සාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් පුළුල් කිරීමට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දෙයි
Posted on October 8th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සෞභාග්‍යයේ දැක්ම යටතේ සාගර විශ්වවිද්‍යාලයේ ධීවර, සමුද්‍රීය හා නාවික ඉංජිනේරු ක්ෂේත්‍රවල වෘත්තීය හා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.10.08 දින උපදෙස් දුන්නේය.

සාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට අදාළව අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලමැටියාන ප්‍රදේශයේ ස්ථාපිත කොට, සංවර්ධනය කිරීමට උපදෙස් දුන් අග්‍රාමාත්‍යතුමා එහි තාක්ෂණික පීඨය දැනට පවත්වාගෙන යන මට්ටක්කුලිය ප්‍රදේශයේ එම භූමිය කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නැයි අවධාරණය කළේය.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත වූයේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මතය.එතුමා ආරම්භ කරන ලද ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය 2014 අංක 31 දරණ පනත මඟින් නිල වශයෙන් විශ්වවිද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ඊට සමඟාමීව කලමැටියාන ප්‍රදේශයේ භූමියක් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ඉදි කිරීම වෙනුවෙන් තමන් ධීවර ඇමතිවරයාව සිටි සමයේ ලබා දුන්නද, පසුගිය ආණ්ඩුවල ධීවර අමාත්‍යවරුන් විසින් සාගර විශ්වවිද්‍යාලය ඔවුන්ගේ බල ප්‍රදේශවලට ගෙන යාමට උත්සහ කිරීමෙන් එහි සංවර්ධනය මුළුමනින්ම ඇණ හිටි බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

උපාධි පාඨමාලා සහ වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වාගෙන යාමට විද්‍යාගාර, දේශන ශාලා, වැඩහල්, ක්‍රීඩාගාර, මෙන්ම මානව සම්පත්වල අවශ්‍යතාව ඇති බව සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක මහතා මෙහිදී  අග්‍රාමාත්‍යතුමාට පෙන්වා දුන්නේය.

සීමිත ඉඩ පහසුකම් යටතේ පවත්වාගෙන යන වෘත්තීය හා උපාධි පාඨමාලා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා එම දුෂ්කරතා අවම කිරීම සඳහා වහාම පියවර ගන්නැයි අදාළ අමාත්‍යවරුන් ඇතුළු බලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.

රජයේ නව දැක්ම යටතේ ධීවර, සමුද්‍රීය කටයුතු, නාවික ඉංජිනේරු හා නාවික විද්‍යා ක්ෂේත්‍රයේ නිපුණ ශ්‍රමිකයන් සහ වෘත්තිකයන් දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීම ඉලක්ක කර ගත යුතු යැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජී.එල්.පීරිස්, රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේෂ් ධර්මවර්ධන, නිපුනතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නලීන් රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු සාගර විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress