ධරණීය නීල ආර්ථිකය බෙංගාල බොක්ක ආශ්‍රීත රටවල අනාගතය බව ශ්‍රී ලංකාව පවසයි
Posted on November 27th, 2020

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, තායිලන්තය

ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව සුරක්ෂිත මෙන්ම ආරක්ෂාකාරී ලෙස යාත්‍රා කිරීමත්, සාමකාමී මෙන්ම ධරණීය ලෙස සමුද්‍රීය සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමත්, බෙංගාල  බොක්ක ආශ්‍රිත කළාපයේ සහ බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (BIMSTEC) රටවල අප සියලුදෙනාම ප්‍රමුඛත්වයක් ලෙස සලකන බවත්, ශ්‍රී ලංකාව එකී ප්‍රමුඛතාව පිළිබදව විශ්වාස කරන අතරම එය ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කරන බව,  2020 නොවැම්බර් 20-21 දිනයන්හි තායිලන්තයේ බැංකොක්හි පැවැති BIMSTEC විශේෂ  මහජන උත්සවය අමතමින් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි සමන්තා කේ. ජයසූරිය මහත්මිය පැවැසුවාය. 

‘බෙංගාල බොක්ක: ධරණීයත්වය සඳහා වන අභිලාෂය’ යන ප්‍රධාන තේමාව යටතේ පැවති එම විශේෂ උත්සවයේදී ‘BIMSTEC පිළිබඳ මගේ රටේ දැක්ම’ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ධරණීය නීල ආර්ථිකය අපගේ කළාපයේ අනාගතයවන නිසා මෙම කළාපය සියලුම සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන ආරක්ෂාව පිළිබදව වන අභියෝගයන්ගෙන් නිදහස්ව පැවතීම අපගේ අභිලාෂය වේ” යැයි තානාපතිතුමිය පැවැසුවාය. එමෙන්ම මේ සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආරක්ෂාව සම්බන්ධ තොරතුරු සහ බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම, සමුද්‍ර සම්බන්ධතාවය පුළුල් කිරීම පිළිබඳ සාමූහික ප්‍රයත්නයන් වැදගත් භූමිකාවක් හොබවන බවද ඇය පැවැසුවාය. ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් ගත්විට මේවා හුදෙක් අභිලාෂයන්ම  පමණක් නොව, ශ්‍රී  ලංකාවද, එයින් ඔබ්බට ඇති බෙංගාල බොක්ක ආශ්‍රිත  කලාපය තුලද  සාමය  හා සෞභාග්‍යය තහවුරු කරන අරමුණින් අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති මාලාවේද  නිසිපරිදි දක්වා ඇති බව තානපති තුමිය පැවැසුවාය.

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (BIMSTEC) සංවිධානය පිළිබඳ මෙම දින දෙකේ මහජන උත්සවය චූලාලොංකෝන් විශ්වවිද්‍යාලයේ ආසියානු අධ්‍යන අංශය, BIMSTEC පිළිබඳ ප්‍රතිපත්ති චින්තකයින්ගේ ජාලය, තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කර තිබූ අතර, බෙංගාල බොක්ක ආශ්‍රිත භූතානය, බංගලාදේශය, ඉන්දියාව , මියන්මාරය , නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල් හත වැදගත් කලාපීය කණ්ඩායමක් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍යය විවිධ සහ පොහොසත් සම්ප්‍රධායන්, සංස්කෘතීන් හා ජීවන රටාවන් පිළිබඳ දැනුම බෙදාගැනීම හා තායි වැසියන් අතර මනා අවබෝධයක් ඇති කිරීම  මෙහි අරමුණ විය.

BIMSTEC සංවිධානයේ වර්තමාන සභාපතිත්වය දරණ ශ්‍රී  ලංකාව, එහි ධූර කාලය තුළ BIMSTEC සම්මුතිය සැකසීම අවසන් කිරීම, හා ආංශික හා උපාංශික සහයෝගීත්වය වඩා තාර්කික ලෙස සැකසීම  ඇතුළුව, එහි ආයතනික ව්‍යූහය හා පදනම ශක්තිමත් කිරීමේ කාර්යය ඉටුකර ඇති අතර, සාමාජික රටවල්වෙත නිශ්චිත  ක්ෂේත්‍රයන් පැවැරීම BIMSTEC  සංවිධානයේ අරමුණු හා අනාගත ක්‍රියාකාරකම් වෙත අවධානය යොමුකිරීමේ හැකියාවද වර්ධනය කර ඇති බව තානාපතිතුමිය පැවැසූවාය.

 සාමාජික රටවල ආර්ථිකයන්ද ඇතුළුව සාමාන්‍යය ජන ජීවිතයේ සියලුම අංශයන් කෙරෙහි දැඩි බලපෑම් ඇතිකළ COVID 19 වසංගත කාලයේ තාක්ෂණය, සෞඛ්‍යය  හා මානව සම්පත් සංවර්ධනය යන උප අංශ සහිතව විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය යන අංශයන්හි ප්‍රධානත්වය දරණ රට ලෙසද, ශ්‍රී  ලංකාව, නව  තාක්ෂණය භාවිතා කිරීම මෙන්ම BIMSTEC තාක්ෂණ හුවමාරු පහසුකම (TTF) ක්‍රියාවට නැංවීම පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමේ අභිලාෂයෙන් පසුවෙන බවද තානාපතිනි ජයසූරිය මහත්මිය පැවැසුවාය.

ලෝකයේ විශාලතම බොක්ක වන බෙංගාල බොක්ක ආශ්‍රිත BIMSTEC රටවල් හත සහල් පදනම් කරගත් ආහාර සංස්කෘතියක සිට විචිත්‍ර ශිෂ්ටාචාරයක් දක්වා විහිදෙන පොදු ඉතිහාසයන්ගෙන් හා සංස්කෘතීන්ගෙන් පෝෂිත වනවා මෙන්ම ස්වෛරී රාජ්‍යයන් ලෙස අද්විතීය අන්‍යතාවක්ද පවත්වාගෙන යන අතර එම BIMSTEC රටවල් හතේ  විවිධත්වය හා අද්විතීය බව BIMSTEC සංවිධානයේ ශක්තිය වී ඇතැයි තානාපතිනි ජයසූරිය මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමේ 65 වැනි සංවත්සරය 2020 නොවැම්බර් 20 වැනි දිනට යෙදී තිබීම හේතුවෙන් මෙම අවස්ථාව තවත් සැමරුමකට නිමිත්තක් උදා කරදී ඇතිබව බව තානාපතිතුමිය පැවැසුවාය. එළැඹෙන වසරේදී BIMSTEC සංවිධානයේ නායකත්වය ශ්‍රී ලංකාව විසින් තායිලන්තයට පැවැරීමත් සමඟ තායිලන්තයේ විශිෂ්ඨ නායකත්වය තුළ BIMSTEC සංවිධානය ඉදිරිගමනක් අත්පත් කරගනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරන බවද තානාපතිතුමිය පැවැසුවාය.

BIMSTEC රටවල් හතේ තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වූ අතර එක් එක් රටවල් විසින් BIMSTEC සංවිධානය සම්බන්ධව අදහස් ඉදිරිපත් කරන ලදී. තායිලන්තයේ ශ්‍රි  ලංකා තානාපති කාර්යාලයේ චාන්සරි ප්‍රධානී පූර්ණිමා ගුණසේකර මහත්මිය මෙම උළෙල සඳහා ශ්‍රී  ලංකා සහභාගිත්වය සම්බන්ධීකරණය කළ අතර තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලය විසින්  සංචාරක කර්මාන්තය,  සිලෝන් ටී සහ කුළුබඩු සහ දේශීය ආහාරපාන ප්‍රවර්ධනය සදහා ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ප්‍රදර්ශණ කුටිය, උත්සවයට සහභාගී වූ තායිලන්ත වැසියන් අතර ආකර්ෂණයට ලක් විය .

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,තායිලන්තය

2020 නොවැම්බර් 26

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress