බල්ලා පිදුරු කන්නෙත් නැහැ – කන ගොනාට දෙන්නෙත් නැහැ
Posted on December 7th, 2020

වාගිස ප්‍රනාන්දු විසිනි.

ඉහතින් සදහන් කර ඇත්තේ අපේ පැරණි කියමනකි. එම කියමන කොතරම් පැරණිවුවද වර්තමාන සමාජයට මෙන්ම අනාගතයටද එකසේම අදාළ වනු ඇත.

 කොවිඩ් හෙළ ඔසුව - ආසාදිතයින්ට ලබාදීමට ක්‍රමවේදයක් සෙවීමට මහාචාර්ය කමිටුවක්

මේ ගැන සියළුදෙනාගේ අවධානය මෙසේ යොමු කරවීමට සිදුවුනේ අපේ රට තුල වර්තමානයේදී සිදුවන එක්තරා කතාබහක් නිසාවෙනි. එනම් අපේ රටේ පමණක් නොව මුළු මහත් ලෝකය පුරාම සීඝ්‍රයෙන් පැතිරයන කොරෝනා වසංගතයට කෑගල්ල ප්‍රදේශයේ එක්තරා වෙදමහතෙකු විසින් සොයාගන්නා ලදැයි පවසන දේශීය ඖෂධය සම්බන්ධයෙන් කෙරෙන කතා බහයි. මෙම ඖෂධය මගින් දින හතරකදී ඕනෑම කොරෝනා රෝගියකු සුවපත් කල හැකි බව එම වෙදමහතා ප්‍රකාශ කර ඇති අතර එය සත්‍යයක් බව හිටපු ආයුර්වේද කොමසාරිස්වරයෙකු පවා පිළිගෙන තිබෙන බවක් මාධ්‍ය හරහා වාර්තා වුනා.  කෙසේ හෝ එම ඖෂධයට මේ වන විට යම් පිළිගැනීමක් රජයේ  අදාළ මැති ඇමතිවරුන් විසින් ලබාදී ඇති බවක්ද පෙනී යනවා. ඊට අමතරව මෙම ඖෂධ්‍ය ගැන සොයා බැලීම සදහා බටහිර හා ආයුර්වේද ක්ෂේත්‍රයේ විද්වතුන් කීපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පරීක්ෂණ මංඩලයක්ද මේවන විටත් රජය විසින් පත් කර තිබෙනවා.

නමුත් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් විද්වතුන් මෙම ඖෂධයේ ගුණාත්මකභාවය සහ එය කොරෝනා රෝගය මැඩපැවැත්වීම සදහා දක්වනු ලබන දායකත්වය ගැන සෙවීම පසෙක ලා, කෑගලු වෙදමහතාගේ පරම්පරාව සහ ඔහුගේ පැටිකිරිය මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් ඔස්සේ කිසිදු හිරිකිතයකින් තොරව දිගහරිමින් සිටිනවා.

අද මුළු මහත් ලෝකයම ක්ෂණයකින් විනාශ කල හැකි නවීන ආයුධ ලෝක බලවතුන් සතුව ඇතත් මුළු මහත් ලෝකයටම දැවැන්ත තර්ජනයක් එල්ල කරන මෙම වෛරසය මැඩපැවැත්වීම සදහා බටහිර හෝ ආයුර්වේද ක්‍රමය තුල මේ දක්වා සාර්ථක ඖෂධයක් නිපදවා නැති බව අප සියළු දෙනාම හොදින් දන්නා දෙයක්. එවැනි තත්වයක් තුල කල යුතුව ඇත්තේ කෑගලු වෙදමහතා විසින් දේශීයව නිපදවා ඇති මෙම ඖෂධය ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකර එහි සත්‍ය අසත්‍යතාවය ලොවට හෙළි කිරීමයි. නමුත් අද සිදු කරමින් සිටින්නේ  ඔහුගේ පුද්ගලිකත්වය මත පදනම්වී උපහාස සහ අපහාස සිදුකිරීමයි.

යමෙකු එය ලෝක ඖෂධ මාෆියාවේ මෙරට ඒජන්තවරුන්ගේ අධම ක්‍රියාවක් බවට සැක පහළ කරන අතර ඇතැමුන් පවසන්නේ එය තමන්ට කල නොහැකි වූ දෙයක් වෙනකෙකු කිරීමෙන් අදාළ පුද්ගලයාට අත්වන කීර්තිය මැදහත් සිතින් යුතුව ඉවසා දරා ගැනීමට නොහැකිවීම නිසා ඇතිවන ඊරිසියාව මුසු කුහකත්වය ප්‍රදර්ශණය කිරීමක් බවයි.

අප බොහෝ දෙනාට මෙන්ම මේ දේශීය සොයාගැනීමට විවිධ බාධක ගෙන එන  බටහිර සහ ආයුර්වේද විද්වතුන්ටද කුඩා අවදීයේ අසනීපයකදී රෝහලකට ගෙනයාමට පෙර නිවසේදීම ප්‍රථමාධාර ලෙස ඕනෑ තරම් අත් බෙහෙත් කර තිබෙන බව සත්‍යයක්. නමුත් වෛද්‍ය වෘත්තිකයින් වූ පසු  තමන් ඉගෙන ගත් සිද්ධාන්තවලට ගෝචර නොවන දෙයක් සහ/හෝ එකී සිද්ධාන්තවලින් පිටස්තර යමක් සත්‍යය ලෙස  පිළිගැනීමට දක්වන වෘත්තීයමය උදාසීනත්වයද මීට හේතුවක් විය හැක.

ළදරුවන්ගේ බඩේ ඇතිවන වේදනාවල්වලට වදකහ කෑල්ලක් දෙහි ඇඹුළෙන් ගලගා ගෑ පසු වේදනාව පහවෙන බව අපේ පැරැන්නෝ හොදින් දන්නා දෙයක්. හෙම්බිරිස්සාවට වෙනිවැල්ගැට කොත්තමල්ලි තම්බල බීපු නැති කෙනෙක් අප අතර නැති තරම්. බඩ විරේක කර ගැනීම සදහා දේශීය වෛද්‍යවරුන් නිර්දේශ කරන කසායවල ප්‍රධාන වශයෙන් ඇත්තේ අරළු, සෙනෙහෙකොළ සහ සහිදලුනු යන බෙහෙතේ වර්ග. නමුත් මේ කසාය පානය කිරීම අප්‍රිය කරන අපි ෆාමසි එකෙන් ගිහින් SENOKOT  නැමැති පෙති මිළදී ගෙන පානය කරනවා. හැබැයි ඒ වැඩිදෙනා දන්නේ නැහැ එම පෙත්තේ දේශීය ඖෂධයක් වන සෙනෙහෙකොල අඩංගු බව.

Orthopedic Surgeon වරු කොපමන ලංකාවේ සිටියත් ඔවුන්ටත් සුව කල නොහැකිවු අස්ථි බිදීම් සහිත බොහෝ රෝගීන් පසුගියදා අපෙන් වියෝවුනු මරදන්කඩවල වෙල්ඩින් වෙද මහත්තය සුව කරපු බව ප්‍රකට රහසක්. කොටි යුද්ධය පවතිද්දී හොරිවිල කැඩුම් බිදුම්වලට ප්‍රතිකාර කල ලොකු වෙදමහත්තයව එතුමා ජීවත්ව සිටියදී පැහැරගෙන ගොස් කොටි ඔවුන්ගේ රෝගීන්ට ප්‍රතිකාර කරවාගත් බව ඒ දිනවල පුවත්පත්වල පළවුනා. ඒවාගේම කළුතර දිස්ත්‍රික්කයේ බන්ඩාරගම, වීදාගම වෙද හාමුදුරුවෝ අතීතයේ ප්‍රසිද්ධියක් ඉසුළුවා කැඩුම් බිදුම් ප්‍රතිකාර සදහා. එපමණක් නොවෙයි, නීළම්මහර පංසලේ වැඩ සිටිය ලොකු හාමුදුරුවන්ට ඉන්දියාවේ එක්තරා මහාරාජා කෙනෙකු විසින් ඇතෙකු පවා තෑගි දුන්නා, තමන්ගේ සහෝදරියකගේ මානසික විකෘතියක් සුවපත් කිරීම වෙනුවෙන්.

නමුත් මේ කිසිවෙකුත් බටහිර වෛද්‍ය ක්‍රමය කෙසේවෙතත් අවම වශයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හෝ ඉගෙනගත් අය නොවෙයි. මුදලට හෝ සුදුසුකම් මත විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හදාරා උපාධි , පශ්චාත් උපාධි හෝ සහතිකපත් ලැබූවන් නොවෙයි. ඔවුන් සියළුදෙනා ප්‍රගුණ කර තිබුනේ පාරම්පරිකව පැවත එන හෙළ වෙදකම පමණයි.

ඔවුන් මේ සියළු දස්කම් පෑවේ හෙළ වෙදකමේ මහිමයෙන්. නමුත් මොවුන්ගේ හෙළ වෙදකම කිසිවෙකුත් එදා අභියෝගයට ලක් කලෙත් නැහැ. අද තවමත් අභියෝගයට ලක් කරන්නෙත් නැහැ. ඒවගේම ඔවුන්ගේ ඒ හෙළ වෙදකමේ ප්‍රතිකාර ක්‍රම සහ නිර්දේශ කරනු ලබන දේශීය ඖෂධ  බටහිර ක්‍රමය අනුව සුදුසුද නැද්ද කියලා පරීක්ෂණ පැවැත්වුවෙත් නැහැ. මිනිසුන් රෝගීවුනාම ඔවුන් වෙත ගියා. ප්‍රතිකාරවලින් සුව වුනා. ඒ හැර කිසිවෙකුත් ඔවුන්ගේ සහතික ඉල්ලුවෙත් නැහැ.

වර්තමානයේ බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව රෝහලක සැත්කමකට යමෙකු භාජනය වන්නේනම්, එම සැත්කම කිරීමට පෙර එකී සැත්කමේ සියළු වගකීම් රෝගියා හෝ රෝගියා වෙනුවෙන් රෝගියාගේ භාරකරවකු බාරගන්නා බවට ලියවිල්ලක් අත්සන් කල යුතුව ඇත. මේ මගින් සැත්කමේ සාර්ථකත්වය මෙන්ම අසාර්ථකත්වයද ඒවාගේම සැත්කමේදී සිදුවන අත්වැරදීම් හා නොසළකාහැරීම් නිසා වන පශ්චාත් අපහසුතාවයන්ද රෝගියා විසින්ම ඉවසා දරා ගත යුතු අතර සැත්කම සිදුකරන වෙවද්‍යවරුන් සහ කාර්ය මංඩලය මේ මගින් සියළු වගකීම් වලින් නිදහස් වනු ඇත.

එමනිසා අද වහ වහා සිදු කලයුතුව ඇත්තේ කෑගලු වෙදමහතාගේ දේශීය ඖෂධය ගැන සොයා බලා එය  සුදුසුනම් දෙවනුව ඉහත කී බටහිර ක්‍රමයට අනුව ස්ව කැමැත්තෙන් එම ඖෂධය ලබා ගැනීමට ලිඛිතව කැමැත්ත පල කරන තෝරාගත් රෝගීන් කීපදෙනෙකුට ලබාදී එයින්ද සාර්ථක ප්‍රතිපල ලැබේනම් කොරෝනා මර්ධනය කිරීම සදහා එම ඖෂධය නිර්දේශ කිරීමයි.

එසේ නොමැතිව කෑගලු වෙදමහතාගේ පැටිකිරිය මාධ්‍යය තුල දිගහැරීම මගින් තමන්ගේ නොහැකියාව වසා ගැනීමට  යමෙකු හෝ යම් පිරිසක් උත්සාහ කරන්නේනම් හෝ ඖෂධ මාෆියාවට යටවී මෙකී දේශීය ඖෂධය උපන්ගෙයි මරාදැමීමට උත්සාහ කරන්නේනම්, ඒ සියළුදෙනා පිදුරු නොකන බල්ලන්ටත් වඩා අන්ත බව පමණක් මෙහිලා අවසන් වශයෙන් සදහන් කල යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress