන කතිකාව ක‍්‍රියාත්මක කරලීමට සුදුසු ස්ථාවර දේශපාලන, වාතාවරණයක් දැන් ගොඩනැගී ඇති බව අපගේ විශ්වාසයයි.

 අගමැතිතුමන් ඉදිරිපත් කර ඇති, අප ඉතිහාසයෙන් උරුම කරගෙන හා රුහුණු, මායා, පිහිටි නම් වූ ත‍්‍රිවිධ බල ප‍්‍රදේශ ව්‍යුහය, ප‍්‍රායෝගිකව නිර්මාණය කළ හැකි ආකාරය මෙම ලිපියෙන් තරමක් දුරට විග‍්‍රහ කිරීමට අපේක්ෂා කෙරේ. එය සාක්ෂාත් කර ගත හැකි යථාර්ථයක් බවටත්, ඒ සඳහා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත අයුරුත්, මෙහිදී පැහැදිලි කර දැක්වීමට ප‍්‍රයත්නයක් දරනු ලැබේ. මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම පැරණි රටවල් බෙදීමේ පදනම ලෙස සැලකුණු ගංගා, ද්‍රෝණි උපයෝගී කරගෙන පිළියෙල කරන ලද සිතියමක් මෙහි දක්වා ඇත (සිතියම බලන්න). සිතියෙමෙහි එක් එක් ප‍්‍රදේශයට ඇතුළත්වන භූමි ප‍්‍රමාණයෙන් පෙන්නුම් කර ඇත. තවද අදාළ වගුවක් මඟින් ජන සංඛ්‍යාවල ජනගහනයේ දළ ජනවාර්ගික සංයුතිය ද පෙන්නුම් කර ඇත (2012 ජන සංගණනය). ප‍්‍රදේශ සංඛ්‍යාව අවම කිරීම සඳහා පවතින ජන අභිලාෂයන් සැලකිල්ලට ගෙන මීට පෙර අප විසින් කරන ලද යෝජනාවලට වඩා වර්තමාන මතය වඩාත් ප‍්‍රායෝගික විය හැකි බව අපගේ හැඟීමයි.

 * ඇසෙන ඇතැම් ප‍්‍රශ්න

 ශ‍්‍රී ලංකාව වැනි ප‍්‍රමාණයෙන් කුඩා රටකට, ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශ අවශ්‍ය වන්නේ ඇයි ද යන ප‍්‍රශ්නය සමහරු අසති. ඈත අතීතයේ සිටම එබඳු ප‍්‍රදේශකරණයක් ස්වභාවිකව සිදුවීමට ඓතිහාසික හේතු සාධක පැවතුණි. විශේෂයෙන් මේ රට කුඩා දිවයිනක් වුවද, එහි පවතින විවිධත්වය අතිමහත්ය. භූමි ලක්ෂණ, දේශගුණය, ගහකොළ, සතාසිව්පාවා මෙන්ම ජනතාව අතර ද මෙය මැනවින් පෙනේ. ‘‘ ඒකීය’’ නොව ‘‘එක්සේසත්’’ සංකල්පයක් ගොඩනැඟුණේ මේ විවිධත්වය එක් චක‍්‍රයක් යටතට ගෙනඒම පිණිසය. යටත්විජිත පාලකයන්ගේ අගනුවරින් පාලනය වන සංකේන්ද්‍රිත පාලනයක් ගොඩනැගුණේ ඉතිහාසයේ පසුකාලවලදී ය. ඊට පෙර ‘‘මහරජ’’ මුළු රටටම අධිපතියා වූ අතර ‘‘යුවරජවරු’’ ප‍්‍රාදේශීය පාලනයට යෙදවීම හා ඊට පහළ මට්ටම්වලදී දිසාවේවරු වැනි ප‍්‍රාදේශීය පාලකයෝ ද, පැන නැගුණහ. මේ නිසා රටේ සමස්ත ධනය, බලය, හෝ පෙර නායකත්වය එක් පෙදෙසකට එක් අගනගරයකට ඒකරාශී වීම සීමා වූ අතර, දුර බැහැර ගම්බිමවල පවා ජීවන මට්ටම් එතරම් පහළට නොවැටි සමාන්තර තත්ත්වයක පවතින්නට ඉඩ තිබුණි. යට දැක් වූ දේශජ ප‍්‍රාදේශීය පාලන තන්ත‍්‍රයකට, රටේ ස්වභාවික සම්පත් පදනම් කොටගත් ප‍්‍රදේශ සීමා උපයෝගි කර ගැනීමට ඒ අනුව හැකිවිය. මෙසේ පිහිටි රටත්, මායා රටත්, දැදුරු ඔය නිම්නයෙන් වෙන් විය. එමෙන්ම පිහිටි රටත්, රුහුණු රටත්, වෙන් වූයේ මහවැලි නිම්නයෙනි. රුහුණු රටත්, මායා රටත්, වෙන් වූයේ බෙන්තොට ගෙඟනි.

 නිදහසින් පසු ජල සම්පත් සහ භූමිය, සංවර්ධනය සඳහා කැපවී ඇති මහා ආයෝජන වෙන සියලූ අංශ අභිබවා සිටී. එම ආයෝජනවලින් නිසිඵල ලබා ගැනීමට නම් ප‍්‍රදේශ සීමා නිර්ණයේදී සොබාවධර්මයෙන් අප උරුම කොටගෙන ඇති සම්පත් යොදවා ගැනීම අදටද මනාව ගැලපේ. විශේෂයෙන් ලෝක දේශගුණ විපර්යාස නිසා ඇතිවන දේශගුණ අවිනිශ්චිතතා උග‍්‍රවෙමින් පවතින මෙවන් සමයක, අතීත ඥානය සොයා යෑමට නැඹුරු වීම බෙහෙවින් යුක්ති යුක්ත වේ.

 * සිතියම් විග‍්‍රහය

 ඉහත සඳහන් පරිදි සිංහලයේ එක් එක් රටවල මායිම්, භූමිය මත නිර්ණය කිරීමේදී, අතීත සම්ප‍්‍රදාය අනුව යමින් ජලපෝෂක ප‍්‍රදේශවල සීමා ඒ සඳහා යොදවා ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් අදාළ වූයේ මහවැලි ගඟ, දැදුරු ඔය සහ බෙන්තොට ගඟ යන සාම්ප‍්‍රදායික ගංගාධාරයන්ය. එසේ බෙදා ගත් කළ රුහුණු රටට දිවයිනේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 31.02% ක් ද, මායා රටට 14.78% ද, පෞරාණික පිහිටි රටට හෙවත්, රජරටට 54.19% ක් ද, ලැබුණි. පිහිටි රටෙහි භූමියෙන් අතිවිශාල ප‍්‍රමාණයක් අදත් වනාන්තර, වන ජීවි ක්‍ෂේම භූමි සහ වැව් ජලාශවලට ද යට වී ඇත. රුහුණු රටෙහි ද, ජාතික වනෝද්‍යානවලට විශාල බිම් ප‍්‍රමාණයක් වෙන් වී ඇත.

 අයත් වන ජන සංඛ්‍යාව 2012 ජන සංගණනයට අනුව රුහුණු රටට දිවයිනේ මුළු ජන සංඛ්‍යාවේ 20.16% ක් ද, මායා රටට 38.21% ද, පිහිටි රටට 41.63% දඅයත් විය. පිහිටි රටෙහි ජනසංඛ්‍යාවෙන් 33.46%ක් දෙමළ සහ මුස්ලිම් ජනයා වීම විශේෂයෙන් කැපීපෙනේ. රුහුණු රටෙහි ද මුළු ජනසංඛ්‍යාවෙන් 25.54%ක් එම ජන වර්ගවලට අයත් විය. රුහුණු, මායා, පිහිටි යන ත‍්‍රි සිංහලයේ සෑම රටකම සිංහල ජනයා මුළු ජනගහනයෙන් තුනෙන් දෙකකට වඩා වැඩි වේ. තවද අතිවිශාල සිංහල ප‍්‍රතිශතයක් එනම්, 84.73% ක් මායා රටේ වෙසෙන බව, සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වේ. ඉහත දැක්වූ සංඛ්‍යා දිස්ත‍්‍රික් මට්ටමින් ගණනය කර ඇති හෙයින් ග‍්‍රාම නිලධාරි වසම් මට්ටමින් ගණනය කිරීමේදී සුළු වෙනස්කම් පෙන්වීමට ඉඩ ඇත. ඉහත සඳහන් සිතියම් විග‍්‍රහයෙන් මැවෙන මහා චිත‍්‍රයෙන් ගම්‍ය වන බලපෑම් විවිධ අය විසින් රුචි පරිදි විවරණය කළ හැකිය. එහෙත් සමස්තයක් ලෙස ගත් කල එය රටේ දේශපාලන ස්ථාවර බවට මෙන්ම ආර්ථික දියුණුවට ද, ජනවාර්ගික සංහිඳියාවට ද, ස්වභාව සම්පත් සංරක්ෂණයට මෙන්ම ස්වභාවික ව්‍යසන මඟ හරවා ගැනීමට වඩා මහෝපකාරි විය හැකි බව අපගේ විශ්වාසයයි.

 (සිතියම් විද්‍යාත්මක මෙන්ම සංඛ්‍යා තොරතුරු සම්පාදනය කර ගැනීමේදී, පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි කුමුදුනි කුමාරිහාමි මෙනෙවියට ද, ස්වභාවික සම්පත් සංසදයේ අසේල බණ්ඩාර මහතාට ද, ජාතික ආපදා මධ්‍යස්ථානයේ හිරාන් තිලකරත්න සහ රංජිත් විජේසේකර මහතුන් ද, ලබාදුන් නොමද සහාය බෙහෙවින් අගය කරමි)

My commens on the above article

Sudath Gunasekara

Mahnuwara 20.9.2020.

මෙම ලිපියෙන්  ඉදිරිපත්ව ඇති යෝජනාව එකහෙලා අනුමත කරමි. මන්ද මා සැමදාම දැරු අදහසත් මෙයම බැවිනි.මෙම ලිපියේ කතුවරයා මෙන්ම මාද භුගෝල විද්යා සිස්යයෝ වෙමු. එතුමා සරසවියෙන් පිටවූයේ 1983/4 පමණයයි සිතමි. මා පිටවූයේ 1962 වසරේදීය. එතුමා විස්වවියාල මහාචාර්ය වරයෙකු වීය. මා ශ්‍රී ලන්කා පරිපාලන සේවයට බැදුණු අතර එම විසය පිලිබද සුවිශේසී දැනුමක් සහ වසර 35 ක අත්දැකිම් සමුදායක් ලැබූවෙක්මි. අප දෙදෙනා අතර ඇති වෙනස එපමණි. ජාතික ප්‍රස්න වලදී  මතවාද හා සන්කල්පික වශයෙන් අපි දෙදෙනාම සිටිනුයේ එකම පදනමේය.

එබැවින් මෙම යෝජනාවට එකන්ග වීම ඉතා පහසුය.අනෙක අපි දෙදෙනාම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ රටේ හා ජාතියේ යහපත වෙනුවෙන් මිස වෙනත් කිසිම අරමුනකින් නොවේ. එක්සේසත් රාජ්යක් වශයෙන් රට ශක්තිමත් වීම , ස්ථාවර රාජ්ය පාලන ක්‍රම්වේදයක් නැවතත් මේ  රට තුල ස්ථාපිත කිරීම, සුද්දා විසින් මේ රට බෙදා පාලනය කිරීම සදහා කෘතීම ලෙස බෙදු රට නැවත සින්හලේ රජවරුන් විසින්  ඔවුන්ගේ තුන්කල් දක්නා ණුවනින් භූමියේ යථාර්තයන් සහ රාජ්ය පාලනයේ පහසුව සහ කාර්යක්ශමතාව  පදනම්කොටගෙන රටේ සම්පත් උපරිම අන්දමෙන් ප්‍රයෝජනයට ගැනීම සදහා ඇතිකරන ලද තුන් සින්හලේ නැවතත් පිහිටවිය යුතු බව මා කියන්නේ දශක තුනකටැත් වැඩිකලක් තිස්සේය.මේ පිළිබද මවිසින් සින්හල සහ ඉන්ග්‍රීසියෙන් ලියනලද ලිපි රාශියක්පුවත්පත්වල සහ ළන්කාවෙබ් පුවත් අඩ්වියේ නිතර පලවී ඇත. ඒ හැම ලිපියකින්ම තුන් හෙලේ ඇති  භූ දේශපාලන සන්කල්පයේ ඇති යථාර්ථය,ස්වාභාවික, දේශපාලනික, ආර්තික හා සමාජික වටිනාකම් සහ අපගේ අභිමානනීය අතීතයේ නැවුම් සුවන්ද සහ ස්ථාවර අනාගතයක පදනම ඉතා පැහැදිලව මවිසින් මා දන්න පමණින් පෙන්වාදී ඇත මේ රටේ හා ජාතියේ අඛණ්ඩ පැවැත්ම සන්දහා තුන් සින්හලය නැවතත් ලක් පොලව මත ස්ථාපිත කිරීම අත්තවසයෙන්ම මගේ එක් වැදගත් සිහිනයකි. එහි මායිම් දැදුරු මහවැලි සහ බෙන්තොටම විය යුතු යයි මම නොකියමි. දැදුරු ඔය සහ බෙන්තොට ගන්ගා කාලීන වශයෙන් වෙනස් වීමේ වරදක් මම නොදකිමි. මන්ද අතීතයේදිද මේ මායිම් වරින් වර සුළුවශයෙන්වෙනස්වු අවස්ථා ඇති බැවිනි. එහෙත් මහවැලිගන්ගනම් කිසිසේත්ම වෙනස් නොවිය යුතුය යන්න මගේ දැඩි ස්ථාවරයයි. තවද මහවැලිගන්ග මෙන්ම මායිම්සදහා තෝරාගන්නා අනෙක් ගන්ගා දෙකද මද්යම කන්දුකරයෙන්ම ආරම්භවන ඒවා වියයුතුය .මන්ද තුන් රටටම මේ රටේ සමස්ථ ජීවී පද්ධතියේ මෙන්ම ශිස්ඨාචාරයේ පදනම වන සියලුම ගන්ගාවන් ආරම්භවන දේශයේ හදවතවන මද්යම කන්දුකරයේ සමාන අයිතියක් අනිවාර්යෙන්ම තිබියයුතු නිසාය.

තුන් සින්හලේ සහ යෝජිත පරිපාලන දිසා 27 ක් සන්දහා  මවිසින් යෝජනාකොට ඇති  මායිම් දැක්වෙන සිතියමද මීට අමුණා ඇත.

Source: Sudath Gunasekara 1991

ඔබගේ ලිපියේ දක්වා ඇති පරිදි අගමැතිතුමා සහ පලත්පාලන ඇමතිතුමාද මේ අදහස අනුමත කොට ඇතිබව මාගේ ඉමහත් අමන්දානන්දයට හේතු වෙයි.

අපගේ මාතෘ භූමියට සහ සින්හල ජාතියට ශුභ අනාගතයක් උදාවීමේ පෙර නිමිත්තක් වශයෙන් මම එය දකිමි.

One Response to “තුන්සින්හලේ නැවතත් පිහිටුවීම”

  1. Vaisrawana Says:

    This is a brilliant proposal supported by some of the most patriotic intellectuals and statesmen in our recent history. If it comes to fruition, it will certainly be the beginning of a Buddhist version of the biblical Millennium, a period of great happiness and human perfection, for our Motherland.

    Prof. Medduma Bandara and Dr Gunasekera are two intellectuals I have admired for roughly an equal number of years, since mid-1970s when I started working as a junior member of the teaching staff of the Peradeniya University, where I had read English. They were senior alumni of the same university. Dr Gunasekera is the senior most, having, as he says here, graduated in 1962, when I had just started prep. school. Prof. Medduma Bandara was already a young lecturer whose academic brilliance my university mates who were his students used to highly praise I remember.

    Good to heed their advice.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress