බටහිර ඖෂධ මාෆියාව දෙවැනි වන්නේ ISIS ත්‍රස්තවාදී සංවිධානවලට ය.
Posted on December 3rd, 2020

කුමාර ලියනගේ උපුටා ගැන්ම FB

දැන් දැන් දේශීය වෙදකමට සහ දේශීය සංස්කෘතියට ගරහන, අවමන් කරන, සැලසුම්සහගත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ. මේවාට රුකුල් දෙන්නන් ගේ ගොබ්බ, තක්කඩි කතාවලට උත්තර දීම මහ ලොකු කජ්ජක් නො වේ.

මුලින් ම කිය යුත්තේ මා ද හදිසි ප්‍රතිකාර අවශ්‍ය විටක බටහිර ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් වෙත යන අවස්ථා තිබෙන බව ය. එහි ඇති කිසි වරදක් නැත. ඊට හේතුව මේ සමාජ ව්‍යුහය, සමාජ රචනය සකස් කර තිබෙන්නේ ඒ ආකාරයට වන නිසා ය.

නමුත් දෛනික වශයෙන් මා ද ස්ථාවර ආරෝග්‍ය තත්ත්වය පවත්වා ගැනීමට භාවිත කරන දේශීය ඖෂධ කිිහිපයක් දැනටත් මා අසළ තිබේ. ඒවා සෞඛ්‍යය සඳහා නො ව ආරෝග්‍යය සඳහා භාවිත කරන දෑ ය.සෞඛ්‍යය සහ ආරෝග්‍යය යනු දෙකකි.බොහෝ විට බටහිර වෛද්‍ය ක්‍රමය ගැලපෙන්නේ හදිසි ප්‍රතිකාර සහ හදිසි අනතුරු වැනි – emergency අවස්ථාවලට ය. එක්කෝ සෞඛ්‍යයට ය. නිධන්ගත, බෝ නො වන රෝග සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයට කළ හැකි දෙයක් නැත.

එය බටහිර වෛද්‍ය ක්‍රමයේ දුර්වලතාවක් නො ව, ඒ එහි හැටි ය. ඒ නිසා ඒ පිළිබඳ ව වාද කිරීමෙන් ඵලක් නැත.දේශීය වෙදකම වඩාත් වැදගත් වන්නේ නිධන්ගත, බෝ නො වන රෝගවලදී ය. ආරෝග්‍යයට ය. ඒ සඳහා ඕනෑ තරම් සාර්ථක ප්‍රතිකාර දේශීය වෙදකම්වල තිබේ. එකී ප්‍රතිකාර බටහිර වෛද්‍ය සභාවලින් අනුමත නො කෙරෙන බව දනිමු.

එහෙත් ඒවා ඊට වඩා වැදගත් වන කාලය විසින් පරීක්ෂාවට – time tested ලක් කර තිබෙන ප්‍රතිකාර ය. ‘කාලය විසින් පරීක්ෂාවට ලක් කරන ලද‘ නිර්ණායකයේදී, දේශීය වෙදකම් සමඟ තරග කරන්නට බටහිර වෛද්‍ය ක්‍රමයට ඉඩක් නැත. ඊට හේතුව බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා දේශී්‍ය වෙදකම ඈත අතීතයට දිව යන නිසා ය.

වසර දහස් ගණනක ලේඛනගත ඉතිහාසයකට උරුමකම් කියන නිසා ය.අප තේරුම් ගත යුත්තේ බටහිර වෙදකම මේ මොහොතේ දේශපාලනය විසින් බලවත් කරනු ලැබ තිබුණ ද, මේ ලෝකය හෙවත් ජෛව පද්ධතියේ පැවැත්ම තිබෙන්නේ ඔවුන් අත නො වන බව ය.

එනම් බටහිර වෙදකම මේ ලෝකයේ අයිතිකාරයන් නො වන බව ය. උදාහරණයක් වශයෙන් අපේ රටට බටහිර වෛද්‍ය ක්‍රමය පැමිණ තවමත් වසර 500ක් වත් ගත වී නැත. එහෙත් ඊට පෙර මෙරට තිබුණු දේශීය වෙදකමට වසර දහස් ගණනක් වයස ය.පූර්ව බටහිර වෛද්‍ය ක්‍රම අවධියේ පැවැති රෝග අද පවතින සියලුම රෝගවලට අඩුවැඩි වශයෙන් සමාන බව ඉතිහාසය විමර්ශනය කිරීමෙන් දැනගත හැකි ය.

මිහින්තලේ ආලාහන පිරිවෙන ආශ්‍රිත රෝහලේ, වර්තමානයේදි සිදු කෙරෙන මොළයේ ශල්‍යකර්ම පවා සිදු කර තිබෙන බව පුරාවිද්‍යාත්මක ව තහවුරු වී තිබේ. එහිදි යොදාගෙන තිබෙන ශල්‍ය උපකරණ නූතන ශල්‍ය උපකරණවලට ම සමාන බව පවසන්නේ ද මෙරට බටහිර වෛද්‍ය විශේෂඥයෙකු වූ මහාචාර්ය අර්ජුන අලුවිහාරේ ය.

ඒ පිළිබඳ ව තවදුරටත් අදහස් දක්වා තිබෙන අතර, ඒ අනුව පැවසෙන්නේ නූතන බටහිර ශල්‍ය උපකරණ සියල්ල ම පාහේ ආසියාවෙන් ලබා ගන්නා ලද දැනුමෙන් සකස් කරන ලද ඒවා බව ය.

අනෙක් අතට මිහින්තලේ ආලාහන පිරිවෙන ආශ්‍රිත රෝහල, ලෝකයේ මුල් ම විධිමත් රෝහල ලෙසින් ද පිළිගැනෙන බව ය. ඒ පිළිබඳ ලිපියක් බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ ද – British Medical Journal පළ වී තිබෙන බව ය.

කෙසේ වෙතත්, දේශීය වෙදකමට සහ දේශීය සංස්කෘතියට ගරහන තක්කඩියන් සහ පරයන් මුලින් ම කළ යුත්තේ මේ රටට බටහිර වෛද්‍ය ක්‍රමය ආ ආකාරය පිළිබඳ ඉතිහාසය හැදෑරිම ය.

ඒ වු කලි අධම ඉතිහාසයකි. තක්කඩි ඉතිහාසයකි. බටහිර වෛද්‍ය ක්‍රමය මේ රටට එන්නේ (Dr. Green) අමෙරිකානු දූත සේවාවල තුච්ඡ කුමන්ත්‍රණයක් වශයෙනි. එය පැහැදිලි වශයෙන් ම දේශපාලනික ව්‍යාපෘතියකි. දේශීය වෙදකම පිළිගත නො හැකි යයි පවසමින් දේශීය වෙදකමට ගරහන පරයන්, ප්‍රථමයෙන් එසේ කරන්නට පෙර පාදඩ ව්‍යාපෘතියක් සඳහා මෙරටට ආ බටහිර වෛද්‍ය ක්‍රමයේ අතීතයට පාරිශුද්ධ සහතිකයක් ලබා දිය යුතු ය.

දේශීය වෙදකමට ගැරහීම පිළිබඳ ව අපට ඉන්පසු සලකා බැලිය හැකි ය.බටහිර වෛද්‍ය ක්‍රමය යනු විශ්වකර්ම දෙයක් ද?නුතන අධිතාක්ෂණික උපකරණ භාවිත කරමින් මොළය වෙනුවට යටිබඩ කපන, වම්අත වෙනුවට දකුණු අත කපන, පියයුර වෙනුවට තට්ටම කපන ප්‍රවෘත්ති පළ වන්නේ නැද්ද?ඒවා සිදු වන්නේ කෙසේ ද?බටහිර වෛද්‍යවරුන් ගේ අත්වැරදීම්වලින් මියගොස්, ඔවුන් ගේ නම්බුව පිණිස මහපොළොව යටට හොර රහසේ ගොස් තිබෙන අසරණ රෝගීන් ගණන කොපමණ විය හැකි ද? ආබාධිත වී සිටින පිරිස කොපමණ විය හැකි ද?මේ පිළිබඳ එක්තරා හාස්‍යජනක කතාවක් ද තිබේ.

කතාව මෙසේ ය.රෝහල් සේවකයෙකු විසින් මිනියක් මෝචරියට රැගෙන යනු ලැබේ. හදිසියේ මිනිය ඇහැරී ‘මං මැරිලා නෑ, මට පණ තියෙනවා‘ යනුවෙන් කියමින් කෑ මොර දෙන්නට පටන් ගනී. එහෙත් රෝහල් සේවකයා ද ගමන නවත්වන්නේ නැත. ඒ අනුව ඇහැරුණු පුද්ගලයා ‘මාව මේ කොහේද ගෙනියන්නේ?‘ කියා අසයි. ‘මෝචරියට‘ රෝහල් සේවකයා කියයි.‘මම මැරිලා නෑ ඕයි, මාව ආපහු වාට්ටුවට ගෙනියනවා‘ කියමින් නැවතත් රෝගියා කලබල කරයි.‘තමුසෙ කොහොම ද කියන්නෙ? අපේ ලොකු සර් තමුසෙට වඩා කොච්චර ඉගෙන ගත්ත කෙනෙක් ද?

ඒ සර් නෙ මට කිව්වෙ තමුසෙ මැරිලා කියලා. ඉතිං මම කොහොමද තමුසෙ කියන එක පිළිගන්නෙ?‘ එසේ පවසන රෝහල් සේවයකා රෝගියාට ගෝරනාඩු කරයි.

මේ කතාව හාස්‍යය පිණිස රචනා කරන ලද්දක් වුව, මේවා සමාජය තුළ නිර්මාණය වන්නේ නිකමට නො වේ. මෙවැනි අවස්ථා ඕනෑ තරම් සිදුවන බව අපි ද දනිමු. ඒවා ඉතා සූක්ෂ්ම ආකාරයට යට ගැසෙන බව ද දනිමු.එසේ ද වුවත්, බටහිර වෛද්‍ය ක්‍රමයට ප්‍රතිකාර කරන, දෙවියන් බඳු වෛද්‍යවරුන් සිටින බව ද සත්‍යය ය. එවැනි අය අපට ද හමු වී තිබේ.

අපට වැටහෙන ආකාරයට එය බටහිර වෛද්‍ය ක්‍රමයේ ම ජයග්‍රහණයක් නො වේ. අප කියන්නේ එය ව්‍යතිරේඛයක් ද විය හැකි බව ය. ඇතැම් විට එවැන්නෙකු ගේ පසුබිමේ තිබෙන්නේ උසස් පවුල් සංස්කෘතියකි. ඇතැම් විට බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ආගමික චින්තනයකි. වැදගත් පාසල් අධ්‍යාපනයකි.

මා එසේ කියන්නේ වර්තමානය වන විට බටහිර වෛද්‍ය ක්‍රමය අති දැවැන්ත බහුජාතික මාෆියාවක ගොදුරක් වී තිබෙන නිසා ය.

කොපමණ කීව ද වෛද්‍යවරුන් බෙහෙත් තුණ්ඩුවල ඖෂධ ප්‍රතිකාරවල වෙළෙඳ සන්නාම – Brands ලියන්නේ ඒ නිසා ය. මෙවැනි වෛද්‍යවරුන්ට බොහෝ නවීන ඖෂධවල ගුණාගුණ කියා දෙන්නේ කවු ද? යන්තම් උසස් පෙළ ගොඩ දා ගත් මෙඩිකල් රෙප්ලා ය.

මේ තත්ත්වය ම අපභ්‍රංෂයකි.ඒ ගනුදෙනුවලට අයත් වන්නේ මුදල් පමණක් නො වේ.# විදේශ සංචාර# ශිෂ්‍යත්ව# ස්ත්‍රී සැප# හෝටල් පහසුකම්# විවිධ ගෘහ උපකරණ# දරුවන්ට ජාත්‍යන්තර පාසල්, ආදි වශයෙනි.බටහිර ඖෂධ මාෆියාව කටයුතු කරන්නේ එසේ ය.

එය දෙවැනි වන්නේ ISIS ත්‍රස්තවාදී සංවිධානවලට ය.මේ ම්ලේච්ඡ මාෆියාවට එරෙහි වූ මහාචාර්ය සේනක බිබිලේට සිදු වූ දේ විශේෂයෙන් සඳහන් කළ යුතු නැත.එවැනි බටහිර වෛද්‍යවරු අදත් සිටිති.

ඔවුන් ගේ අදීනත්වයට බලපා තිබෙන්නේ මෙරට සංස්කෘතික ඉතිහාසය ය. අදටත් දිවා රෑ නො බලා රෝගීන් වෙනුවෙන් ඇපකැප වන, ජීවිතය කැප කරන ඖෂධ මාෆියාවට ද එරෙහි බටහිර වෛද්‍යවරු නො සිටිත් ද? සිටිති.

ඔවුහු ප්‍රධාන ධාරාවට අයත් නො වෙති. ඇතැම් විට බොහෝ තාඩන පීඩනවලට ද ලක්වෙති.

ඉල්ලා සිටින ශිෂ්‍යත්ව ඇතැම්විට ඔවුන්ට ලැබෙන්නේ නැත. උසස්වීම් ලැබෙන්නේ නැත. වෘත්තීයමය වශයෙන් ඔවුන්ට තිබෙන අත්දැකීම් අතිශයින් නීරස ය.ඔවුහු බටහිර වෛද්‍ය ක්‍රමය ම පමණක් ඉස්මුදුණේ තබාගත් අය නො වෙති.

දේශීය වෙදකමත් අගය කරන්නෝ වෙති.

මා ස්වාධීන ටෙලිවිෂන් ආයතනයේ – ITN අලෙවිකරණ අංශයේ සේවය කරන සමයේ වැඩසටහන් ව්‍යාපෘතියක් සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට – SPMC නිතර යමින් එමින් සිටියෙමි. එහි එවකට සේවය කළ අලෙවි අධ්‍යක්ෂවරයා මාගේ කුළුපග මිතුරෙකු තරමට සමීප වී සිටියේ ය.

එක් දිනයක මා ඔහු ගේ නිල රථයට නැග ගත් අතර එවිට ඔහු කීවේ, ‘මේ දොස්තර ග්ලැඩිස් ජයවර්ධන වෙඩි කාපු කාර්එක‘ බව ය. එසේ කියූ ඔහු ඒ වන විටත් මෝටර් රථයේ තිබුණු වෙඩි පහරවල් කීපයක් මට පෙන්වූයේ ය.

දොස්තර ග්ලැඩිස් ජයවර්ධන යනු භීෂණ සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති තනතුර ඉසිලූ, ජේ.ආර්.ජයවර්ධන ගේ සහෝදරිය ය. ඈ එකල ම වෙඩි කා මළා ය.

පසුව හෙළිදරව් වුණු ආකාරයට දොස්තර ග්ලැඩිස් ජයවර්ධන ඊට සතියකට පෙර ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීමේ තීරණයක් ගෙන තිබුණා ය.

මේ අනුව මේ ඝාතනය පිටුපස සිටින්නට ඇත්තේ කවුදැයි කියා අනුමාන කරන්නට රොකට් විද්‍යාව අවශ්‍ය නො වන බව කාටත් වැටහී යා යුතු ය.

ඒ නිසා පරයන්ට, තක්කඩියන්ට, අමනයන්ට අප කියන්නේ නැති සුජාතභාවයක්, නැති උත්පත්ති සහතිකයක්, නැති පාරිශුද්ධභාවයක් කර උඩ තබාගෙන, දේශී්‍ය වෙදකමට සහ දේශීය සංස්කෘතියට ගැරහීමට පැමිණ රෙදි ගලවා ගෙන යන්නට එපා කියා ය.

අපට මේ ගැන වරු ගණන් කතා කළ හැකි ය. අනෙක, බොරු අධිකාරිත්වයෙන් දේශීය වෙදකම යටපත් කිරිමට ද අප ඉඩ දෙන්නේ නැත. අප ගේ තාත්තා ද, බාප්පා ද යම් පමණකට දේශීය වෙදකම දැනුම් පමණින් අත්හදා බැලූ අය වූ හ.

ඒවා සුළු ප්‍රතිකාර ක්‍රම ය. එහෙත් ගමේ බොහෝ අයට ඔවුන් ගේ ප්‍රතිකාරවලින් සෙත් ශාන්තියක් වූ බව මම පෞද්ගලික ව ම දනිමි.

ඒ බෙහෙත් වර්ගවලට ගන්නා දේ කවරාකාර විද්‍යාත්මක පරීක්ෂණවලින් සහතික කර තිබේදැයි මම නො දනිමි. එහෙත් ඒවා ප්‍රත්‍යක්ෂ ය.

තාත්තා ගේ එක් අසාමාන්‍ය ප්‍රතිකාරයකට ගත් ඖෂධීය අමුද්‍රව්‍ය මේවා ය.# කට්ටකුමන්ජල්# කොහොල්ලෑ# හිසකෙස්# දෙහිකොළවිෂ වෙදකම සඳහා භාවිත කෙරුණු මේ අමුද්‍රව්‍යවලින් සකස් කර ගන්නා ලද ඖෂධය දිව්‍ය ඖෂධයක් බව මා දන්නේ එයින් මා හට ද ප්‍රතිකාර කර තිබෙන නිසා ය.

වායුගෙඩි සඳහා ද තාත්තා අපූරු වෙදකමක් කළේ ය.රෝගියා සිටින නිවසින් තෙල් ටිකක් සහ හුනු ටිකක් ලබා ගනී. තෙල් ටිකට මතුරයි. හුනු ටිකට මතුරා කිරි ගසක යන්ත්‍රයක් අඳියි. මැතිරූ තෙල් ටිකක් ගෙන බෙල්ලේ තවරයි.එපමණි.එවැනි රෝගී අය නිට්ටාවට සුව වූ බව ද දනිමි.

තාත්තාට හෝ බාප්පාට වෙද සහතික තිබුණේ නැත.

ඔවුන් දෙදෙනා ම වෘත්තියක් ලෙස වෙදකම් නො කළ හ. ප්‍රතිකාර කිරීමෙන් එක බුලත් කොළයක් වත් ලබාගත්තේ ද නැත. ඒවා ඔවුන් විසින් සිදු කෙරුණේ අනුන් ගේ යහපත පිණිස ය.

කාලය විසින් පරීක්ෂාවට ලක් කර තිබෙන – time tested මේවාට බහුබූත සහතික අවශ්‍ය වන්නේ ද?

කිසිසේත් අවශ්‍ය නැත.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගේ චරිතාපදානයේ ද මෙවැනි ප්‍රතිකාර ලබාදීමක් පිළිබඳ ව සඳහන් වී තිබේ.එතුමන් වරක් මරණාසන්න දරුවෙකු ගේ ජීවිතය බේරාදීම සඳහා ඉල්ලා ඇත්තේ නම් කරන ලද ගස්වර්ග 21ක කොළ අගින්, හිරු පායන්නට පෙර වැගිරෙන පිනිබිඳු එකතුවකි.

එයින් ම දරුවා සුවපත් වූ බව සඳහන් ය.

මේවා විශ්මිත ප්‍රතිකාර ක්‍රම ය. දේශීය ඇස් වෙදකම, විෂ වෙදකම, කැඩුම් බිඳුම් වෙදකම, මානසික වෙදකම මේ ආදී වශයෙන් ගත් කල අතිශය සංකීර්ණ විෂය ක්ෂේත්‍ර ගණනාවකට පැතිර ගිය දේශීය වෙද ඉතිහාසය බහුශ්‍රැත වෛද්‍ය ක්‍රමයක් බව කිය මනා ය.

දේශීය ශාන්තිකර්මවලද බලගතු ප්‍රතිකාර විශේෂ තිබේ. එවැනි තොවිල් පවිල් සඳහා ගැමියන් ‘වයිද්දෙයක් බලන්න යනවා‘ යැයි කීවේ නිකමට නො වන බව, අද කාලයේ දේශීය වෙදකමට ගරහන තක්කඩි පරයන් වටහා ගත යුතු ය.

වෛද්‍යසේකරලා, වෛද්‍යතිලකලා යනු මෙවැනි පාරම්පරික වෙද පරම්පරා බව කියනු වටී.

අප ගේ පාරම්පරික වෙදකම් තුළ ඇතැම් විට ඇත්තේ අනාදිමත් කාලයක සිට ප්‍රතිකාර ක්‍රමවලදි භාවිත කරනු ලබන placebo effect එක විය හැකි ය.

එය ගෝත්‍රික සමාජයේ ද අත්දකින ලද්දකි.

අද ඉමහත් උජාරුවෙන් වහසි බස් දොඩන බටහිර වෛද්‍ය ක්‍රමය තුළ ද වැඩි වශයෙන් ප්‍රතිකාර උදෙසා භාවිත කරනු ලබන්නේ placebo effect එක බව දන්නෝ දනිති.

‘හිත වට්ට ගන්නෙ නැතුව මේ බේත් ගන්න‘ යනුවෙන් බොහෝ සංකීර්ණ රෝගවලින් පීඩා විඳින්නන්ට පවා බටහිර වෙද හෙදකම් සිදු කෙරෙන අවස්ථාවලදී පැවසෙන්නේ ඒ නිසා ය.

එහෙයින් අප කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය යනු විශ්මකර්මයක් නො වේ. ව්‍යුහාත්මක ව එය ද දේශීය වෙදකමේ ම අනුරූපයකි.

එසේ ම අද ඇතැම් විට දේශීය වෙදකම ගසා කන, අපයෝජනය කරන තක්කඩියන් ද නැතුවා නො වේ. ඒවා වෙන ම සාකච්ඡා කළ යුතු ය.

එසේ ම පරයන්ට, තක්කඩියන්ට, අමනයන්ට දේශීය වෙදකම සහමුලින් නැති භංගකිරීමට තිබෙන පාදඩ උවමනාව විනාශ කළ යුතු ය.

එකම දේ, සුද්දන්ට යටත් වූ මේ ලංකාවේ ඉංග්‍රීසි කතා කරන වෙද මහත්තයා පොදුවේ නම්බුකාර ය. ඒ නිසා පොදුවේ අවනම්බුව එල්ල වී ඇත්තේ රෙද්ද අඳින දේශීය වෙද මහත්තයාට ය.

වරද ඇත්තේ දේශීය වෙදකමේ හෝ බටහිර වෛද්‍ය ක්‍රමයේ නො වේ.මේ රටේ ගොබ්බ, තක්කඩි, අමන මිනිසුන් ගේ ය.-

කුමාර ලියනගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress