කොවිඩ් හෙළ ඔසුව ගැන පරීක්ෂණ සඳහා රාජ්‍ය අනුග්‍රහය
Posted on December 1st, 2020

උපුටාගැණීම අද දෙරණ

කොවිඩ් -19 වෛරසයට එරෙහිව දේශීය ව නිෂ්පාදනය කළ ඖෂධය පිළිබඳ වැඩිදුර පරික්ෂණය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබේ.

කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බළකාය අද (01) රැස්වූ අවස්ථාවේ දී දේශීය ඖෂධය පිළිබඳ සායනික පර්යේෂණ කටයුතු සිදු කිරීම ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටතට පවරා තිබේ.

කොවිඩ් -19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමත් සමත්වූ බව පසුගිය 29 වැනිදා අද දෙරණ රටට අනාවරණය කළේය.

දින තුනක් ඖෂධ ලබා දීමෙන් පසු සිදුකළ පීසීආර් පරික්ෂණවලින් අනතුරුව රෝගීන්ගේ සිරුරෙන් කොවිඩ් වෛරසය විනාශ වන බව පළමු සහ දෙවන පරීක්ෂණ වලින් තහවුරු කර ගැනීමට එම වෛද්‍යවරුන්ට හැකි වුණි.

එවැනි පසුබිමක කොව්ඩ් මර්දනය සඳහා දේශීය වෙද මහතුන් විසින් සිදුකළ පර්යේෂණ පිළිබඳව සොයාබැලීමට නාවින්න ආයුරුවේද පර්යේෂණ ආයතනය අද පියවර ගත් අතර එම අවස්ථාවටද ධම්මික බණ්ඩාර මහතා සහභාගී වුණි.

අද දෙරණ BIG FOCUS වැඩසටහන සහභාගි වෙමින් අදහස් දැක් වූ කොවිඩ් මර්ධනය සඳහා දේශීය ඖෂධයක් සොයාගත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා, මම හිතන්නේ, මම මාර්තු මාසේ ඉඳලා ඖෂධ හදලා දුන්නා මේ බෙහෙත බීලා කිසිම කිසි කෙනෙකුට වෙනත් ආසාදනයක් හැදෙන්නේ නැහැ කියලා. ඔබතුමා මේ බෙහෙත බොන්න ඔබතුමාට ජීවිත කාලයටම ආයෙත් මේ වෛරසය හැදෙන්නේ නැහැ. සාමන්‍ය අයෙකුට මේස හැඳි එකක් උදේ සවස දින දෙකක් බොන්න. ඒ වාගේම රෝගය හැදුණ කෙනෙකුට ඒයාට මේස හැන්ඳෙන් එක ගානේ උදේ හවස දවස් තුනක්. 

ප්‍රශ්නය  – එතකොට ඕකට බෙහෙත් ජාති කීයක් දැම්මා ද ?

ධම්මික බණ්ඩාර වෙද මහතා – බෙහෙත් ජාති මම විශේෂයෙන් දෙකයි ගත්තේ. තවත් බෙහෙත් වර්ග දෙකක් සමඟ භාවිතා කළා. 

ප්‍රශ්නය  – සම්පූර්ණ ඖෂධ 4යි ?

ධම්මික බණ්ඩාර වෙද මහතා – හතරයි.

ප්‍රශ්නය  – එතකොට එක බෙහෙත් බෝතලයක සාමාන්‍යයෙන් වාටිනාකම කොච්චරක් විතර වෙනවාද ?

ධම්මික බණ්ඩාර වෙද මහතා –  ශ්‍රමය නොමැතිව මුදල විතරක් රු 6,500ක් වැය වෙනවා.

ප්‍රශ්නය  – එතකොට බෝතලයක් කී දෙනෙකුට බොන්න පුළුවන්ද ?

ධම්මික බණ්ඩාර වෙද මහතා – ලෙඩේ හැදුණු 15 දෙනෙකුට බොන්න පුළුවන්.

ප්‍රශ්නය  – ඔබතුමා ප්‍රවෘත්ති විකාශයේ දී කිව්වා මී පැණියි, සාදික්කයි තියෙනවා කියලා

ධම්මික බණ්ඩාර වෙද මහතා – ඔව් ඒ දෙක තමයි තියෙන්නේ.

ප්‍රශ්නය  – තව දෙකක් තිබෙනවා ඒ දෙක කියන්නේ නැහැ ?

ධම්මික බණ්ඩාර වෙද මහතා – ඒ දෙක දැනට නොකියා ඉමු අපි.

මේ අතර අද දෙරණ BIG FOCUS වැඩසටහන සහභාගි වෙමින් අදහස් දැක් වූ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුරුවේද රෝහල් සංවර්ධන හා ප්‍රාජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩ් මහතා මෙසේ පැවසීය. 

ප්‍රශ්නය – සායනික පරික්ෂාවට ගියත් කරපු ප්‍රමාණය මදි, එතකොට මීට වඩා වැඩිපුර මේක ලබාදිය යුතුයි ඊළඟ අදියරට යන්නට ඕනේ, එහෙමනම් කොහොමද දෙන තල්ලුව රජයක් විදිහට?

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩ් මහතා – අනිවාර්යෙන් හෙට හවසට 2කට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අදාළ අංශවල බලධාරීන් සමඟ සකච්ඡාවක් මේ ඖෂධ වර්ගය පිළිබඳව සාකච්ඡා කරන්න වෙලාව වෙන් කරගෙන තියෙන්නේ.

ධම්මික බණ්ඩාර වෙද මහතා – මම ඉල්ලීමක් කරනවා සියලුම බලධාරීන්ගෙන් මේ සඳහා තෙවැනි පරීක්ෂණයකට යන්න.  එයටත් මම එකගයි. ඒ පරීක්ෂණ කරලා හැකිඉක්මනින් මේ වසංගතය තුරන් කරන්න. මේ බෙහෙත හදලා හැමෝටම දෙන්න පිහිට වෙන්න කියලා මම ඉල්ලන්නේ.  

එවැනි පසුබිමක මෙම පර්යේෂණය පිළිබඳව අද කොවිඩ් මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.

එහිදී ජනාධිපතිවරයා මෙම දේශීය ඖෂධය පිළිබඳ ව ඉදිරි පර්යේෂණ කටයුතු ඖෂධ නිෂ්පාදන, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මට්ටමින් සිදුකරන ලෙස උපදෙස් ලබා දුනි.

ඊට සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවල සහය දක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress