සූර්යයා බබළවන්න: මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන එක ෆෝටෝනයක් වත් නාස්ති වීමට ඉඩ නොදෙන්න
Posted on November 28th, 2020

Rohan Abeygunawardena Professor Ravi P. Silva  (පරිවර්තනය කළේ ගම්පහ ආනන්ද වික්‍රමාරච්චි විසිනි)

කොරෝනා වයිරස් හෝ කොවිඩ්19 වසංගතය මුළු ලොවටම අහිතකර ලෙස බලපා බොහෝ රටවල් සම්පූර්ණයෙන් වසා දැමීමට භේතුවී ඇත. දැන් ආර්ථික විශේෂඥයන්  සාකච්ඡා කරන්නේ ‘නව ආර්ථික පිළිවෙලක්’ ස්ථාපිත කිරීම සහ ඉදිරියට යා හැකි මාර්ග පිළිඹඳවය. වර්තමාන පරම්පරාව දැනුවත් කරලීම සඳහා උතුරු මැද පළාතේ වැසි ජලය ඉතිරි කිරීම වෙනුවෙන් ජලාශ ඉදි කළ12 වන ශතවර්ෂයේ සිටි විශිෂ්ඨ පාලකයෙකු වන පළමුවන පරාක්‍රමබාහු රජතුමාගෙන් අපට ආදර්ශයක් ලබා ගත හැකිය. අපේ ජනතාවට ඔවුන්ගේ අතීත උරුමය සහ අනාගතය පිළිබඳ දැනුමක් සමග විශ්වාසයක් ලබා ගැනීම සඳහා පසුගිය වසර දහස් ගණන තුළ ලෝක ආර්ථික සංවර්ධනය සිදු වූයේ කෙසේදැයි අපි දැන් විමසා බලමු,
සමුච්ඡිත දැනුම
වැටී ඇති ගසක කඳ වැනි වටකුරු වස්තුවක් මතට බර වස්තුවක් තබා පෙරළීමෙන් ප්‍රවාහනය කළ හැකි බව, පැලියොලිතික් යුගයේ (අවුරුදු 15,000 සිට 750,000 කට පෙර) හෝ හෝමෝ සේපියන්ස් විසින් සොයා ගන්නා ලදී. ප්‍රාග් ඓතිහාසික මිනිසා විසින් ගින්න සොයා ගැනීම තුළින්, අමු මස් පිසීමට සහ ජීවන රටාව වැඩිදියුණු කරලීමට ඉවහල් වූ අතර, සමාජයේ සංස්කෘතික සහ අනෙකුත් අංගයන් සංවර්ධනය කරලීම සඳහා කාලය නිදහස් කරගැනීමටද හේතු විය. නව සොයාගැනීම් සෑම විටම මානව වර්ගයාගේ සංවර්ධනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. එමෙන්ම විද්‍යාත්මක හා තාක්‍ෂණික දියුණුව අඛණ්ඩව ජීවන තත්ත්වය නංවාලීමටද සමත් වී තිබේ. රෝදය සහ අක්ෂය සංවර්ධනය විමත් සමග ස්වාභාවික ලෝකය පිළිබඳ අවබෝධය (විද්‍යාව) මෙන්ම මානව වර්ගයාගේ අභිවෘද්ධිය සඳහාද‍ එය (තාක්‍ෂණය) හැසිරවීම ආරම්භය විය, දැනුම පදනම් කරගත් ආර්ථික සංවර්ධනයේ ආරම්භයද මෙයම විය. ඊජිප්තුවේ පිරමිඩ සහ පෞරාණික ශ්‍රී ලංකාවේ ජලාශ සහ ස්ථූප අපූරු නිදසුන් වේ. 

අනාගතවාදී නව නිපැයුම්කරු වන ආර්. බක්මින්ස්ටර් ෆුලර් පැවසුවේ දහසයවන සියවස වන තෙක් එම දැනුම දෙගුණයක් වර්ධනය වීමට වසර 1500 ක් හෝ ඊට වැඩි කාලයක් ගත වූ බවයි. දැනුම ඒකක දෙකේ සිට හතර දක්වා මීළඟ දැනුම දෙගුණයක් වර්ධනය වීමට ගත වූයේ ක්‍රි.ව. 1750 පමණ වන තෙක් වසර 250 ක් පමණි. වසර එකසිය පනහකට පසුව 1900 වන විට දැනුම යළිත් ඒකක 8 ක් දක්වා දෙගුණ විය. තොරතුරු දෙගුණ වන ප්‍රවේගය, වේගවත් වෙමින් පැවතුනි. බක්මින්ස්ටර් ෆුලර්ගේ 1982 දී ප්‍රකාශයට පත්කළ ‘‘ විවේචනාත්මක මාවත ’’ (’Critical Path ) නැමති පොතෙහි  සඳහන් වන පරිදි දැනුම දෙගුණ වන වේගය, දැන් අවුරුදු එකත් දෙකත් අතර වේ. එතැන් සිට දැනුම වර්ධන ප්‍රවේගය තවත් වේගවත් වූ අතර නව සහස්‍රයේ එය මාස කිහිපයකින් මැනිය යුතුය. ක්වොන්ටම් පරිගණක සහ ඒවායේ අතිවිශාල සැකසුම් බලය සමග, එය ඉදිරි දශක දෙක තුළ, සති හා දින දක්වා පහත වැටෙනු ඇත. ඒ හා සමාන ගතික අනාගතයක්, බලශක්තිය හා විදුලිය සඳහා දෘශ්‍යමාන කළ හැකිද?

 
කාර්මික විප්ලවය

සොබාදහම සහ මූලික සංසිද්ධීන් අධ්‍යයනය කිරීමෙන් ලබාගත් දැනුම, එක්සත් රාජධානියේ 1780 සහ 1840 අතර කාලයේ දී සිදු වූ පළමු කාර්මික විප්ලවයට විශාල දායකත්වයක් ලබා දී තිබේ. අතින් කළ නිෂ්පාදනක්‍රම යාන්ත්‍රික ක්‍රම බවට පරිවර්තනය කිරීම, නව රසායනික නිෂ්පාදන හා යකඩ නිෂ්පාදන  ක්‍රියාවලීන් හඳුන්වාදීම, වාෂ්ප බලය සහ ජල බල සොයා ගැනීම (වාෂ්ප එන්ජිම සොයා ගැනීම) හේතුවෙන්, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව විනයක් ලෙස සංවර්ධනය කරන ලද යුගය මෙයයි. මෙම යුගයේදි යන්ත්‍ර උපකරණ සංවර්ධනය කරලීම සහ යාන්ත්‍රික කර්මාන්තශාලා පද්ධතියේ වර්ධනය (රෙදිපිළි විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම) සිදුව ඇත. ‘අශ්ව බලය’ වැනි යෙදුම් අදටත් අපගේ වදන් මාලාවේ කොටසකි; මෙය යාන්ත්‍රික ශක්තිය ජනනය කිරීම සඳහා ගෘහාශ්‍රිත සතුන් භාවිතා කළ කාලය පිළිබඳ ඉතිහාසය මතක් කිරීමකි. එන්ජින් යන්ත‍රවල ප්‍රතිදහනය මැනීමේදී මෙම යෙදුම අදත් භාවිතා වේ. ජනගහණ වර්ධන වේගය පෙර නොවූ විරූ ලෙස ඉහළ යාමද, පළමු කාර්මික විප්ලවයට පසුව සිදුවු බවට සා‍ක්‍ෂ‍ය ඇත. දෙවන කාර්මික විප්ලවය (1840 – 1900) අතරතුර, එක්සත් රාජධානියේ පමණක් නොව යුරෝපයේද, උතුරු ඇමරිකාවේද ජපානයේද වානේ නිෂ්පාදනය සහ දුම්රිය මාර්ග සංවර්ධනය සිදුව ඇත. මෙයින් දැනුම හා තොරතුරු ලොව පුරා වේගයෙන් පැතිර යාමට අවකාශය ලැබුනි. තුන්වන කාර්මික විප්ලවය 1900 සහ 1950 අතර ඇති වූ අතර එය වානේ නිෂ්පාදනය, ඛනිජ තෙල් සහ විදුලියට අදාළ නව සොයාගැනීම් වලට හේතු විය. මෙහි ප‍්‍රතිපලයක් ලෙස උතුරු ඇමරිකාව, බ්‍රිතාන්‍යය, යුරෝපය, සෝවියට් සංගමය (රුසියාව), ජපානය වැනි රටවල ජනතාවගේ ජීවන රටාව වෙනස් වූ අතර, ජීවන තත්ත්වය වැඩිදියුණු විය. එය පෙර පැවති කර්මාන්තවල වර්ධනයවීමක් මෙන්ම නව කර්මාන්ත බිහිවීමේ ද කාල වකවානුවකි. වානේ, තෙල් සහ විදුලි ක්ෂේත්‍ර වැනි. නව තාක්‍ෂණයන්හි දියුණුව ලෝකය වෙනස් කළ හැකි වර්ධනයන් දෙකක්වන පොදු ප්‍රවාහනය (ගුවන් ගමන් ඇතුළුව) සහ නවීන සන්නිවේදනයන්වලටද (දුරකථන, ගුවන් විදුලි සහ මුල් රූපවාහිනී) හේතු විය:. විදුලි බලය භාවිතය, ආලෝකකරණය, උණුසුම, නවීන සන්නිවේදනය සහ විදුලි උපකරණ භාවිතය තුළින් සමාජයේ ජීවන රටාව බොභෝසෙයින් වෙනස් කර ඇත.

වසර සියයකට ආසන්න කාලයක් බටහිර රටවල්, උතුරු ඇමරිකාව, ජපානය සහ සෝවියට් සංගමය යන රටවල ජනතාවගේ ජීවිතවල විප්ලවීය වෙනසක් සිදු කළ විද්‍යාව හා නව නිපැයුම්, දෙවන ලෝක යුද්ධයෙන් පසු, වෙනත් රටවලටද ව්‍යාප්ත විය. ලෝක ආර්ථික වර්ධනයේ යුගය මෙය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා මානව වර්ගයා සාමූහික ආයතනයක් ලෙස සිතීමට පටන් ගත් අතර ලිවීම, මුද්‍රණය, සංකේතාත්මක ගණනය කිරීම්, පරිගණක තාක්‍ෂණය සහ දත්ත කැනීමේ නව වර්ධනයන් හඳුන්වා දුන්නේය. සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට ඔවුන්ගේ ප්‍රගතිය උදෙසා උපකාර කිරීමට දියුණු ආර්ථිකයන් ඇති රටවල් ඉදිරිපත්විය. නිදසුනක් වශයෙන්, මභවැලි සංවර්ධන වැඩසටහන කෙටි කාලයක් තුළ සම්පූර්ණ කර ගැනීම සඳහා මෙන්ම මහාමාර්ග ඉදිකිරීමට රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට ආධාර කළහ. මේ අනුව, ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශ ආධාර ගලා ඒම ආරම්භ වූ අතර, මෘදු ජාත්‍යන්තර සබඳතා මෙන්ම වඩාත් සංවර්ධිත රටවල් සමඟ සැලකිය යුතු ජාත්‍යන්තර සම්බන්ධතා ද ඇති විය.

ජීවන රටාව හා ජීවන තත්ත්වය වැඩිදියුණු කරලීමේ වැදගත්ම සාධක වූයේ ප්‍රවාහනය, නිෂ්පාදනය සහ විදුලිය, ගෘහස්ථ භාවිතය සඳහා භාවිතා කිරීමයි. ජාතියක ඒක පුද්ගල ආදායම වැඩිවීම ඒක පුද්ගල බලශක්ති භාවිතය වැඩිවීමට කෙලින්ම සමානුපාතික වන බව කියනු ලැබේ. කෙසේ වෙතත්, පරිසරය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොමැතිව බලශක්තිය භාවිතා කිරීම මගින් බොහෝ ගැටලු නිර්මාණය කර ඇත. උදාහරණයක් ලෙස, විදුලිය ජනනය සඳහා ගල් අඟුරු සහ ඛණිජ තෙල් බලාගාර භාවිතා කිරීම වායු දූෂණයට හේතු වන අතර අධික කාර්මික නිෂ්පාදනය නිසා පරිසරයට හා ජල මාර්ගවලට හානි වී ඇත.
සංවර්ධනයේ අතුරු ආබාධ

සංවර්ධනයේ නාමයෙන්, ප්‍රජාවන් පාරිසරික සාධක කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ ඉතා අල්ප වශයෙනි. නිදසුනක් වශයෙන්, බොහෝ රටවල් ගවයන්ට අවශ්‍ය තෘණ වැවීම සඳහා පුළුල් වපසරියක් ලබාගැනීමට වනාන්තර එළි පෙහෙළි කිරීම කර ඇති අතර පසුව ගවයන් ඝාතනය කර ආහාර සඳහා ගව මාංශ බවට පරිවර්තනය කරයි. පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වන ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය ගස් කැපීම නිසා අඩපන වන අතර වායුගෝලයේ ඇති ඔක්සිජන් (O2) ප්‍රතිශතය අඩු වී කාබන් ඩයොක්සයිඩ් (CO2) ප්‍රතිශතය ඉහළ යාමේ  ප්‍වණතාවයන් ඇතිවේ. ඇමසන් වනාන්තරය වැනි ප්‍රදේශ ස්වාභාවික සමතුලිතතාවයක් පවත්වා ගෙන යන ‘පෘථිවියේ පෙනහළු’ ලෙස ක්‍රියා කරන බව කියනු ලැබේ. වැසි සඳහා ගස් ද අවශ්‍ය වන අතර ඒවා  සීතල හා තෙතමනය සහිත වායුගෝලීය තත්ත්වයන් ද නිර්මාණය කරයි. තවද, ගස් ජලය අවශෝෂණය කර ගංවතුර හා පාංශු ඛාදනය අවම කිරීමටද උපකාරී වේ. කාර්මික නිෂ්පාදනය සහ ප්‍රවාහනය සඳහා පොසිල ඉන්ධන දහනය කිරීම මගින් පරිසරයේ CO2 වැඩි කරන අතර CO2 වායුගෝලයට මුදා හරිමින් කාබන් චක්‍රයේ සමතුලිතතාවයටද බාධා කරයි.

හරිතාගාර ආචරණය

පෘථිවි පෘෂ්ඨය උණුසුම් කරන ස්වාභාවික ක්‍රියාවලිය ‘හරිතාගාර ආචරණය’ ලෙස හඳුන්වනු ලබයි. සූර්යයාගේ ශක්තිය පෘථිවි වායුගෝලයට ළඟා වූ විට, එයින් සමහරක් නැවත අභ්‍යාවකාශයට පරාවර්තනය වන අතර ඉතිරිය අවශෝෂණය කර නැවත විකිරණය මගින් පිටකරයි. මෙම ක්‍රියාවලිය ජීවය පවත්වා ගැනීම සඳහා පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරීමට හේතුවේ.

1800 ගණන්වල කාර්මික විප්ලවය උදාවීමත් සමගම ගල් අඟුරු, තෙල් සහ ගැසොලින් වැනි පොසිල ඉන්ධන දහනය කිරීමෙන් බල ශක්තීන් උත්පාදනය කිරීම විශාල වශයෙන් සිදුවන්නට විය. මේහේතුවෙන් හරිතාගාර වායු (CO2, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ඕසෝන් සමග ක්ලෝරීන් හා ෆ්ලෝරීන්) සාන්ද්‍රණය විශාල ලෙස වායුගෝලයේ වැඩි වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස නැවත විකිරණය වූ සූර්ය කිරණ අභ්‍යාවකාශයට  නොගොස්  පෘථිවි වායුගෝලය තුළම සිරවී සිටිය හැකිය. මෙය වැඩි දියුණු විස්තාරනය ඌ හරිතාගාර ආචරණය නමින් හැඳින් වේ. මේ නිසා හරිතාගාර වායු අණු මගින් විකිරණ ග්‍රහණය කිරීමේ ස්වරූපයෙන් පෘථිවිය උණුසුම් කිරීම සඳහා දායක වන අතර එමඟින් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යයි. . මෙම උෂ්ණත්වය ඉහළ යාම ‘ගෝලීය උණුසුම’ ලෙස හඳුන්වන අතර ගෝලීය වශයෙන් දේශගුණික විපර්යාසයන්ට බලපෑම් ඇති කරයි

දේශගුණික විපර්යාස

ලෝක ඉතිහාසය පුරාම දේශගුණය අඛණ්ඩව වෙනස් වී ඇති නමුත් එය මන්දගාමී මෙන්ම ස්වාභාවික ක්‍රියාවලියකි. ඛේදවාචකය නම් වර්තමාන මානව යුගයේ දී, දේශගුණික විපර්යාස වඩා වේගයෙන් සිදුවෙමින් පවතින අතර, එය ජාතික ආර්ථිකයන්ට හා සෑම මහද්වීපයකම සෑම රටකම ජනතාවගේ ජීවිතවලටද බලපෑම් ඇති කිරීමයි. වෙනත් වදන් වලින් පැවසුවහොත්, හරිතාගාර වායූන්, දුම් හා වායු දූෂණය නිසා ඇතිවන ශ්වසන ආබාධ වැනි සෞඛ්‍යමය බලපෑම් වලටද තුඩු දෙයි.

ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා දිගුකාලීන නියගයන්, ලැව්ගිනි වැඩිවීම, අධික වැසි තත්වයන් වැනි ආන්තරික කාලගුණික තත්ත්වයන් ඇතිවී මිනිසා දුෂ්කරතාවයන්ට පත්වේ. ආහාර සැපයුම අඩපණ වීම ද තවත් බලපෑමකි. කෝවිඩ්19 ගෝලීය ව්යාප්ත වසංගතය නිසා රටවල් වසා දැමීම (Lockdown) හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු තව රටවල් කිහිපයක වායු දූෂණය අඩුවී ඇති බවට වාර්තාවීම සංවර්ධනයේ නාමයෙන්, පරිසරයට සිදුවී ඇති බලපෑම කොතෙක්දැයි වටහා ගත හැකිය.

21 වන සියවසේදී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක තුනකින් ඉහළ යනු ඇතිබවට ඇස්තමේන්තු කර ඇත. මේ අතර, අඩු කාබන් ආර්ථිකයන් කරා යෑම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට උපකාර කිරීමට එක්සත් ජාතීන්ගේ දේශගුණික ක්‍රියාමාර්ග මගින් උත්සාහ කරයි. (එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කය 13.) ප්‍රශස්ත ක්‍රියාමාර්ගයක් කඩිනමින් නොගත හොත්, පැරිස් දේශගුණික ගිවිසුමේ COP 21 අරමුණු වලින් පුරෝකථනය කර ඇති පරිදි මෙම උෂ්ණත්වය ඉහළ යාම අනිවාර්යයෙන්ම සිදුවේ.

විසඳුම්
හරිතාගාර වායූ මුදා හැරීම අඩු කිරීම සහ O2 නිර්මාණය වැඩි කිරීම සඳහා ප්‍රභාසංශ්ලේෂණ බලපෑම වැඩි දියුණු කිරීම විසඳුමක්වේ. නැවත වන වගා වැඩසටහන් සහ ගස් සිටුවීම තුළින් O2 නිර්මාණය වැඩි කරගත හැකිය. එසේම අපගේ නිතිපතා මස් මත පදනම් වූ ආහාරය ශාක පදනම් කරගත් ආහාරයක් බවට පත් කිරීම මගින් වන වගා සංවර්ධනය සාක්ෂාත් කරගත හැකිය. හරිතාගාර වායූන් අඩු කිරීම පහසුවෙන් අත් කරගත නොහැකිය. ඉහතින්

පැහැදිලි කර ඇති පරිදි, විශ්වාසනීය විදුලිය සඳහා ප්‍රවේශය මානව යහපැවැත්මට හා සමාජ සංවර්ධනයට අත්‍යවශ්‍යයි. ‍ පොසිල ඉන්ධන මගින් ලොව පුරා විදුලි උත්පාදනය කිරීම 1990 දී 61.9% වූ  අතර එය 2017 දී 64.5% විය. පසුගිය සියවස මුලුල්ලේම මෙවැනි ප්‍රවණතාවයක් දැක ගත හැකි විය. . මන්දයත්, සෑම රජයක්ම තම ජනතාවට විදුලියෙන් ලැබෙන ප්‍රතිලාභ ප්‍රතිපත්තියක් වශයෙන් ලබා දී ඇති බැවිනි. මෙයින් අදහස් වන්නේ සංවර්ධනයේ නාමයෙන් වැඩි වැඩියෙන් CO2 වායුව වායුගෝලයට මුදා හැරීමයි. මෙම තත්ත්වය වළක්වා ගත හැකි එකම ක්‍රමය වන්නේ බයෝමෑස්, හයිඩ්‍රජන්, සාගර, භූතාපජ, ජල විදුලිය, සුළං සහ සූර්ය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමයි. 2017 දී ලොව පුරා විදුලි උත්පාදනයෙන් 16% ක් පමණ  ජල විදුලියෙන් විය. ඉතිරි 19.5% න්‍යෂ්ටික බලශක්තිය ඇතුළු වෙනත් ප්‍රභවයන්ගෙන් වූ බව කිව යුතුය.

2019 ජූලි 25 වන දින, සරේ විශ්ව විද්‍යාලයේ උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය රවී පී. සිල්වා විසින් ඉතා වැදගත් දේශනයක් ශ්‍රි ලංකා ජාතික භාරය ආයතනයයේදී (National Trust) පැවැත්වීය. එහි මාතෘකාව පිරිසිදු, හරිත හා නොමිලේ ලබාගත හැකි: 2035 සඳහා සූර්ය විදුලිය” (Clean, Green and Free: Solar Electricity for 2035), ඔහු ශ්‍රි ලංකිකයෙකි. දිනපතා සූර්යයාගෙන් පෘථිවියට ලැබෙන ශක්තියෙන් ටෙරා වොට් (TW) 173,000 ක් බව ඔහු පැහැදිලි කළේය. එක්සත් ජනපදය (විශාලතම බලශක්ති භාවිතා කරන්නා) ඇතුළුව සමස්ත මිනිස් සංහතියම දෛනිකව භාවිත කරන්නේ ටෙරා වොට් 15 ක බලශක්තියක් පමණි. මෙයින් අදහස් කරන්නේ ලෝකයේ සියලුම මිනිසුන්ට නොමිලේ විදුලිය සැපයීම සඳහා උපයෝගී කර ගත හැකි බලශක්ති ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දස දහස් ගුණයක ප්‍රමාණයක් සූර්ය බලශක්තිය ඔස්සේ පොළවට ලැබෙන බවයි.

සූර්යාලෝකයෙන් විදුලිය උත්පාදනය කිරීම ප්‍රථම වරට සොයා ගනු ලැබුවේ සූර්ය වර්ණාවලිය, චුම්භකත්වය, විදුලිය සහ ප්‍රකාශ විද්‍යාව අධ්‍යයනය කළ ප්‍රංශ භෞතික විද්‍යාඳයකුවන එඩ්මන්ඩ් බෙකරල් විසිනි. ඔහුගේ පර්යේෂණ මගින් යම් ද්‍රව‍්‍යයක් ආලෝකයට නිරාවරණය වීමෙන්, වෝල්ටීයතාවයක් සහ විද්‍යුත් ධාරාවක් ඇතිවන බව සොයා ගැනීමට හැකි විය. මෙය ප්‍රකාශ වෝල්ටීයතා (පීවී) ආචරණය {photovoltaic (PV) effect} ලෙස හැඳින්වූ අතර එය සූර්ය කෝෂ” මෙහෙයුම් මූලධර්මය විය.  1941 දී ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කළ ට්‍රාන්සිස්ටරය සොයාගත් විගසම, සිලිකන් පිළිබඳ පර්යේෂණ ද, දැනට භාවිතා කරන සූර්ය කෝෂද සොයා ගැනීමට හේතු විය. භෞතික විද්‍යාව, ඡායා රසායන විද්‍යාව සහ විද්‍යුත් රසායන විද්‍යාව අධ්‍යයනය කිරීමෙන් ආලෝකය විදුලිය බවට පරිවර්තනය කිරීම සඳහා ක ළ වැඩිදුර පර්යේෂණ සාර්ථක විය. ලෝකයේ අනාගතය වෙනස් කරන ආරම්භක ලක්‍ෂ්‍ය‍ය වන මෙම සොයා ගැනීම්, 2035 වන විට මහජනතාවට නොමිලේ විදුලිය ලබා දීමේ  අරමුණ කරා යාහැකි බව මහාචාර්‍ය රවී පී. සිල්වා වැනි විද්‍යාඳයන්ගේ මතයයි. සිලිකන් සූර්ය කෝෂ භාවිතා කර විශාල මොඩියුල නිර්මාණය කිරීම මගින් නේවාසික හෝ වාණිජ ගොඩනැගිලිවල වහලේ සවි කළ හැකි සහ භුමිය මත සවිකළ රාක්කවලට එකලස්කොට සූර්ය කෝෂ උද්‍යාන නිර්මාණය කළහැකිය. සිලිකන් වලින් සාදන ලද සෛල සාමාන්‍යයෙන් විියදමින් අඩු මෙන්ම කාර්යක්ෂමතාවයය අතින් ද  ඉහලවේ. කාර්යක්ෂමතාව මනිනු ලබන්නේ සෛල සූර්යාලෝකය, විදුලිය බවට පරිවර්තනය කරන වේගය අනුවය.

2019 දෙසැම්බරයේ පැවති COP21 (පැරිස් ගිවිසුම) හිදී රටවල් 170 කට වැඩි ගණනක නායකයින් 2100 වන විට හරිතාගාර වායු විමෝචනය අඩු කරලීමට සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ලෝක කාර්මිකකරණය වීමට පෙරතිබූ මට්ටමට වඩා සෙල්සියස් අංශක දෙකකට (2) අඩු කිරීමට එකඟ විය. තිරසාර අඩු කාබන් අනාගතයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ආයෝජන වේගවත් කිරීම හා තීව්‍ර කිරීම මගින් දේශගුණ විපර්යාසයනට එරෙහිව සටන් කිරීම මෙහි මුඛ්‍ය අරමුණයි. 

මහාචාර්ය රවී පී. සිල්වා යෝජනා කළේ පෘථිවියට දිනපතා සූර්යයාගෙන් ලැබෙන ටෙරා වොට් 173,000 ක් වන සූර්ය ශක්තිය සියලුම පාර්ශ්වකරුවන් විසින් සලකා බැලිය යුතු බවයි. සූර්ය බලශක්ති විදුලිය වැඩි දියුණු කිරීමත් සමග පොසිල ඉන්ධන බලය, පුනර්ජනනීය බලශක්තිය මගින් හරිත ලෝකයකට ගෙන යා හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

 ඔහු තර්ක කරන්නේ, ස්වාභාවික භූගෝලීය පිහිටීම නිසා ශ්‍රී ලංකාවට සූර්ය බලශක්ති විදුලිය වැඩි දියුණු කිරීම ඉතා පහසුබව සහ දිවා කාලයේ සූර්‍ය බලශක්ති විදුලිය පාවිච්චි කර ජල විදුලි භාවිතය අවම කරගැනීමෙන් ජලාශවල ජලය ඉතුරු කරගෙන රාත්‍රියේදී භාවිතා කළ හැකි බවයි. ඔහුගේ අනෙක් තර්ක නම්, මෙසේ විදුලිය විශාල වශයෙන් ජනනය කිරිමට ඇති හැකියාව නිසා රටේ ජල පීඩනය ලිහිල් කිරීම සඳහා, විශේෂයෙන් උතුර වැනි ප්‍රදේශවල මුහුදු ජලය පිරිසිදු (desalinised water) කළ හැකි වන අතර, වගාව සඳහා ජලාශවලින් මුදා හරින ජලයෙන් කොටසක් ජලාශවලට නැවත පොම්ප කර, ශක්තිය ගබඩා කළ හැකි බවයි.
2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ස්ථාපිත විදුලි ධාරිතාව මෙගාවොට් 4,269 (ගිගාවොට් 4.3) කි. මෙම සම්පූර්ණ විදුලි ධාරිතාව සූර්ය බලශක්ති විදුලියෙන් සැපයීම සඳහා අපට අවශ්‍ය වන්නේ වර්ග කිලෝමීටර් 25 ක ඉඩ ප්‍රමාණයක් වන අතර එය කිලෝමීටර 65,610 වන අපගේ භූමි ප්‍රමාණයෙන් 0.04% කි. මෙය වගා කළ හැකි ඉඩම් හෝ නාගරික ප්‍රදේශ විය යුතු නැති අතර පාවෙන ස්ථාපනයන් පවා විය හැකිය. ශ්‍රී ලංකාව, වසර පුරා හිරු එළිය බහුලව ඇති රටකි. මහාචාර්ය සිල්වා පැවසුවේ මෙය අපගේ පාරිසරික උරුමයේ කොටසක් බවයි;
 සිගිරිය හෝ අනුරාධපුර සහ පොළොන්නරුවේ පැරණි නටබුන්
මෙන් නොව, අපේ ජනතාවට අයිති ස්පර්ශ කළනොහැකි සම්පතක් සහ උරුමයකි.
අපගේ ශ්‍රේෂ්ඨම රජෙකු වන පළමුවන පරාක්‍රමබාහු වර්ෂාපතනය අපගේ
ස්වාභාවික උරුමයේ කොටසක් ලෙස සැලකූ අතර ඔහු ප්‍රකාශ කළේ,  අහසින් වැ‍ටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය ” යන්නයි.

ඒ හා සමානවම, අපට ලැබෙන සූර්යාලෝකයේ එක් ෆෝටෝනයක් හෝ මිනිස්වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා යොදා නොගෙන නාස්ති වීමට ඉඩ නොදිය යුතු බවයි.

නව ලෝක ආර්ථික පිළිවෙත සූර්යාලෝක ශක්තිය මත පදනම් වූ හරිත ආර්ථිකයක් සංවර්ධනය කිරීම අරමුණු කර ගත යුතුය. මෙය යථාර්ථයක් බවට පත් කිරීම පහසුු වන්නේ ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක යටිතල පහසුකම් සහ හිරු එළිය බහුල ලෙස ව්‍යාප්ත වී ඇති වීමයි. නායකත්වයට ඇති අභියෝගය නම් නූතන යුගයේ දී අපගේ උරුමය වෙනස් කිරීමට හා පුනර්ජීවනය කිරීමට ඉඩ දීමයි.

මෙම කථාව පැවැත්වීම සඳහා තමාට ආරාධනය කිරීම පිළිබඳව මහාචාර්ය සිල්වා ශ්‍රී ලංකාවේ ජාතික භාරය ආයතනයට සිය ස්තූතිය පුද කළේය.

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුරාවිද්‍යාඳයකුයින්ගෙන් කෙනෙකු වන දේශමාන්‍ය විද්‍යා ජෝති ආචාර්ය රෝලන්ඩ් සිල්වා වෙනුවෙන්ම කැප කර ඇති අතර ඔහු ජාතික ඉතිහාසය හා උරුමය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට අධිකාරියක්ද ලබා දී ඇත. ඔහු 2020 ජනවාරි 1 වන දින අභාවප්‍රාප්ත විය.

හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා සූර්ය බලශක්තියේ ධාරිතාව හා අතිමහත් බලය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් අතර දැනුවත් කිරීමක් සඳහා මෙම ලිපිය ඔහුගේ පුත් මහාචාර්ය රවී පී. සිල්වා සහ වෘත්තියෙන් වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු වන රොහාන් අබේගුනවර්ධන විසින් ඒකාබද්ධව ලියන ලද අතර සන්ඩේ ටයිම්ස් සහ ඒෂියන් ට්‍රිබියුන් යන ඉංග්‍රීීසි සති අන්ත පුවත්පත්හි පළ විය.

පරිවර්තනය කළේ ගම්පහ ආනන්ද වික්‍රමාරච්චි විසිනි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress