බූවැලිකඩින් ගිලාබැස්සේ කලුසුද්දන්ගේ නාගරික පුරාජේරුවයි
Posted on September 23rd, 2020

මතුගම සෙනෙවිරුවන්

              මහනුවර පොළව කම්පාවී ඇත.බූවැලිකඩ පස් මහල් නිවසක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. මේ ඛේදවාචකය උලුප්පා තලු මැරීමෙන් වන්නේ සැබෑ ප්‍රශ්ණය යටපත් වීමයි.එනම් මෙම විනාශය දක්වා පැමිණි ගමන් මග පිළිබඳව සාකච්ඡා නොකර අත හැරීමයි.සෙංකඩගල සිරිවර්ධනපුරය නොහොත් මහනුවර නගරය බිහිවන්නේ උඩරට රාජධානියේ ක්‍රමික විකාශනයත් සමගය.අවසාන සිංහල රජවරුන් ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට තැනූ මේ පුරවරය සිංහල බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේ වැඩ සිටින අති පූජනීය සිද්ධස්ථානය වෙයි.එම නිසා මහනුවර නගරයේ පවතින ‌‌ෙඑතිහාසික වටිනාකම් ආක්ෂා කර ගැනීමට විශේෂ තැනක් ලබා දිය යුතුයි.ඉංග්‍රීසින් මහනුවර නගරය අත්පත් කරගත් පසු එහි ඉඳි කරන ලද බෝගම්බර හිරගෙදර බිහිවූයේ මහනුවර නගරයේ පරිසර පද්ධතියට සුවිසල් සේවයක් කළ බෝගම්බර වැව විනාශ කරමිනි. එලෙසම බොරවැවද විනාශ කරනු ලැබිණ.දළදා වීදිය දේව වීදිය උඩුනුවර වීදිය කන්දෙ වීදිය කොටුගොඩැල්ලවීදය බොරවේ වීදිය ආදී මහනුවර සමයේ පැවති රාජකීය වීදි ජනාකීර්ණ වෙළෙඳ සල්පිල් බවට පත් වන්නට වැඩි කලක් යන්නට නැත. වඩුග නායක්කර පෙළපත් රටින් පිටුවහල් කළ පසු මහනුවර නගර වීදි ඔස්සේ මුස්ලිම් පල්ලි ඉඳි වන්නට වූයේය.ඉංග්‍රීසි ආන්ඩුව දළදා මාළිගාවට අස්ගිරියට මල් වත්තට පූජා කරන ලද සාංඝික ඉඩම් වෙන්දේසි කරමින් අන්‍ය ජාතිකයන්ට භූමියේ අයිතිය තහවුරු කළහ.කඩුගන්නාවේ ගල බිඳ බිංගෙය තනා රථවාහන එන්නට පටන්ගත් දා සිට මහනුවර රජකීය අභිමානය හෑල්ලු විය.යටත් විජිතභාවයේ ගිලී නිවට වූ උඩරට ජනතාව යලි අවදි නොවන්නට අවශ්‍ය උගුල් ඇටවිණ.

       එක්දහස් අටසිය පහළොවේ බ්‍රිතාන්‍ය කීරීටයට පවරාදුන් සිංහලේ රටවල් යලි 1948 දී අපට නොලැබුණි.එලෙස ලබා දිය යුතු යැයි ස්වදේශික නායකයන් ද ඉල්ලා නොසිටියහ. සිංහලයට රජපවුලක් දැන් නැත යන්නෙන් මුසා පවසා වෙසට්මිනිස්ටර් නිදහස දිනාගත් ඩී.එස්. ප්‍රමුඛ මේ රට සිංහල නායකයන් එංගලන්ත රැජිනට සුවච කීකරුව සිලෝන්හි පාලනය ගෙන ගියහ.එදා සිංහල කිරීටය ප්‍රභාමත් වූ සෙංගකඩගල නගරයේ දළදා වහන්සේ ගේ ආශීර්වාදය නොතකා කොළඹ කේන්ද්‍ර කොටගත් වසල ප්‍රජාතන්ත්‍රය සරණ යමින් සිංහල බෞද්ධ උරුමය යටපත් කළහ.පරංගි කප්පිත්තන් විසින් ඇටවූ කොළඹ බලකොටු නගරය වෙළද තොටමුණක් ලෙස ඔසවා තබමින් තේ රබර් විකුණා යුරෝපයේ ටයිකෝට් ටේල් හැට් ආනයනය කළ මෙරට කලු සුද්දන්ට දේශීය ආර්කය ගැන විකල්පයක් තිබුණේ නැත.රුපියල් කාසි ගණින්නට මිසක් සිංහල කහවණුව මසුරම ගොඩනගන්නට මෙරට බැංකු වලට කොන්දක් ලැබුණේ නැත. සුද්දා කරන සෑමදදේම අනුකරණය කළ මෙරට කලු සුද්දන් ඔවුන්ට අනුව ඇඳ පළඳ වෙඩින් හෝම් කමින් ගනිමින් අගතියටම ගියහ. අනගාරික ධර්මපාල තුමා මෙන්ම පියදාස සිරිසේන වැනි ජාතිමාමකයන් එදා මේ සිංහලයාගගේ පරිහරිනය දැක රළු පරළු හඬින් දේශනා කළහ.මේ එදා ධර්මපාල තුමා කී දෙය.

     ගොල්පේස් හෝටලේ පිටිපස්සේ දොරෙන් ඇතුල් වී කලුඅප්පු ගෙන් විස්කි ග්ලාස් එකක් මිලදී පාන කොට සිංහල ධනවතාගේ පුත්‍රයා අනාර්ය ක්‍රියාවල යෙදෙන්නේය.ඇතැම් සිංහල තරුණ තරුණියන් වැඩි ධන වියදම් කොට කාර්ගිල් වයිට්වේ ලේඩ්ලො ඉංග්‍රීසි වානිජයාගේ ආපන ශාලාවලට පැමිණ ටුවිඩ් නොම්ස්පන් ආදී ඉංග්‍රීසි පිළීවෙලට පැෂන් එකට කලිසම් කෝට් ගවුම් බ්ලවුස් ආදිය මස්සවා ගෙන අඳිනු ලබන්නේය.

බොහෝ ධන වියදම් කිරීමට අකමැති සිංහල තරුණ තරුණියෝ පිටකොටුවේ කාරල්ලා ගේ සාප්පුවට කූරය්යා පාවයියා පින්තු මැල් යන පරවරුන්ගේ ද පකීර් තම්බි  මහමදු ලෙබ්බේ ගේ හෝ ආපන ශාලාවලට පැමිණ ලේටස්ට් පැෂන් වලට අනුකූලව රෙදි පිළී මිලදී ගෙන ඇඳිම කරන්නෝය.සිංහල තරුණ එක්කොටසක් සුද්දාගෙ සාප්පුවට ගොස් සුද්දා කියන ඕනාම බොරුවක් විශ්වාස කොට අත තිබෙන ධනය මෙසේ වියදම් කර ගණිති.

      ධර්මපාල තුමා දෙසූ මේ කරුණු බහුතර සිංහලයන් අවබෝධ කොට නොගත් බව පැහැදිලිය.1948 සිටම මාරුවෙන් මාරුවට වෙනස් කරගන්නට පක්ෂ දෙකක් අටවා දුන් බැවින් පක්ෂ දේශපාලනයට වහවැටී ජාතිය බෙදා හම්බ මරක්කලයන්ට බෝරා කාරයන්ට පුරවැසිකම් දුන්නේද සිංහල පක්ෂ වල නායකයන්ය.අනුරධපුර සමයේ ශ්‍රේෂ්ඨ සිංහලයන්ගේ වාස්තු විද්‍යා ඥානයෙන් හැඩගැන්වුණු පරිසර හිතකාමී ගොඩනැගිලි වෙනුවට පරංගි ලන්සි ඉංග්‍රීසි බංගලා අනුගමනය කරමින් මහා මන්දිර තැනවීමේ හීනමානයක් මේ රටේකලු සුද්දන් ගේ සිත්තුළ පැලපදියම් වූ බව පැවසිය යුතුය.

         සිංහලයෝ නගර ගොඩනැන්වූ හැටි අනුරාධපුරයෙන් ඉගෙන ගත හැකිය.පරිසරයට ආදරය කළ ඔවුහු පරිසර සමතුලිතතාවය නොබිඳෙන ලෙසින් නිර්මිතයන් සකස් කළහ. ග්‍රාමීය වැවේ සිට මහා වැව දක්වා තිබෙන වැව් සංස්කෘතිය එලෙස අපට හඳුනාගත හැකිය.1948 න් පසු මෙරට පාලනය කළ කලු සුද්දන්නට මහනුවර නගරයේ ‌ෙඑතිහාසික අගය සුරකනින්ට නොහැකි විය.ඔවුහු සුද්දා අනුව යමින් නගරය මෙන්ම එහි ‌‌‌ෙඑතිහාසික වටිනාකමත් සුන්බුන් කළහ. වර්තමානය වන විට එදා මහනුවර පරිසරය අලංකාර කල හන්තානකන්ද උඩවත්ත කැලේ බහිරව කන්ද ගුණ්ඩුමලේ වර්තමාන ප්‍රිම්රෝස්  වැනි මනස්කාන්ත පරිසර පද්ධතීන් විනාශ කරමින් ගිනිපෙට්ටි පිට ගිනි පෙට්ටි අටවමින් මීනී පෙට්ටි වලින් මිහිදන් වීමට පසුබිම සකස් කර ගෙන සිටිති.මේ විනාශය මහනුවර නගරයට පමණක් උදා වූ දෙයක් නොවේ ‌ෙඑතිහාසික කුරුණෑගල නගරයට ද එම කලදසාවම උදා වී ඇත. පැරණි නටබුන් විනාශ කරමින් එද ඉංග්‍රීසින් ඇට වූ කච්චේරිය අනුකරණය කරමින සෑදූ ගොඩනැගිලි නිසා කුරණෑගල වැවේ අස්වැද්දුම අද බස් නැවතුම් පළට යට වී තිබේ.කොළඹ මහනුවර කුරූණගල පමණක් නොව අනුරාධපුරය පොළොනේනරුව වැනි ‌‌ෙඑතිහාසික නගර හරහා දිව ගිය මේ ඛේදවාදකය මතුවන්නේ නාය යෑමෙකිනි. මහා ගංවතුරාවකිනි.නැතිනම් සුනාමියකින් නැති කම් භූ කම්පාවකිනි.පසුගිය යහපාලන රජයේ මෙගා නගර සංකල්පයෙන් ඔද්දල් වූ ජන මනස මගින් වේගවත් කරන ලද නූතන භෞතික සංවර්ධනයේ වැරැද්ද බූ වැලිකඩ පස් මහල් නිවස ගිලා බැසීමෙන්  පෙන්වා දී තිබේ..මහනුවර සෑම කන්දකම අටවා තිබෙන මෙවැනි ගොඩ නැගිලි වර්තමාන නාගරික සංවර්ධනයේ විකෘති ය කියාපායි. කෙතරම් හොඳට අත්තිවාම දමා තිබුණද පිහිටි පොළව දක්වා කොන්ක්‍රීට් කණු ගමන් කළද භූවිද්‍යා සමීක්ෂණ වාර්තා ලබාගෙන මේවා ඉඳි කළද කලක් පවත්නේ යැයි කිව නොහැකිය. වික්ටෝරියා ජලාශය පිහිටා ඇත් තේ හුණු ගල් තට්ටුවක් උඩය.මහා ජල කඳක් උසුලා තබා ගන්නා විට ඇති වන පීඩනය මෙන්ම හුණුගල්  දිරාපත් වීම තව තවත් මහනුවර ට දැනෙන විට කල් පසු වී අවසන් වනු ඇත.මහනුවර වැඩ සිටින නාථ දේවතාවුන් වහන්සේ විසින් එම දේවාලයේම බස්නායක නිලමේ ගේ මන්දිරය ගිලාබස්සවා පෙන්නා දී ඇති යථාර්තය අනෙකුත් සිංහල බෞද්ධයන්ද මැනවින් තේරුම් ගත යුත්තේය.

මතුගම සෙනෙවිරුවන්

One Response to “බූවැලිකඩින් ගිලාබැස්සේ කලුසුද්දන්ගේ නාගරික පුරාජේරුවයි”

  1. aloy Says:

    Perhaps like all nilames this one too tried to Cheat. According to reports, foundation has been designed for only two floors but he had finally decided to make it a five storied hotel for tourism. Unfortunately three locals died. If not for Covid many would have died.
    Nobody can rely on anything that happens in the country it appears.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress