දිගාමඩුල්ලේ ආශ්චර්ය හෙවත් දීඝවාපී ස්ථූපයේ සාධුනාදය
Posted on November 27th, 2020

මතුගම සෙනෙවිරුවන්

            නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පවතින දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ සමස්ත සිංහල බෞද්ධ ජනතාවගේ සදා වන්දනීය පූජ්‍යස්ථානයකි.බුදුන් වහන්සේ ලංකාවට වැඩම කොට දිවාගුහාවේ සමවත් සුවයෙන් වැඩ සිට නැගෙනහිර පළාතේ දීඝ මණ්ඩලයට වැඩම කළහ.එහි භාවනායෝගීව වැඩ සිටි අතර සම්බුද්ධ පරිනිර්වානයෙන් පසුව ලබාගත් උන්වහන්සේ ගේ දික්නිය ධාතුව මෙහි තැන්පත් කොට සත්රියන් උස ඉඳුනිල් මුවා දාගැබක් නිර්මාණය කරන ලදැයි පැවසේ. පසුව දුටුගැමුණු මහරජුන් ගේ මලණුවන් වූ සද්ධාතිස්ස රජු විසින්  මේ ස්ථූපය විශාල කරවා සාදවා තිබේ.මේ අසිරිමත් පුදබිම වසර දහස් ගණනාවකට පසු නැවත ජීවමානව සුදෝසුදුවන්ව බැබළෙන්නට නියමිතය.ඒ වර්තමාන රජය සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා මේ දාගැබ සම්පූර්ණ වශයෙන්ම තහවුරු කරලීමට තීරණය කර තීබිමයි.

     දීඝවාපී දා ගැබේ මෑත කාලීන පුරාවිද්‍යා කැණීම් ආරම්භ වන්නේ 2011 වසරේ පමණ සිටයි.දැන් ඒ කැණීම් ලහිලිහියේ අවසන් කිරීමේ අදිටනින් පසුවන අතර එහි දකුණු වාහල්කඩ ධාතු ගර්භයක තිබී ශිලාමය ධාතු මංජුසාවක් හමු වීම අශ්චර්යක්ම වී තිබේ.ලංකාවේ පළමු වතාවට එකම මංජුසාවක තිබී සර්වඥ ධාතු තැන්පත් කරන ලද රන් කරඬු හතරක් සම්මුඛ වන්නේය.භික්ෂූන් වහන්සේලා ගේ පමණක් නොව ගිහියන් ගේද පිරිත් හඬ මධ්‍යයේ මේ ධාතු මංජුසාව පුරාවිද්‍යා කැණීම් නිළධාරීන් විසින් ගොඩගත් අතර සැදැහැති බෞද්ධයන්ගේ සාධු නාදය දස අත ගිගුම් දුන්හ.අනතුරුව ඉතා ශ්‍රද්ධාවෙන් යුක්තව මෙම කරඬු පුරාවිද්‍යා රසායනික සංරක්ෂණ නිළධාරීන් විසින් විවෘත කළහ.රන්කරඬු හරතක් පළිඟු කරඬුවක් ආදීවශයෙන් මේ ධාතු කොටස් හඳුනා ගන්නට උත්සාහ ගන්නා ලද්දේ මින් අනතුරුවයි.දැන් අම්පාර මහදිසාපති තැන්පත් ඩී.එල්.එම්.බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණය යටතේ මේ සර්වඥධාතුන් වහන්සේලා දිසාලේකම් මැදුරේ විශේෂ කුටියක තැන්පත්ව තිබේ.

      ස්ථූපයක ගර්භය තුළ ධාතු තැන්පත් කල පසු කාලාන්තරයක් තිස්සේ වන්දනාමානයට ලක්ව ජරාවාසව ගිය කල්හි පසුකාලීන රජවරු තව තවත් ධාතුන් වහන්සේලා තැන්පත් කොට නැවත තහවුරු කරලීමට පෙළඹේ.වාහල්කඩ සැළකෙන්නේ ස්ථූපයට ඇතුල් වන දොරටුව ලෙසටයි. සද්ධර්මාලංකාර කතා වස්තුවේ සිරිනාග වර්ගයේ දක්වන පරිදි ඒ රජු ධාතු ගර්භ කඩා නිධන් ගත් කෙනෙකි.ධාතු ගර්භයට ඇතුල් වෙන සන්ධිය දන්නේ මේ ස්ථූපයන් රකින පුද්ගලයන් පමණකි.අනුරාධපුරයේ හෙල්ලොලි නම් ගම එක් චන්ඩාලයෙන් මේ සන්ධිය දනිතැයි අසා ඒ  රහස් හෙළ කිරීමට බල කළ බව දැක්වේ. නමුත් දාගැබ් බිඳුවීම පඤ්ඤානතරීය පාපකර්මයක් බව දත් චණඩාල උපාසක එය නොකී කල්හි ඒ පුද්ගලයන්  උල හිඳුවා ඝාතනය කළ බව ඒ කතාවේ කියාපායි.කෙසේ වෙතත් දීඝවාපී ධාතු ගර්භයට ඇතුල් වන දකුණු වාසල් කඩේ මේ ධාතුන් වහන්සේ තැන්පත් කරන්නට ඇත්තේ සිරිනාග රජුට පෙර සිටි භාතිකාභය වැනි රජුන් අනුදත් ධාතු තැන්පත් කරලීමේ පූජාඋත්සව ආදර්ශයට ගෙන බව නිසැකය

 නැගෙනහිර පළාත් වශයෙන් වර්තමානයේ දී හඳුනාගන්නා මේ ප්‍රදේශය පැරණි දිගා මඩුල්ලයි.දීඝායු කුමරු ට දුන් මේ පෙදෙස ඒ නමින්ම හඳුන්වා තිබීම අදටත් ජනප්‍රවාද ගතය.දඹදිව ශාක්‍ය ජනපද වල සිට සංක්‍රමණය වූ බුදුන් වහන්සේ ගේ ඥාතීන් මේ පෙදෙස් වල පැලපදියම් වූයේ මහින්දාගමනයටත් පෙර සිටය. විජයාගමනයෙන් පසුවත් මේ පරපුරු සහ කාලිංග දේශය අතර සිදු වූ විවාහ සබඳකම් ඉතිහාසයට රහසක් නොවේ.දීඝ මණ්ඩලය අතීතයේ දී ඉතාමත් සශ්‍රීක ප්‍ර දේශයක් විය.ගොවිතැන් බතින් සුලභ කරන ලද ජන ජීවිතය ආලෝකමත් කරන ලද්දේ ප්‍රසිද්ධ නාවිකයන් විසින් වරින් වර සම්බුද්ධ ශාසනයට කරන ලද පූජාවන් කරණ කොටගෙනය.වෙසෙසින්ම නාගයන්ගේ ආධිපත්‍ය මත සිංහල රජවරු ද නාග නාමකරණය වී මෙම පළාතේ දේශපාලන බලය තහවුරු කර ගත්හ. අනතුරුව සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල පූජාවන් ඉටු කළහ. නැගෙනහිර පළාතේ තැනින් තැන විසිරී තිබෙන දහස්ගණනක් ස්ථූප නටබුන් මෙයට සාක්ෂි සපයයි.

    සෙනරත් රජුගේ කාලයේ දී ඔහුගේ රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට තිබූ දුෂ්කරතා නිසා නැගෙනහිර පළා ශක්තිමත්ව තබා ගැනීමේ අවශ්‍යතාවයක්ද මතුවිය.  විදේශිකයන් නිතරම මේ වෙරළ තීරයෙන් රටට ගොඩ බැස වානිජ ආධිපත්‍ය පවත්වා ගැනීමට මාන බැලීය.සෙනරත් රජුට එරෙහි සිංහල කුමාරවරු ද මේ විදේශිකයන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළහ. මේ අතර පෘතුගීසීන් ගේ තාඩන පීඩනවලට ලක්වූ දකුණු ඉන්දීය මරක්කලයන් සෙනරත් රජුගේ ආරක්ෂාව අයැද සිටියිහ. රජු මොවුන් කෙරෙහි අනුකම්පා කොට අවතැන් වූ පිරිස දිගාමඩුල්ලේ පදිංචි කරන ලද්දේ ඒ ගම් නියම්ගම්වල රාජකාරි පිණිසමය. එහි සිටි සිංහල පිරිස සමග මිශ්‍ර වන ලෙසටද කියා සිටි බවට කතාවක් ඇත.

     අවසාන වශයෙන් මේ දිගාමඩුල්ල සංවර්ධනය වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු අතිනි. එතුමා දීඝවාපී විහාරය ට වී බිජු අමුණු දහසක පමණ ඉඩම් පූජා කර ගල් සන්නසක් පිහිටවූ අතර දැනට දක්නට ඇත්තේ එහි පිටපතක් පමණි. කෙසේ වෙතත් ඉංග්‍රීසි පාලන සමය වන විට මේ ප්‍රදේශයේ සිංහල ජනගහනය ක්‍රමයෙන් අඩු වන්නට විය. මේ පළාතේ දෙමළ පාසල් පිහිටුවීම නිසා සිංහල ජනතාවද වැදි ජන වර්ගයන්ද ද්‍රවිඩ බස සිය මව් බස කර ගත්හ.මේ අතර ඉංග්‍රීසීන් ගේ සේවවාන්ට එකතුවී මරක්කලයන් ධනයෙන් හා රජකාරි බලයෙන් ශක්තිමත් වූහ.1916 වසරේ දී පූජ්‍ය කොහුකුඹුරේවත ස්වාමීන් වන්සේ විසින් දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ නැවත සොයා ගන්නා කල්හි එය ඝන කැලෑවෙන් වටව තිබූ ගඩොල් ගොඩක් පමණක් විය. විසිවන සියවසේ මුල් භාගයේ දී වාරිමාර්ග කටයුතු සඳහා බඳවා ගත් මරක්කලයන් මේ දාගැබේ ගර්භය බිඳ වාහල්කඩ බිඳ එහි තිබෙන ගඩොල් ද කලුගල්ද ගලවා ගෙන ගල් අමුණු  ඉඳි කරලීමට කටයුතු කරමින් සිටියහ.මඩකලපුවේ දිසාපතිවරයාව සිටි ඇලන්සන් බේලි මහතාගේ අනුදැනුම ඇතිව මෙසේ දීඝවාපී චෛත්‍ය විනාශ කරමින් සිටි මරක්කලයන් පළවා හැර එම ස්ථානයේ ගසක අත්තක් උඩ නවාගැන් ගත් රේවත හිමියන් ඉතා දුෂ්කර ලෙසට දිවි ගෙවමින් පැරණි බෞද්ධ උරුමය අරක්ෂා කොටගත් බව මෙහිදී මතක් කළ යුතුය.                                                                              

       දීඝවාපී චෛත්‍යය ස්ථානය නොයෙකුත් සතුරු ආක්‍රමණ මධ්‍යයේ ජරාවාසව ගිය කල්හි නිදහස් ලංකාංවේ ප්‍රථම වරට එහි කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ වන්නේ හැටේ දශකයේ දීය.ඒ පිළිබඳ වාර්තා රාශියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතී. අනතුරුව අවස්ථා කීපයකදීම මෙම කටයුතු නැවත ආරම්භ කරන ලද නමුත් කොටි ත්‍රස්ත සමයෙන් පසුව ඒ කටයුතු සියල්ල අඩාල විය. එම ප්‍රදේශයේ බලය අත්පත් කරගෙන සිටි මුස්ලිම් අන්තවාදී මන්ත්‍රීවරු තම බල වපසරිය තුළ විශාල විනාශයක් කළහ.

 දීඝවාපී සෑයේ පරිවාර සෑරදුන් හතරක් තිබූ අතර ඉන් ඒක් ස්ථූපයක් මේ මුස්ලිම් අන්තවාදීන් විසින් ඩෝසර කරන ලදහ.දැනට එක් පරිවාර චෛත්‍යයක් පමණක් සංරක්ෂණයට බඳුන් කර තිබේ. කෙසේ වෙතත් දෙමළ කොටි පරාජය කරලීමෙන් පසු නැවත 2011 වර්ෂයේ දී නැවත මේ ‌ෙඑතිහාසික ස්ථානයේ වැඩකටයුතු ආරම්භ කරන ලද්දේය.එහිදී සල පතුල මලුවේ කරන ලද කැණීම් වලදී ඉතා වැදගත් ශීලා ලේඛන කීපයක්ද ලැබී ඇති අතර සිවිල් ආරක්ෂක බලකයේ සහයෝගයෙන් ස්ථූපයේ සංරක්ෂණ කටයුතු ද දිගින් දිගටම ක්‍රියාත්මකවේ. වර්තමාන කැණීමේ දී හමූ වූ වැදගත්ම සාධකය නම් නිධන් සොරුන් විසින් විනශ කරන ලද දක්ෂිණ වාහල් කඩ ආසන්නයේ සම්මුඛ වූ ධාතු මංජුසාවයි. මේ සමග ලැබුණු අකුරු කෙටූ රන්පත් කීපය ඉතා වැදගත්ය. මීට පෙර බටහිර වාහල්කඩ අසල කැණීමේ දීත් මෙවැනි රන්පත් ඉරුකීපයක් දැක ගන්නට ලැබී තිබේ. මේ පත් ඉරු වල ලේඛන වලට අනුව මලුතිස නොහොත් කණිෂ්ට තිස්ස නම් රාජ්‍ය කාලයේ එනම් ක්‍රි.වර්ෂයෙන් යට දෙවනි සියවසේ දී මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට අතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක් මහතා සහ මෙම ස්ථානයේ කැණීම් භාර නිළධාරී සේනක චන්ද්‍රකුමාර මහාත පවසයි.මෙහිදී ලැබී තිබෙන රන් කරඬු හතර සුවිශේෂීය මීට පෙර නිධන් හොරුන් විසින් සහ අන්තවාදීන් වසින් නැගෙනහිර මොට්ටාගල සහ හිරුකෝවිල් දාගැබ් ඩෝසර කිරීමේ දී ලැබුණු ධාතු කරඬු වලට මේවා සමාතය. වෙනසකට පවතින්නේ එකම ස්ථානයකින් කරඬු හතරක්ම ලැබීමයි.මෙහි සතරැස් කොටුවේ රන්වන් ධූර ඡත්‍ර පැහැදිලිවම දර්ශනය වීම කෙතරම් භාග්‍යයක්ද. එදා භාතිකාභය රජ දවසදී මහාචෛත්‍ය පාදයේ පටන් ධූර ඡත්‍රය දක්වා සුවඳ කලලින් ආලේප කරන ලදැයි මහාවංශයේ දැක්වේ.ශ්‍රද්ධ සම්පන්න මහරජවරු ධූර ඡත්‍රය ගැන මහත් සැලකිල්ලක් දක්වා ඇත.ඒවා රන්කරඬු ආකෘතිවලද සටහන් කළහ. වසර විසිඅටක් අනුරාධපුරයේ රජකල කණිෂ්ට තිස්ස නොහොත් මලුතිස රජු මහා ශ්‍රද්ධ සම්පන්න රජෙකු බව මේ ධාතු පූජාවෙන් පැහැදිලි වේ.

    දීඝවාපී චෛත්‍යට පළන්දන ලද ධජයක් සුළඟේ ගසාගෙන ගොස් කුඹුරක වැටී තිබියදී පොරෝනයක් ලෙසට පරිහරණය කිරීමේ පාපයෙන් ප්‍රේතයෙක් ලෙසට ඉපැදුණු කෙළෙඹි පුත්‍රයෙකු ගැන බණකතා සාහිත්‍යයෙහි සඳහන් වෙයි.ඒ ප්‍රේතයාට සුගතිය අත්කර දීමට හැකිවූයේ පතාක දහසක් දීඝවාපී චෛත්‍යයට පූජා කරලීමෙනි.ශ්‍රද්ධා සම්පන්න ගුණයෙන් හෙබි සිංහල බෞද්ධයන් මේ හොඳ නරක දෙකම හොඳින් දනී. නමුත් සුමග නොයන්නේම මේ රටේ දෙශපාලකයන් සහ අන්තවාදීන් පිරිසයි.දීඝවාපී ස්ථූපයෙන් ලැබුණු මේ අගනා ධාතු සම්පත්තිය දක්වා මේ රටට හඬනගා කිය යුත්තේ පෙර රජවරුන් ගිය මග ගැනීම කෙතරම් අර්ථවත්ද යන්න නොවේද.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress