පර්යේෂණායතන විද්වතුන්ගේ විශ්ව විද්‍යාල කෙමන
Posted on November 29th, 2020

මතුගම සෙනෙවිරුවන්

             ලංකාවේ දැනට ක්‍රියාත්මක රාජ්‍ය විශ්ව විද්‍යාල ගණනින් අටකි.එයට අමතරව කාර්මික විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයන් ද කීපයකි.මෙයින් පිටවන උපාධිදාරීන් විශාල සංඛ්‍යාවකට මෙරට රැකියා ලබා දීමේ ඉඩකඩක් නැත. දේශාපාලන විද්‍යාව කළ සිසුවියකට වත්මන් ජනපතිවරයා දුන් පිළිතුරකින් ගම්‍ය වූයේ පොලිටිකල් සයන්ස් වලට වඩා ටෙක්නිකල් සයන්ස් සඳහා රැකියා ඉඩ ප්‍රස්ථා විවර කර දීමට රජය පෙළඹෙන බවයි.නමුත් තාක්ෂණික අංශයේ රැකියා කෙතරම් ප්‍රමාණයක් මෙරට උත්පාදනය කළ හැකිවේ දැයි විශාල සැකයක් පවතී.එවැනි රැකියා වෙළඳ පළක් නිර්මාණය කර දීමට සමත් කර්මාන්ත ආර්ථිකයක් තවමත් රට තුළ ප්‍රසාරණය වී නොමැති වීම මීට හේතුවයි.එසේම මෙරට විශ්ව විද්‍යාලවලින් බිහිවන උගතුන් බහුතරයක් රටට බරක් බව රාජ්‍ය සේවය දෙස බැලීමෙන් පැහැදිලි කර ගත හැකිය.උගත් විෂය ධාරාවට අදාල රැකියාවකින් රටේ ඉදිරි ගමනකට දායකත්වයක් සැපයීමට ඔවුන් අසමත් වී තිබේ.

     මෙරට සිටි විදේශීය පාලකයන් විසින් විසිවන සියවස මුල් භාගයේ දී එනම් 1913 දී රබර් පර්යේෂණායතනය බිහි කර ඇත. ඉන් පසුව පොල් තේ සහ උක් වැවිලි ක්ෂේත්‍රයන්හි පර්යේෂණ පැවැත්වීමටද විශාල සම්පත් ප්‍රමාණයක් සමග පර්යේෂණ ආයතන හතරක් පිහිටුවා ඇත.වී ගොවිතැනේ පර්යේෂ සිදු කිරීමටද විශේෂ පරියේෂණ ආයතන මෙන්ම ඊට අදාල ගොවිපළවල් රැසක්ද නිර්මාණය කර තිබෙන බව පෙනේ.අදාල වැවිලි භෝගය සංවර්ධනය කරලීම උදෙසා විශාල පර්යේෂණ රැසක් මේ ආයතන විසින් සිදු කර තිබේ.රබර් වගාවේ නව ක්ලෝන හඳුන්වා දීම ඒ ආශ්‍රිතව පැණ නගින ලෙඩ රෝග සඳහා කරන ප්‍රතිකාර මෙන්ම රබර් කිරි ලබා ගැනීමේ කාර්යක්ෂමතාවය දියුණු කරලීම උදෙසා කරන ලද පර්යේෂණයන් බොහෝ වෙති.

          වැවිලි කේෂ්ත්‍රය තුළින් රටේ ප්‍රධාන ආදායම් මාර්ගයන් ජනිත වේ.මුලු අපනයන ආදායමෙන් සියයට 21.5 ක් (2019 දී ඇමරිකන් ඩොලර් 2566 )  වැවිලි භෝග අංශයෙන් රජය ලබාගෙන තිබේ. ඒ මගින්  දෙවන ඉහළම අපනයන ආදායම භාණ්ඩාගාරයට ලබා දේ. එසේම අමුද්‍රව්‍ය සඳහා අගය එකතු කිරීමෙන් විදේශ විනිමය ඉපැයීම් වශයෙන් වසරකට ඇමරිකන් ඩොලර් බිලියන දෙකකට වැඩි වශයෙන්ද අමු ද්‍රව්‍ය සහ නිමි භාණ්ඩ ආනයනය සීමාකිරීම මත අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීම නිසා මෙරට ආර්ථිකයේ බහුවිධ කාර්යයන්ට දායකත්වය සපයා ඇත. මෙවැනි ආර්ථික වර්ධනයකට වඩාත්ම වැදගත් වන්නේ එනම් තීරණාත්මක සාධකයක් වන්නේ පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිඵලයන්ය. නමුත් යථාර්තය නම් මෙම පර්යේෂණායතන සියල්ල පිහිටුවා වසර සීයක් පමණ ඉකුත්ව තිබීමයි.මෙම ආයතන සඳහා තාක්ෂණ ශිල්පීන් උපාධිදාරීන් සියල්ල ක්‍රමානුකූලව බඳවා ගැනීම් සිදු කලද අඩු වැටුප් තලයන් ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ගේ වෘත්තීය තෘප්තිය රඳා පවත්නේ නැත. රබර් පර්යේෂණායතනය ගත් කළ අගලවත්ත ඩාර්ටන් පීල්ඩ් වතුයායේ පවත්වාගෙන යයි. තේ පර්යේෂාණායතන තලවකැලේ පවත්වාගෙන යයි.

    එම දුරබැහැර ක්ෂේත්‍රයන් තුළ නේවාසිකව රැඳී සිටින වෘත්තීයවේදීන් තම රැකියාව තෘප්තිමත්ව ඉටු කරලීමේ දී වර්තමාන සමාජ තත්වයක් සමග අර්බුදයකට පත් ව තිබේ.මේ නිසා අතීතයේ මෙන් පර්යේෂණ ක්ෂේත්‍රයන් දියුණු කරලීමට වඩා ඔවුන් උනන්දු වන්නේ මෙම පර්යේෂණායකන වල සිය වෘත්තීය පදනම් පිහුටුවාගෙන පසුව වෙනත් වඩා ප්‍රායෝගික පහසුකම් තිබෙන ස්ථානයන්ට මාරු වී යෑමයි.විශේෂයෙන්ම උපාධිදාරීන් ගේ තත්වය වඩාත් බරපතලය.මෙම ප්‍රශ්ණය පැණ නගින්නේ 2006 වර්ෂයේ සිට බව දැන ගන්නට ඇත. බඳවා ගැනීම් පරිපාටිය වෙනස් කිරීම ඊට හේතුවයි.එහිදී සියලු දෙනටම එක සමානව ඉහළට නැගීමේ වරප්‍රසාද හිමිකරදෙනු වෙනුවට උසස් වෘත්තීයවේදීන් උදෙසා විශේෂ සැලකිල්ලක් දැක්වීමට උත්සාහ කිරීමක් දක්නට තිබූ බව ප්‍රකාශ වේ.මේ නිසා අතෘප්තියට පත් පහළ මට්ටමේ පිරිස පමණක් නොව වැඩිදුර උසස් සුදුසුකම් ලැබූ පිරිස් ද ආයතන හැර ගොස් ඇත.

       පර්යේෂණායතනයන් වෙන් වෙන්ව පර්යේෂණ සිදු කරලීමට  සිදු වීම අතීතයේ තිබූ ව්‍යුහයන්ය. නමුත් මෙවැනි හුදකලා පර්යේෂණ නිසා ආයතන අතර සමෝධානයට මෙන්ම සංවර්ධන කටයුතු නවොත්පාදනයෙන් ඉදිරියට යෑමට බාධාවක් බව විද්වතුන්ගේ අදහසයි. විශේෂයෙන්ම මූල්‍යමය හා මානව සම්පත් උපරිම කාර්යක්ෂමතාවයන් මත පවත්වා‌ ගෙන යෑමට එක්ව පර්යේෂණ කිරීම වඩා වැදගත් වේ. නිදසුනක් වශයෙන් කර්මාන්තමය අපද්‍රව්‍ය බැහැර කරලීමේ ක්‍රියාවලිය ගනිමු. රබර් පර්යේෂණායතන තුළ මේ සම්බන්ධව පර්යේෂණ රාශියක් කර ඇති අතර ඒවා ඇතැම් තැන්වල සාර්ථකව ක්‍රියාත්මක වේ. නමුත් මෙම පර්යෙෂණයන් අනෙකුත් වැවිලි ක්ෂෙත්‍රයන්ටද අදාලය. ඒ නිසා මෙම පාරිසරික ක්‍රියාවලිය සාර්ථක කරලීම පිණිස එක්ව පර්යේෂණ කිරීම ඉතාමත්ම වැදගත් වේ. අනෙක් කරුණ නම් වැවිලි භෝග අංශයේ ඉඩම් උපරිම ඵලදායී ලෙසට යොදා ගැනීමයි. ඒ අතර රබර් වතු වල පවතින විශාල ඉඩකඩ තුළ වෙනත් වැවිලි වගා කිරීම ගැන රබර් පර්යේෂණායතන කරන ලද පර්යේෂණ බොහෝය. එම පර්යේෂණ වඩාත් ඒකාබද්ධ මට්ටමකින් කරගතහොත් අත්වන ප්‍රතිඵලයද විශාලය.

     සැබවින්ම තිරසර  වැවිලි ආර්ථිකයක් සඳහා ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ නව්‍ය පර්යෙෂණ හා තාක්ෂණ උත්පාදනයයි. මෙහිදී පර්යෙෂණ  පුහුණුව වඩාත් වැදගත්ය. එසේම වැවිලි ක්ෂෙත්‍රයේ අගය එකතු කිරීමේ අංශය වැඩි දියුණ කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වේ. නමුත් වැවිලි ක්ෂෙත්‍රය සඳහා රජ්‍ය අරමුදල් භාවිත කිරීම ඉතාමත් අඩු මට්ටමක පවතී.මෙවර අයවැයෙන් වැවිලි කර්මාන්තය සඳහා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 5593 කි. එය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.මෙම අර්බුදකාරී තත්වය තුළ වැවිලි පර්යේෂණාතන තුළ සිටින විද්වතුන් අමුතුම තාලේ යෝජනාවක් ගෙනවුත් තිබේ. ඒනම් වැවිලි පර්යේෂණාතන සියල්ල ඒකාබද්ධ කොට ව්‍යවහාරික වැවිලි පර්යේෂණ හා තාක්ෂණ ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කරලීමයි.

    බැලූ බැල්මට මෙය හොඳ යෝජනාවක් බවට කෙනෙකුට තර්ක කළ හැකිය. එනම් රටේ අධ්‍යාපන ක්ෂෙත්‍රයේ තාක්ෂණික විශ්ව විද්‍යාල පැත්ත සංවර්ධනය කරලීමට රජය දක්වන උනන්දුවට මෙම යෝජනාව සමගාමී වීමෙනි. එසේම පර්යේෂණාතන සතු ඉඩම් ඒවාට යොදවා ගැනීමේ හැකියාවයි.නමුත් මෙයින් සිදු වන්නේ පර්යේෂණයන් සියල්ල පසෙක තබා අධ්‍යාපනයට පමණක් තැන ලබා ගැනීමට උනන්දු වීමයයි සිතිමි. දැනටමත් විශ්ව විද්‍යාල වල පර්යේෂණ සිදු කරලනුයේ අධ්‍යාපන අරමුණු සඳහාය. එතැනින් එහා ඒම පර්යේෂණ කර්මාන්ත මට්ටමට යන්නේ කලාතුරකිනි. විශ්ව විද්‍යාල වල ශාස්ත්‍රඥයන් ඉහල වැටුප් ලබන අතර මේ ආකර්ශණීය වැටුප් තලයන් නිසා පර්යේෂණාතන වල විද්වතුන් හටද ඒවා ලබා ගැනීමට මෙහිදී උනන්දුවක් ඇති වී තිබේ.

     පර්යේෂනායන තුළ කෙරෙන සියලුම පර්යේෂණ විමර්ශන සියල්ල ප්‍රා යෝගිකව අදාල වැවිලි අංශයේ ප්‍රගමනයට හේතුවෙයි.වර්තමාන ඇමතිවරයා යෝජනා කර ඇති පරිදි අදාල වැවිලි භෝග අංශ වල පරිපාලනය එකම වහළක් යටට ගැනීම වඩාත් ඵලදායකය.නමුත් පර්යේෂණ ව්‍යුහයන් ආයතනයන් තුළද අන්තර් පර්යේෂණායන තුළද ක්‍රියාත්මක විය යුතුය. අගය දාම එකතු කිරීම් වඩාත් සාර්ථක කරගත හැක්කේ එලෙසය.එසේම සේවකයන්ට වඩාත් තෘප්තිකර ව ආයතන වල සේවය කිරීමටත් උසස් වීම් ලැබීමටත් උසස් පහත් භේදයකින් තොරව වරප්‍රසාද හිමි විය යුතුය. එයට අදාල බඳවා ගැනීම් කළ යුතුය. එසේත් නැතිනම් මෙම පර්යේෂණායතන වැඩි කලක් ගත නොවී කඩා වැටීමකට ලක් විය හැකිය.එවිට මේවා සතු අගනා ඉඩම් විදේශිකයන් සතු කරලීමටද ඉඩ ප්‍රස්ථා ඇතිවේ.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress