ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශකතුමා අග්‍රාමාත්‍යතුමා හමුවෙයි
Posted on November 27th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද 2020.11.27 දින විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

ප්‍රථමයෙන් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා විසින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ සුබ පැතුම් පණිවිඩයක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතා වෙත එක් කළේය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව බොහොමයක් රටවල් මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට කලාපයේ සෙසු රටවල්වලට ද මුහුණ දීමට සිදුව ඇති බව ප්‍රකාශ කළ හෙතෙම, වසංගත තත්ත්වය යටතේ වුවත් කලාපයේ රටවල ආර්ථික, සමාජීය සංවර්ධනය ඉදිරියට පවත්වාගෙන යාමට සිදුව ඇති බව පැවසීය. 

එසේම කොවිඩ්-19 වසංගතය තත්ත්වයන් හමුවේ රටවල් අතර සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදු කිරීමට වැඩි වශයෙන් සිදුව ඇත්තේ අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ බවද අජිත් දෝවාල් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුලු මෙම කලාපයේ රටවලට ද විදේශ ශ්‍රමිකයින් නිසාවෙන් විශාල ආර්ථික ශක්තියක් ලැබුණ ද, වර්තමාන කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ගේ රැකියා අහිමිවීමත්, සිය රටවලට ශ්‍රමිකයින් පැමිණීමත් නිසා සෑම රටකටම ලැබුණු විදේශ විනිමය අවම වී ඇති බව අජිත් දෝවාල් මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වුවද, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ප්‍රකාශ කළ හෙතෙම, මෙම කලාපයේ සෙසු රටවල් ද සමඟින් ආර්ථිකය නගා සිටුවීමේ හා සංවර්ධනය කරා ගමන් කිරීමේ ක්‍රමෝපායන් සොයා ගත යුතු බව ප්‍රකාශ කළේය.

එ් සඳහා, කලාපයේ සෙසු රටවල් අතර සංවාදයක් ගොඩ නැඟීමට මෙන්ම, ආර්ථික අවපාතයට විසඳුම් සොයමින් ආර්ථිකය නගා සිටුවීමේ ක්‍රමෝපායන් සොයා ගැනීමට හා ක්‍රමෝපායන් සකස් කර ගැනීමේ කතිකාවක් නිර්මාණය කිරීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මූලිකත්වය ගන්නා ලෙස ද ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා යෝජනා කරන ලදී.

ඒ සඳහා ඉන්දියානු රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව පැවසූ අජිත් දෝවාල් මහතා, කොවිඩ්-19 තත්ත්වය යටතේ වුවත් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු කලාපයේ සෙසු රටවල සංවර්ධනය යළි ගොඩනැගිය යුතු බව ද ප්‍රකාශ කළේය.

ඉන්දියානු රජයේ ආධාර යටතේ උතුරු නැගෙනහිර හා කන්ද උඩරට ප්‍රදේශවල නිවාස යෝජනා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව ප්‍රකාශ කළ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එවන් නිවාස යෝජනා ව්‍යාපෘති දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට ද සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ සඳහා ඉන්දියානු රජයේ සහයෝගය ලබා දෙන බව ශ්‍රී අජිත් දෝවාල් මහතා පැවසීය.

එසේම ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ මඟ පෙන්වීම යටතේ නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉන්දියාවේ ආරම්භ කර ඇති පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කරමින්, එම තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාව තුළ  ජල යෝජනා ක්‍රම ආරම්භ කිරීම සඳහා  මෙම හමුවේදී එකඟතාව පළ විය.

මේ පිළිබඳව ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙස ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress