අග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස” 204 වැන්නට එක්වෙයි
Posted on November 29th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 204 වැන්න අද 2020.11.29 දින විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි.

ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නියැළුණු අග්‍රාමාත්‍යතුමා, ධර්ම දේශනය සඳහා වැඩම කළ වදාළ පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාව සඳහා ආරාධනා කළේය.

බුදු දහමේ සිසිලස සකළ ලෝ වැසියන්ට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරිකර පවත්වන මෙම ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව පැවැත්වූයේ කොළඹ 07, ආර්.ජී.සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති, බෞද්ධයා නාලිකාවේ සභාපති, පූජ්‍ය බොරලන්දේ වජිරඥාන නාහිමි විසිනි.

අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පැවැත්වෙන අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව තමන් දුකින් මිදෙමින් අන් අය දුකින් මුදවීමේ මාර්ගයක් බව උන්වහන්සේ දේශනා කළහ.

තමන්ට වඩා රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව, අභිවෘද්ධිය, සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම උතුම් නායකයත්ව ගුණාංගයන් බව පැවසූ පූජ්‍ය බොරලන්දේ වජිරඥාන නාහිමිපාණන් වහන්සේ අග්‍රාමාත්‍යතුමා විසින් සිදු කරනු ලබන මෙම ධර්ම දේශනා මාලාව ද තමන් මෙන්ම අන් අය දුකින් මුදවීමේ මාර්ගයක් බව දේශනා කළහ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පැවති ධර්ම දේශනාව සැදැහැවතුන්ගේ සහභාගීත්වයකින් තොරව අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ පවුලේ කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එසේම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට වැසියාට සෙත්පැතීම ද මේ අවස්ථාවේ සිදු විය.

අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය ඇතුළු පවුලේ කිහිපදෙනෙකු එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress