ජාත්‍යන්තර වැඩිහිටි දින පණිවිඩය
Posted on October 1st, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

ලොව පුරා වැඩිහිටියන් වෙනුවෙන් වූ ජාත්‍යන්තර වැඩිහිටි දිනය ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබේ. ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස, මෙම දිනය අප සමරනු ලබන්නේ අනාදිමත් කාලයක් පුරා අප රැකගෙන ආ වටිනා ගුණධර්මයන් ලෝකයට පිළිබිඔු කරමිනි.

මාපිය උපස්ථානය අනාදිමත් කාලයක සිටම අප සංස්කෘතියේ සුවිශේෂී අංගයක්ව පවතී. අපේ ආර්ථිකය, සංස්කෘතිය හා සාරධර්ම පෝෂණය කළ වැඩිහිටි ප්‍රජාව පිළිබඳ ලොව අන් කිසිඳු සමාජයකට නොදෙවෙනි ගෞරවයක් හා  ආදරයක් ශ්‍රී ලාංකිකයින් වන අප සතුවේ.

එදා පවුල මුල් කරගත් දැවැන්ත වගකීම් සම්භාරයක් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටියන් සතු විය. එදා ඔවුන් ගත් යහපත් තීන්දු තිරණ නිසා දරුවන්ගේ ජීවිතය ආලෝකමත් විය. ජීවිතය තුළින් ඔවුන් උපයා ගත් දෑ බොහෝය. එසේම සමාජය වෙනුවෙන් උපරිම කැපවීමෙන් දායකත්වය ලබා දුන් ඔවුන්ට ආදරය, ආරක්ෂාව, ඇගයීම ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත අත්දැකීම් දැනුම සහ කුසලතා තවදුරටත් සමාජ ප්‍රගමනය වෙනුවෙන් දායක කරගැනීම අපගේ වගකීමකි.

2020 වර්ෂය වැඩිහිටි පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනයේ 30 වන සංවත්සරය සනිටුහන් කරයි.        කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමඟ ලොව පුරා කැලඹීමක් මතුව ඇති යුගයක, වසංගත රෝග පැතිරීමේදී වැඩිහිටියන් මුහුණ දෙන ඉහළ අවදානම් සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම අපි රජයක් ලෙස ක්‍රියාත්මක කරන්නෙමු.

ඒසේම, වැඩිහිටි ප්‍රජාවගේ නිදහස හා රැකවරණය සේම ආත්මාභිමානය ආරක්ෂ කිරීම අප සතු යුතුකමකි. ඔවුන්ගේ  දිවිය තුළ කළ කැපකිරීම් කිසිවිටෙක අපට ගණනය කළ නොහැක. මන්ද, අද අප සංස්කෘතිය හා සාරධර්මවල ලබා ඇති දියුණුව කෘතවේදීව ආවර්ජනය  කිරීම ඔවුනට දැක්විය හැකි උසස්ම ගෞරවයයි.

ආදරණීය දෙමාපියන් වැඩිහිටි නිවාසවල වියපත් වීමට ඉඩ ලබා නොදෙන ආකල්පමය වෙනසක් ඇති කිරීමට මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී අප අත්වැල් බැද ගනිමු!

ආදරණීය අම්මේ, තාත්තේ ඔබට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමි!!

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress