රටට සෙත්පතා ආරම්භ වූ රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍යතුමා එක්වෙයි
Posted on October 24th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රට වැසියාට සෙත් පතා දින 07ක් පුරා පවත්වනු ලබන රතන සූත්‍රය සඡ්ඡායනා කිරීමේ පිරිත් දේශනාව නාරාහෙන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර ක‌ර ගනිමින් ඊයේ දින ආරම්භ විය.

පිරිත් දේශනාව සඳහා සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව පිරිත් දේශනාව ශ්‍රවණය කිරීම සඳහා එක්විය.

කොවිඩ් – 19 වසංගතය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් මීට සමඟාමීව ඊයේ දින සිට දින 07 ක කාලයක් පුරා දිවයිනේ විහාරස්ථාන 200 කට අධික සංඛ්‍යාවක රතන සූත්‍රය දේශනා කිරීම ආරම්භ වූ බව නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුලිකත්වයෙන් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව එය සංවිධාන කර තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හා ජනජිවිතයට බලපා ඇති අනෙකුත් අර්බුද සමනය කිරීම සඳහා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම රතනසුත්‍ර දේශනය පැවැත්වේ.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු රතන සූත්‍රය සඡ්ඡායනා කිරීමේ පිරිත් දේශනාව සඳහා මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරථන නාහිමි, පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද නාහිමි, පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන විද්‍යාලංකාර නාහිමි, පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමි හා පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

මෙම අවස්ථාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා විහාරස්ථ දායක දායිකාවන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress