ලෝක අමද්‍යප දින පණිවිඩය
Posted on October 3rd, 2020

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ. ලොව පුරා ව්‍යාප්තව ඇති මත්පැන් නිසා ඇති වන සමාජ නපුරට ප්‍රතිචාර වශයෙන් අමද්‍යප ව්‍යාපාරයන් බොහෝ රටවල සංවිධානය විය. පළමුව එක්සත් ජනපදයේ සහ පසුව එක්සත් රාජධානියේ ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාරයන් පසුව වෙනත් රටවල් ද එය අනුගමනය කළහ.

ලොව රටවල් අතරින් අමද්‍යප ව්‍යාපාරයන් පිළිගත් රටවල් අතලොස්සකි. ඒ අතරින් ශ්‍රී ලංකාව යනු සුවිශේෂී ස්ථානයක් ගෙන තිබෙන්නේ සංස්කෘතිය සභ්‍යත්වය තුළින් පැවත එන්නා වූ ආචාරධර්මීය පැතිකඩයන්ගේ බලපෑම ප්‍රබල නිසාවෙනි.

මත්පැන් පානය කිරීමට එරෙහි සමාජ ව්‍යාපාරයන් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වූයේ 19 වන සියවසේ අග භාගයේදී ය. යුරෝපීයයන්ගේ පැමිණීමෙන් අනතුරුව, ලංකාවට ආවේණික වූ සංස්‌කෘතිය විනාශවීමේ දොරටු විවර විය. බෞද්ධාගමික රටක් ලෙස පුරාතනයේ සිට අපගේ මුතුන් මිත්තන් පැවතගෙන ආ සාරධර්ම, යහවාදී ගතිපැවතුම් පිරිහීමට එය හේතු සාධක විය.

දිවයින පුරා සුරාසල් ව්‍යාප්ත වනවිට ස්‌වදේශිකයන් මත්පැන් පානයෙන් ගලවා ගැනීමේ ප්‍රචාරක ව්‍යාපාරයන් ලෙස ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් බෞද්ධ පුනරුද ව්‍යාපාරයට නායකත්වය ලබාදුන් භික්‌ෂුන් වහන්සේලා, අනගාරික ධර්මපාල තුමා වැනි දේශප්‍රේමී නායකයන් ද කටයුතු කළේය.

නමුත් ක්‍රමයෙන් රට තුළ වර්ධනය වූ මත් උවදුර නිසා රටේ ඉදිරි අනාගත පරපුර එහි ගොදුරක් බවට පත් විය. 2005 වර්ෂයේ මහින්ද චින්තන මැතිවරණ ප්‍රකාශනය මඟින් මතට තිත වැඩසටහන හඳුන්වා දීම තුළින්ද මාගේ අපේක්ෂාව වූයේ රටේ අනාගතය භාර ගැනීමට සිටින ශක්තිමත් ජව සම්පන්න තරුණ පරපුර මත් රකුසාගෙන් මුදා ගැනීමයි.

එපමණක් නොව මත්ද්‍රව්‍ය නිසාවෙන් අද මා පිය සෙනෙහස අහිමි වූ දරුවන්, විවිධ අකටයුතුකම්වලට ලක් වූ දරුවන් බොහොමයක් තම ජීවිතයෙන් වන්දි ගෙවති. තවත් පිරිසක් හිර ගෙවල්වල හූල්ලති. අහිංසක දුවා දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, දෙමාපිය සෙනෙහසට මැදිව නිදහසේ, සතුටින් සමඟියෙන් ජීවත් වීමට ඇති අයිතිය මත් රකුසා බිලිගනිමින් තිබේ.

රටේ අනාගතය සුවපත් කිරීමට නම් විවිධ රෝගාබාධ වලට තුඩු දෙන්නා වූ මත් උවදුර අවසන් කළ යුතුව ඇත. නීරෝගීමත් බවින් පිරිපුන් සෞඛ්‍ය සම්පන්න තාරුණ්‍යක් වෙනුවෙන් හා සදාචාරාත්මක ගුණ ගරුක සමාජයක් වෙනුවෙන්  හා අහිංසක මල් කැකැළු ආකාලයේ මිලින වන යුගයක් අවසන් කිරීමට නම් මත්ද්‍රව්‍යයෙන් තොර රටක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා රජයක් ලෙස ගත යුතු සෑම පියවරක්ම අප රජය යටතේ ගන්නා බවත්, මත් රකුසාගෙන් අනාගත පරපුර මුදවා ගැනීමට කටයුතු කිරීමට පෙළ ගැසෙන ලෙසත් අමද්‍යප දිනය යෙදෙන අද දිනයේ මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු!

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress