හරක් ටික ගාල් කරමු!
Posted on November 17th, 2020

වාගිස ප්‍රනාන්දු විසිනි.

හරක් ටික ගාල් කරමුයන මැයෙන් නොවැම්බර් 17 වනදා දිවයින තම පුවත්පතේ කතුවැකිය ලියා ඇත. අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කරන්නන් මෙසේ නීතිය ඉදිරියට ගෙන ඒම සම්බන්ධයෙන් පොලිසීයේ කාර්යභාරය මෙන්ම මෙවන් තීරණාත්මක අවස්ථාවකදී අසත්‍ය ප්‍රචාරය මැඩ පැවැත්වීම සදහා මාධ්‍යයේ මෙන්ම රටවැසි සියළුම දෙනාගේ වගකීම හා යුතුකම එහි මනාව පැහැදිළි කර ඇත.

මේ කෙටි ලිපිය ඊට ඌණ පූර්ණයකි.

අයාලේ යමින් ලබාදී ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරන එවැනි හරක් ගාල් කල යුතුය. ඒ පිළිබද විවාදයක් සත්‍යය අගයන කිසිවෙකුත් තුල තිබිය නොහැක.

අසත්‍ය ප්‍රකාශ සමාජගතවීම ඇරඹුනේ අද ඊයෙක සිට නොවේ. කොරෝනා වෛරසය රට තුලට පැමිනීමට පෙරද විවිධ විෂයන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විසින් විවිධ හේතුන් මත අසත්‍යය ප්‍රචාර සිදුකර ඇති බව නොරහසකි. ඒවාගේම මෙවැනි විශේෂ අවස්ථාවන්හීදී සත්‍ය අභිබවා අසත්‍යය ප්‍රචාරයවීමද වැඩි වශයෙන් සිදුවීම සාමාන්‍ය තත්වයකි.

කොරෝනා වෛරසය මෙරටට ඇතුල්වූ මුල් කාලයේ සිටම නොයෙකුත් අසත්‍ය ප්‍රකාශ විවිධ මාධ්‍යයන් හරහා සමාජගත විය. එයට එක් හේතුවක්වූයේ සත්‍යය සමාජගතවීමට තිබුනු ප්‍රමාදයයි.

යම් සිද්ධියක සත්‍යය තත්වය සමාජයට හෙළිදරව්වීම අසාමාන්‍ය ලෙස ප්‍රමාදවනවිට ඒ සම්බන්ධයෙන් සැක සංකා මතුවීම මෙන්ම එකී සැක සංකා මත පිහිටා විවිධ අර්ථ කථන බිහිවීමත් සමාජයේ සෑමවිටම දක්නට ඇත. එමනිසා සත්‍යය සමාජගතවීමේදී ඇතිවන ප්‍රමාදය පාදක කරගෙන නිරන්තරයෙන්ම ප්‍රවෘත්ති පිපාසාවෙන් පෙළෙන ජනයාට අසත්‍යය බෙදාහැරීමට ඇතැමුන් කටයුතු කලේ අද ඊයෙක සිට නොවේ.

කොරෝනාවේ මුල් අවධියේදී පවා විවිධ පුද්ගලයින් විසින් අසත්‍ය සමාජගතකිරීම සිදුවුනු අතර මංත්‍රීවරුන් දෙදෙනෙකුද ඒ අතර විය. පාසැල් ළමයින් තුල කොරෝනා ආසාධනය වී ඇති බව ඉන් එක් අයකු පැවසූ අතර අනිකා පැවසූයේ ඒවනවිටත් මරණ කීපයක් සිදුවී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුවද ඒ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවිනි. නමුත් ඒ කාලයේදීම රටේ පැවැති කොරෝනා රෝගී තත්වය පිළිබද විවිධ අසත්‍ය දේ සමාජ ජාලා මාධ්‍ය හරහා ප්‍රකාශ කල කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්විය.

වර්තමානයේද එම තත්වයේ වෙනසක් නැත. කොරෝනා රෝගය වැළදී මහ මග මිනිසුන් මිය යන බවට අසත්‍ය ප්‍රචාර ගෙන ගිය දෙතුන් දෙනෙකු අත්අඩංගුවට පත්වුවද, කොරෝනා වෛරසය වැළදී මියයන එක්තරා ජනවර්ගයකට අයත් පුද්ගලයින් භූමිදානය කිරීමට අවසරය ලබාදීම ගැන රජයට ස්තූතිය පල කරමින් ලිපියක් ප්‍රසිද්ධියට පත්කලවුන් අදටත් නිදැල්ලේය. නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කතිකාවක් නිර්මාණයවී තිබුනද, මේවනවිටත් මියයන කොරෝනා ආසාධිතයින් භූමිදානය සදහා රජය නිල වශයෙන් අවසර දී නැත. එසේනම් මෙවැනි ලිපියක් සමාජගත කලවුන්ද කරඇත්තේ අසත්‍යයක් සමාජගත කිරීමය. අනික් අතට රජය විසින් මේ දක්වා අනුමත නොකල දෙයක් සම්බන්ධයෙන් අසත්‍යය ප්‍රවෘත්තියක් මවා පෑම  හරහා රටේ බහුතර ජනතාව ඉදිරියේ රජයද විශාළ අපහසුතාවයකට පත් කර ඇත.

එමනිසා අපි මෙසේ කියමු. අයාලේ යන හරක් ටික ගාල් කල යුතුමය. අප මුලින් සදහන් කල පරිදි ඒ පිළිබද කිසිවෙකුත් තුල විවාදයක් තිබිය යුතු නැත. නමුත්  එසේ ගාල් කිරීමේදී හරක්ගේ වර්ගය, පාට, උස මහත, උන්ගෙන් ලැබෙන ඍජු හා වක්‍ර ප්‍රයෝජන සහ උන්ගේ අයිතිකරුවන් මත උන්ව ගාල්කිරීම හෝ නොකිරීම තවදුරටත්  තීන්දු නොකලයුතු බව පමණක් මෙහිලා අවසන් වශයෙන් සදහන් කලයුතුය. මන්ද? හරක් සැමවිටම හරක්ම වන බැවිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress