අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ගැන සන්ධ්‍යා කුමාරි කළ හෙළිදරව්ව (වීඩියෝ)
Posted on September 29th, 2020

Courtesy Hiru News

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව , වඩාත් අපක්ෂපාතී යැයි පවසමින් පත් කළ පොලිස් කොමිසම දේශපාලණීකරණය වී ඇතැයි දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසම නිරීක්ෂණය කළ බව එහි සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා අද ප්‍රකාශ කළා .

>ඒ යුද හමුදා පළමුවන  බුද්ධි බලකායේ විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන මහතා කළ පැමිණිල්ලකට අදාළව ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා කුමාරි මහත්මිය කොමිසමට කළ කරුණු දැක්වීමේදීයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්  2015.09.04 වන දින උදෑසන 5.30 ට පමණ බලහත්කාරයෙන් සිය නිවසට කඩා වැදුණු බව සන්ධ්‍යා කුමාරි මහත්මිය කොමිසම හමුවේ සදහන් කළා.

ඇය පැවසුවේ රාත්‍රී ඇදුමෙන් සැරසී සිටීම නිසා දැඩි අපහසුතාවයට පත් වූ තමා එම ඇඳුම මාරු කර ගැනීමට සී.අයි.ඩී යේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැත්තා ගෙන් ඉල්ලීමක් කළ ද ඔහු ඒ සඳහා අවස්ථාව ලබා නොදුන් බවයි .

තම ස්වාමියා පිළිබඳව කරුණු නොදන්නා බව අවස්ථා කිහිපයකදී පැවසීමෙන් අනතුරුව උරණ වූ සී. අයි.ඩී යේ ප්‍රේමතිලක නැමැත්තා  තමන් අමතා ” මේකිව හුරතල් කරලා  හරි යන්නේ නැහැ.මේකිවයි දරුවයි වාහනේ දාගෙන යන්න ඕන” යැයි පවසමින් බලහත්කාරයෙන් තමා රැගෙන යාමට කටයුතු කළ බව ඇය  වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විනිසුරුවරයා පැවසුවේ සී.අයි.ඩී නිලධාරීන් කොල්ලකරුවන් ලෙස කටයුතු කර ඇති බවයි.

>සන්ධ්‍යා කුමාරි මහත්මිය සඳහන් කළේ ඒ අවස්ථාවේදී තම ඉල්ලීම මත රාත්‍රී ඇඳුම මාරු කර ගැනීමට  සී.අයි.ඩී නිලධාරින් අවස්ථාව ලබා දුන්නද ඒ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැත්තා තමාට කාමරයේ දොර වසා ගැනීමට අවස්ථාවක් ලබා නොදී ඒ අසල රෑදී සිටි  බවයි .

සන්ධ්‍යා කුමාරි මහත්මිය සඳහන් කළේ , උදෑසන 6.30 සිට පස්වරු 2.00 පමණ දක්වා තමාට හෝ සිය පුතුට ශරීර කෘත්‍යයන් ඉටු කර ගැනීමට හෝ  පානය කිරීම සඳහා ජල බිඳක් ලබා දීමටවත් සී.අයි.ඩී ය  සානුකම්පිත නොවූ බවයි .

තමාට  ඉවසා ගත නොහැකි නිසා ස්වාමියා සේවය කරන ස්ථානයට ගිය පසු ශරීර කෘත්‍යයන් ඉටු කර ගැනීම සඳහා ඉඩ ලබා දෙන්නැයි  ඉල්ලීමක් කළ අවස්ථාවේදී ඔවුන් වැසිකිළියේ දොර වසා ගැනීමට ඉඩ නොදී ඒ අසල රැඳී සිටි බව සංවේදී වෙමින් ඇය ප්‍රකාශ කළා.

කොමිසමේ සභාපති විනිසුරුවරයා නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත  අබේසූරිය මහතා ගෙන් විමසුවේ , මෙම කාන්තාවගේ පැමිණිල්ලට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ කුමන වගන්ති උල්ලංඝනය වී ඇත් ද යන්නයි .

එයට අනුව ලිංගික හිරිහැර කිරීමේ වරද සිදුකර ඇති බව හැගී යන්නේ යැයි රොහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළා .

මෙහිදී පොලිස් කොමිසම සන්ධ්‍යා කුමාරි මහත්මිය වෙත එවා තිබූ පිළිතුරු ලිපියක් සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමු වුණා .

” කාන්තාවක් බලහත්කාරයෙන් වාහනයක දමා ගෙන යාම විනය විරෝධී ක්‍රියාවක් නොවන බව පොලිස් කොමිසම කියනවා.මෙහෙම පොලිස් කොමිසමක් අවශ්‍ය ද? .කන්න බොන්න නැතුව , ඇදුම් මාරුකරගන්න දොරවල් අතරට වෙලා හිටපු එක විනය විරෝධි ක්‍රියාවක් නොවන බව ට කියන්න තරම් පොලිස් කොමිසම මේ තරම් පහත් ද ? පොලිස් කොමිසමේ අසාර්ථකභාවය මෙයින් පෙනී යනවා .පොලිස් කොමිසම කොතරම් දේශපාලනයට ගැති වෙලා තියෙනව ද යන්න කොමිසම හමුවේ ලැබෙන සාක්ෂිවලින් පෙනී යනවා.” කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා වැඩිදුරටත් සදහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress